යෝජිත විදුලිබල පනත මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතිවලට සුබ නෑ – ජානිපෙ නායක විමල් වීරවංශ

98

යෝජිත විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසු සකස් කරන ප්‍රතිපත්තිය මගින් මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති පවා මහජන උපයෝගිතාව නොසලකා පෞද්ගලික අංශයට පැවරීමට හැකියාව ලැබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාට ලිපියක් යොමු කර ඇත.

කරුණ නවයක් සඳහන් කරමින් යොමුකර තිබෙන එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ විදුලිබල ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් නොවන අතර ඊට අදාළ මගපෙන්වීම පනත මගින් ලබාදී නොමැති නිසා පනත සම්මත වීමට පෙර අධිකරණයේ මතය ලබාගැනීමේ හැකියාවක්ද නොමැති බවයි.

එම ලිපියේ කරුණු අතර මෙසේද සඳහන් කර ඇත.

නව පනත මගින් ක්ෂේත්‍ර 6කට අදාළව විදුලි පද්ධතිය වෙන් කිරීම සහ එම අංශවල කළමනාකාරීත්වය, පුද්ගලික සහ රාජ්‍ය පුද්ගලික හවුල් සමාගම්වලට පැවරීම හරහා විදුලි බල මණ්ඩලය අහෝසි කිරීම මගින් සමස්ත පද්ධතියේ කළමනාකාරීත්වය බිඳවැටීම හරහා රටේ බලශක්ති සුරක්ෂිතතාව පමණක් නොව ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක් විය හැක. දැනට සියල්ල මධ්‍යගතව කළමනාකරණය කෙරෙන තත්ත්වයක් තුළ පවා පවතින අවුල් දෙස බලන විට වගකීම් කෑලිවලට කඩා පුද්ගලීකරණය කළ විට සිදුවිය හැකි තත්ත්වය වටහාගැනීමට මහා තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ.

ඊට අමතරව නව පනත මගින් පිහිටුවනු ලබන උපදේශක සභාවට පත්කිරීම් කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනි. ඒ අනුව එම සභාවට, මහජන උපයෝගීතා කොමිසමට බලපෑම් කිරීමට බලය ලබාදීම වරදකි.

විදුලි බල ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් නොවන අතර ඊට අදාළ මග පෙන්වීම පනත මගින් ලබාදී නොමැති නිසා පනත සම්මත වීමට පෙර ඒ පිළිබඳව අධිකරණයේ මතය ලබා ගැනීමේ හැකියාවක් ද නැත. එවැනි බාධාවන් තුළ අදාළ ප්‍රතිපත්තිය ප්‍රායෝගික තත්ත්වයට අනුව වෙනස් කිරීමේ බලය අමාත්‍යවරයාට ලබාදීම යනු අත්තනෝමතික තීන්දු ගැනීමට නීතිය මගින් ඉඩ සැලසීමකි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment