අධිකරණ අමාත්‍යාංශ ලිපි ශීර්ෂ හොරට හදලා

77

අධිකරණ අමාත්‍යාංශයේ නිල ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස යොදා ගනිමින් රාජසන්තක භාණ්ඩ වෙන්දේසි කිරීමේ නිලධාරි හා බඳවා ගැනීමේ නිලධාරි ඇතුළු තනතුරු දරන බවට ව්‍යාජ ලෙස සකස් කළ රාජකාරි හැඳුනුම්පත් පෙන්වා පුද්ගලයන් රවටා රුපියල් ලක්‍ෂ ගණනින් වංචා කර ඇති පුද්ගලයකු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසට අධිකරණ අමාත්‍යාංශය පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

නීතිඥවරයකු තමා අධිකරණ අමාත්‍යාංශයේ භාරයේ ඇති රාජසන්තක කරන ලද භාණ්ඩ වෙන්දේසි කිරීමේ නිලධාරියා ලෙස ද කටයුතු කරන බවත් එබැවින් රාජසන්තක කරන ලද 2021 වසරේ නිෂ්පාදිත වැගන් ආර් වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් ඉතා අඩු මුදලකට ලබාදෙන බවත් පවසා පුද්ගලයකු රවටා රුපියල් ලක්‍ෂ හතක මුදලක් ලබාගෙන වංචාකර ඇති බවත් එයට අමතරව එම අමාත්‍යාංශයේ රැකියාවලට පත්කළ ව්‍යාජ පත්වීම් නිකුත් කර තවත් විශාල පිරිසකගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදලක් ලබාගෙන ඇති බවටත් එම පැමිණිල්ල මගින් කියා තිබේ.

ඔහු විසින් මුදල් ලබාගත් බවට ඉදිරිපත් කර ඇති ලේඛන ඇතුළු සියලුම තොරතුරු අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) ආර්.එස්. සපුගස්වත්ත මහතා එම පැමිණිල්ල සමග පොලිස්පතිවරයා සමග යොමුකර තිබේ.

මෙම පුද්ගලයා මෙයට සති කිහිපයකට පෙර දැන හඳුනාගත් විශ්‍රාමික රාජ්‍ය සේවකයකුගේ පුත්‍රයාට හා ඔහුගේ මිතුරියකට අධිකරණ අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බව පවසා විශාල මුදලක් ලබාගෙන වංචා කර ඇති බවටද පොලිසියට පැමිණිලි ලැබී ඇත.

පසුගිය 28 වැනිදා සිට එම විශ්‍රාමිකයාගේ පුත්‍රයාට අධිකරණ අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහයක තනතුරකට පත්කර ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් යටතේ ව්‍යාජ පත්වීම් ලිපියක් යවා ඇත. එම වංචනික පත්වීම භාර ගැනීමට නියමිතව තිබූ දිනට පෙර රාත්‍රියේ ඔහුගේ නිවසට පැමිණ තිබූ සැකකරු පත්වීම් භාර ගැනීම ජනවාරි 2 වැනිදා දක්වා කල්ගිය බව පවසා එදින රාත්‍රිය එම නිවසේ ගතකර ඇත. කලක් පැවිදිව සිට උපැවිදි වූ පුද්ගලයකු හැසිරීම් රටාව මොහුගෙන් නිරීක්‍ෂණය වීම නිසාත් නියමිත තනතුරට හිමිවන මාසික වැටුපට හා දීමනාවලට වඩා දෙතුන් ගුණයක වැටුපක් එම තනතුරට හිමිවන බව සඳහන්ව තිබීමත් මොහු ගැන නිවැසියන්ට ද සැක සිතී ඇත. ඒ අනුව පත්වීම් ලිපිය ද රැගෙන පැමිණ සොයා බැලීමේ රැඳී ඔහු එවන් වංචා රැසකට සම්බන්ධ වූ පුද්ගලයකු බවට හෙළිවී තිබිණි.

විදුලිය – තෙල්- වරාය- ගුවන්තොට අත්‍යවශ්‍ය සේවා කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලිබල, ඛනිජ තෙල්, වරාය සහ ගුවන්තොටුපළ යන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, තීරු බදු ආඥාපනතේ කාර්ය සඳහා අර්ථකථනය කරනු ලැබූ පරිදි යම් වරායක් ඇතුළත වූ යාත්‍රාවලින් ආහාර හෝ ද්‍රව්‍ය හෝ රට අඟුරු, තෙල් හෝ ඉන්ධන හෝ බෑම, ගෙනයෑම, ගොඩබෑම, ගබඩා කිරීම, භාරදීම හා ඉවත් කිරීම, ගුවන්තොටුපළවල් සහ වරායවල් ඇතුළුව, ගුවන් මගින් ගමනා ගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment