විදුලි බිල නැංවීමෙන් කෝටි 4000 ක ලාභයක්

139

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් කියයි

රුපියල් කෝටි 1800 ක් උපයා ගැනීමට යැයි කියමින් විදුලි ගාස්තු ඉහළ දැමීම සිදු කළත් මෙම වසර අවසානයේදී ලංවිම ලබන සම්පූර්ණ ලාභය රුපියල් කෝටි හාරදහස (බිලියන 40) ඉක්මවා යන බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ වනවිට ජල විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළ යෑම නිසා මෙම මාසයේ ඩීසල් මගින් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබූ මෙගාවොට් 390 න් ලබාගත යුත්තේ මෙගාවොට් 90 ක් පමණකැයි ද ඒ මහතා කීය. ලබන නොවැම්බර් මාසයේදී ඩීසල් මගින් නිපදවීමට ඉලක්ක කොට තිබූ මෙගාවොට් 260 න් ලබාගත යුත්තේ මෙගාවොට් 60 ක් පමණකි. දෙසැම්බර් මාසයේදී සැලසුම් කර ඇති මෙගාවොට් 160 න් පද්ධතියට ලබාගත යුත්තේ මෙගාවොට් 30 ක් පමණකැයි ද ඒ මහතා කීය.

මෙවර විදුලි ගාස්තු සියයට දහඅටකින් වැඩි නොකළත් ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑම නිසා ලංවිම රුපියල් කෝටි 2200 ක (බිලියන 22) ලාභයක් ලබන බව ද ලක්මාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

විදුලි ගාස්තු ඉහළ දැමීම නිසා දින දහයක දී ලංවිම රුපියල් බිලියන තුනක් ද, නොවැම්බර් මාසයේ සහ දෙසැම්බර් මාසයේදී තවත් බිලියන දහසයක් පමණ ද ලාභ ලබන බව ඒ මහතා කීය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment