අයවැයෙහි සුබසාධනය මැති ඇමැති පරපුරට විතරයි – දුමින්ද නාගමුව

73

ශ්‍රී ලංකාවේ යුද වියදම දෙවෙනි ඊශ්‍රායලයට විතරයි

ලබන 14 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මෙවර අයවැය සුබසාධන අය-වැයක් ලෙස රජය නම් කළ ද ඉන් සුබසාධනය හිමි වන්නේ මැති ඇමැති පරපුරට අයත් පැළැන්තියට පමණක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ පැවසීය.

රටේ එකම ආර්ථික ප්‍රශ්නයක්වත් විසඳා නැති මොහොතක හා බදු බරින් සාමාන්‍ය ජනතාව හෙම්බත් කළ මොහොතක ගෙන එන අය වැයෙන් ජනතා යහපතක් බලාපොරොත්තු විය නොහැකි යැයි ද හෙතෙම කීවේය.

ඔහු මෙසේ ද කීවේය.

ආනයන අපනයන සමාගම් තමන් ලබන ඩොලර් ආදායමෙන් සියයට අසූවක්ම යළි රටට ගේන්නේ නෑ. ඔවුන් වෙන රටවල ගිණුම්වල තැන්පත් කරනවා. ඒවා රටට ගෙන්වා ගන්න මේ රජයේ වැඩපිළිවෙළකුත් නෑ. 2009 සිට 2018 දක්වා වසර දහයක කාලයේ දී අපනයන හා ආනයන සමාගම් එසේ ඩොලර් බිලියන 40ක් රටින් පිටට ඇදලා තියෙනවා. රටේ සමස්ත ණය ප්‍රමාණයත් ඩොලර් බිලියන 53යි. කෝ ඉතිං මේ මුදල් යළි රටට ගෙන්වා ගන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක්. එහෙම ආණ්ඩුවක් සුබසාධන අයවැයක් ගෙනෙයි ද. අනිත් කාරණය මේ රටේ යුද වියදම දෙවැනි වන්නේ ඊශ්‍රාලයට විතරයි. ජනගහනයට සාපේක්ෂව යුද සෙබළුන් සංඛ්‍යාව දෙවැනි වන්නේත් ඊශ්‍රායලයට විතරයි. මෙවරත් ආරක්ෂක වියදම බිලියන 367ක්. ආර්ථිකයෙන් හෙම්බත් වෙච්ච රටක් යුද වියදම ලෙස මෙවැනි මුදලක් දරන්න ඕනෙද කියලා අපි ප්‍රශ්න කරනවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment