සල්ලි මංකොල්ලකෑවයි බ්ලේඩ් එකකින් තමන්ම උදරය හා උරහිස් කපාගෙන… වෛද්‍යවරයාගේ පරීක්‍ෂාවෙන් බොරුව එළියට

673

ගැබිනි නැගණියගේ මුදල්වලට විද්ද සහෝදරයා අත්අඩංගුවට

කොල්ලකරුවන් තිදෙනකු විසින් තමන්ට පහරදී තුවාල සිදුකොට රුපියල් 1,86000ක මුදලක් කොල්ලකනු ලැබූ බවට පොලිසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ දෙදරු පියෙකු 10දා අත්අඩංගුවට ගත් බැව් හිනිදුම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනිදුම, ඇලඉහළ, ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහු කොල්ලකරුවන් තුවාල කළ බව ඇඟවීම සඳහා තමන් විසින්ම බ්ලේඩ් තලයකින් උදරය හා උරහිස් දෙපස කපාගෙන තිබු අතර දින දෙකක් රෝහල්ගතව සිටි බවද පොලිසිය පවසයි. සැකකරු ගැබිනියක් වන තම නැගණියගේ

බැංකු ගිණුමේ තිබු රුපියල් 1,86000ක මුදල ලබා ගැනීම සඳහා ඇයත් සමග තවලම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවට ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇත. නැගණිය විසින් බැංකුවෙන් මුදල් ලබාගෙන මොහුට දී තිබේ. ඇය බස්රථයක නංවා පිටත්කොට මොහු ත්‍රිරෝද රථයෙන් ගොස් ඇත.

මොහු පොලිසියට පැමිණිලිකොට ඇත්තේ තමන් ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී කොල්ලකරුවන් තිදෙනෙකු තමන්ට පහරදී තුවාල සිදුකොට රුපියල් 1,86000ක මුදල කොල්ලකාගෙන පලාගිය බවය. මොහු රෝහලෙන් නිදහස් වී පැමිණි පසු වැඩිදුර ප්‍රකාශයක් ගැනීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබුණි. මොහුගේ

උදරයේ දෙපස හා උරහිස් දෙපස ඇතිවී තිබූ තුවාල තමන් විසින්ම සිදුකරගෙන ඇති බව නිරීක්ෂණය වන බව රෝහලේ වෛද්‍යවරයා විසින් ද පොලිසියට දැනුම් දී තිබිණි. සැකකරුගේ වැඩිදුර ප්‍රකාශනයේ දී පොලිසියට බොරු පැමිණිල්ලක් සිදුකොට ඇති බව අනාවරණය වී ඇත. සැකකරු විසින් උරහිස් හා උදරය කපාගත් බ්ලේඩ් තලයද ත්‍රිරෝද රථය තුළ තිබී සොයාගෙන ඇත. කොල්ලකනු ලැබූ බව කියන මුදල් ද මොහු සතුව තිබී සොයාගත් බව පොලිසිය පවසයි. හිනිදුම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. එල්. ඩී. සුමිත් ප්‍රියන්ත, උප පොලිස් පරීක්ෂක ශාන්ත, පො. සැ. (34604) පුෂ්පකුමාර, පො. කො. (66267, විජේසුරිය යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment