දූපත් පහේ මෙහෙයුම් වැහේ- බදු කුලී ගෙවලත් නෑ

952

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් කල්පිටියේ දූපත් 05ක් මීට වසර 03කට පෙර සමාගම් තුනකට බදු දී තිබුණද මෙතෙක් කිසිදු සමාගමක් මෙහෙයුම් කටයුතු ආරම්භ කොට නැත.

මේ පිළිබඳ සංචාරක සංවර්ධන අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ජලාශ්‍රිත බංගලා සඳහා අනුමැතිය නොලැබීම, ධීවර සමාජය ආශ්‍රිත ගැටලු, දූපත්වල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම යන කරුණු හේතුවෙන් ව්‍යාපෘති ප්‍රමාද වී ඇති බවය.

සංචාරක සංවර්ධන අධිකාරියට නිදහස් ප්‍රදාන වශයෙන් කල්පිටියේ දූපත් 12ක් ලැබී ඇත. ඉන් දූපත් 05කට අයත් ඉඩම් අක්කර 206.74ක් සමාගම් තුනකට බදු දී තිබුණි. මෙසේ දූපත් ලබාගත් සමාගම් දෙකකින් රුපියල් පන්කෝටි විසිතුන්ලක්ෂ තිස්අටදහස් හත්සියතිස් දෙකක (52,338,732) හිඟ බදු මුදලක් අයවීමට තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

කල්පිටියේ දූපත් 12ක ඉඩම් අක්කර 2057.90 භුමි ප්‍රමාණයක් අධිකාරියට ලැබී තිබුණි. මින් දූපත් 05කට අයත් ඉඩම් අක්කර 206.74ක් 2011, 2010, සහ 2020 යන වර්ෂවලදී සමාගම් තුනකට බදු දී තිබේ. ඉන් කිසිදු සමාගමක් මේ දක්වා මෙහෙයුම් කටයුතු ආරම්භකොට නොතිබුණි. මෙකී සමාගම්වලින් වසර 03 සිට වසර 05 දක්වා බදුකුලී හිඟව පවතින බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම වර්ෂයේ මැයි මස තවත් අයෝජකයන් 4 දෙනකු සමග තවත් බදු ගිවිසුම් හතරක් අත්සන්කොට ඇති බව ද අධිකාරිය විසින් විගණනයට සඳහන් කොට ඇත. යටිතල පහසුකම් සීමාකිරීම, අනුමැතිය ප්‍රමාදවීම, හේතුවෙන් ආරම්භ කරනු ලැබූ ව්‍යාපෘතිවල ප්‍රගතිය බලාපොරොත්තු වූවාට වඩා මන්දගාමීව පැවැති බව ද අධිකාරිය විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment