ශ්‍රී ලන්කන් ප්‍රමාදයට හේතු බෙදාගනිති ඇමැති වෘත්තීය සමිතිවලින් විමසයි

35

ශ්‍රී ලන්කන් ගුවන් සේවාවන්හි ගුවන්යානාවල තාක්‍ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාදයන් සිදුවූ බවට ඉංජිනේරුවන්ගේ වෘත්තීය සමිති ප්‍රකාශ කළත් ගුවන් සේවා පරිපාලන අධිකාරිය ගුවන්යානා ප්‍රමාදයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් සිදු වූ බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 දා) පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ වී ඇත.

මෙම සාකච්ඡාව ඊයේ (02 දා) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මේ පිළිබඳ දීර්ඝ වශයෙන් වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සහ පාලන අධිකාරියෙන් කරුණු විමසීමෙන් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ දැනට ගුවන් මෙහෙයුම් සඳහා තිබෙන ගුවන්යානා 21 සඳහා ගුවන් නියමුවන් 260 දෙනකු පමණ සිටින බවත්, ඒ අනුව එක් ගුවන්යානයක් සඳහා ගුවන් නියමුවන් 12 දෙනකු සේවයේ නියුතු බවත් එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බවත් ය. එමෙන්ම ජාත්‍යන්තර නීති රීතිවලට අනුව ගුවන් නියමුවකු මසකට පැය 100 ක කාලයක් පියාසර කළ යුතු වන අතර ලැබී ඇති වාර්තා අනුව පසුගිය කාලය තුළ ශ්‍රී ලන්කන් ගුවන් නියමුවකු මසකට පියාසර කර ඇත්තේ පැය 60 ක පමණ කාලයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම කාලය අවම වශයෙන් පැය 80 ක් පමණවත් එක් ගුවන් නියමුවකු මසකට පියාසර කළේ නම් මෙවැනි ප්‍රශ්නයක් උද්ගත නොවන බවයි.

එමෙන්ම වැටුප් හා දීමනා පිළිබඳ ගැටලුවක් ද මෙම වෘත්තීය සමිති තුළ තිබෙන බව පැවසූ අමාත්‍යවරයා මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක ණයක් ද ඒ සඳහා පොලියක් ද ගෙවිය යුතු බව පැවසීය. මේ අතර පසුගිය දිනවල සිදුවූ ගුවන්යානාවල ප්‍රමාදයන් නිසා සිදුවූ පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 06 ක් පමණ වන බැවින් මේ අවස්ථාවේදී සේවකයන් හට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩිකිරීමක් සිදු කිරීමට නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment