රටේ මූලික අයිතිවාසිකම් විනාශ කරන පනත් ගෙන ඒමට ආණ්ඩුවට අයිතියක් නෑ – සයිබර් මාධ්‍ය සාමූහිකය

82

ආණ්ඩුවට රටේ මූලික අයිතිවාසිකම් අභියෝගයට ලක් කෙරෙන පනත් ගෙන ඒමට නෛතික සහ ආචාරධාර්මික අයිතියක් නොමැති බව සයිබර් මාධ්‍ය සාමූහිකය පවසයි.

මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අද (03දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව සයිබර් මාධ්‍ය සාමූහිකය විසින් ඊයේ (02දා) බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ විය. එහිදී මෙම පනත් කෙටුම්පත සාකච්ඡාවට පවා භාජන නොකර විසිකර දමන ලෙස ඔවුහු අවධාරණය කළහ.

රට දැවැන්ත ආර්ථික සමාජයීය දේශපාලන පරිහානියක ඇති බවත් අරගලය සිදු කළේ එයින් මිදෙනු පිණිස බවත් පවසන සයිබර් මාධ්‍ය සාමූහිකය ආණ්ඩුව ඒවා ගැන අවධානය යොමු නොකොට සමාජ මාධ්‍ය මර්දනයට කටයුතු කරන බවත් පවසයි.

සමාජ මාධ්‍ය තුළින් ඍජු ජනතා විරෝධය එල්ල වීම නිසා ප්‍රභූ දේශපාලනය පෙර පරිදි ගෙන යෑමට නොහැකි වීම ඔවුන්ට වදයක් වී ඇති බව සයිබර් මාධ්‍ය සාමූහිකය පවසයි. ජනපතිවරයා ලෝකයට මාධ්‍ය නිදහස ගැන කියමින් රටට මාධ්‍ය නිදහස අහිමි කරන බවත් ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ බවත් කියන එම සාමූහිකය වහාම මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අකුලා ගන්නා ලෙසත් එසේ නොවන්නේ නම් එය පරාජය කිරීමට සියලු සමාජ වේදිකා සංවිධානය කරන බවත් කියා සිටී.

මෙම මාධ්‍ය හමුවේදී සයිබර් මාධ්‍ය සාමූහිකය සංවිධානයේ විධායක කමිටු සාමාජික සඳුන් ප්‍රියංකර විතානගේ, නුවන් හෙට්ටිආරච්චි, ලංකා ඩී. ජයවර්ධන, මමිත් දිසානායක අදහස් දැක්වීය.

advertistmentadvertistment
advertistmentadvertistment