රිමාන්ඩ් එකේ ඉන්න ඉම්රාන් ඛාන් ඡන්දය දමයි

177

ඊයේ (08 දා) පැවැති පකිස්තාන මහා මැතිවරණයේදී දැනට සිරදඬුවම් විඳිමින් සිටින ‘පකිස්තාන් ටෙහ්රික් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායක හිටපු අගමැති ඉම්රාන් ඛාන්ද බන්ධනාගාරයේ සිට තැපැල් ජන්දය භාවිත කර ඇති බව පකිස්තානි ඉංග්ලිෂ් ඩේලි පුවත්පත වාර්තා කර තිබේ.

ඉම්රාන් ඛාන් හිටපු අගමැතිවරයා මෙන්ම දේශපාලන බලපෑම් මත දූෂණ චෝදනා මත සිර දඬුවම් විඳිමින් සිටින දේශපාලනඥයන් ගණනාවක්ම අඩියාලා බන්ධානාගාරයේදී සිය තැපැල් ජන්ද ඊයේ භාවිත කර ඇති බව අදාළ පුවත්පත විසින් වාර්තා කර තිබේ.

කෙසේ වුවද ඉම්රාන් ඛාන්ගේ බිරිය වන සිර දඬුවම් විඳිමින් සිටින බුෂ්රා බිබීහට තැපැල් ජන්දය භාවිත කිරීමේ අවස්ථාව මෙවර හිමි වී නොමැති අතර එයට හේතු වී ඇත්තේ ඇය අත්අඩංගුවට පත් වන අවස්ථාවේ තැපැල් ජන්දය භාවිත කිරීමේ ක්‍රියාදාමය අවසන්ව තිබීම බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වුවද ඉම්රාන් ඛාන් හිටපු අගමැතිවරයාගේ බිරිය ද තැපැල් ජන්දය භාවිත කිරීමට අවශ්‍ය බව ඉල්ලා ඇති බවත් එම ඉල්ලීම බලධාරීන් විසින් අදාළ ක්‍රියාදාමය අවසන් ව තිබීම මත ප්‍රතික්ෂේප කර ඇති බවත් එම මාධ්‍ය කියයි. 2022 වසරේ දී දූෂණ චෝදනා මත අගමැති ධුරයෙන් ඉවත් කර සිටි ඉම්රාන්ට පසුගියදා පකිස්ථාන විශේෂ අධිකරණයක් මගින් රජයේ රහස් පිටතට හෙළි කිරීම සම්බන්ධයෙන් වසර 10ක සිර දඬුවමක් හා පකිස්තාන රජයට විදෙස් රටවලින් ලැබුණු ත්‍යාග අලෙවි කිරීමේ චෝදනා මත තවත් වසර 14 ක් බැගින් වසර 24ක සිරදඬුවමක් ද නියම කරනු ලැබීය. අදාළ අධිකරණය විසින් රජයට ලැබුණු විදෙස් ත්‍යාග අලෙවි කිරීමේ චෝදනා මත ඛාන්ගේ බිරිය වන බුෂ්රා බිබීට ද වසර 14ක සිරදඬුවමක් නියම කරනු ලැබීය. ඊයේ පැවැති පකිස්තාන මහා මැතිවරණයේදී ඉම්රාන් ඛාන් ඇතුළු සිරදඬුවම් විඳිමින් සිටින ඔහුගේ රජයේ හිටපු මැති ඇමැතිවරුන් සඳහා තැපැල් ජන්ද භාවිත කිරීමට අදාළ ජන්ද පත්‍රිකා අඩියාලා බන්ධනාගාරය වෙත මැතිවරණ කොමිසමෙන් ලැබී ඇත්තේ ඉකුත් ජනවාරි මැද භාගයේදීය. ඊයේ පැවැති පකිස්තාන මහා මැතිවරණයේ දී පකිස්තාන පාර්ලිමේන්තුවේ ආසන 336ක් සඳහා දේශපාලන පක්ෂ 44ක් නියෝජනය කරමින් අපේක්ෂකයෝ 5121 දෙනෙක් තරග වැදී සිටියහ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment