අධිවේගයේ ආප්ප කඩේ තමයි අපට පාර පෙන්නුවේ….

සයිවර් කෑම තමයි කැරකිලා වෙජිටේරියන් ෆුඩ්ස් වුණේ…

අපට දේශීය විදේශීය කියලා බෙදීමක් නැහැ… හැමෝටම සලකන්නේ එකම හැන්දෙන්

මේ රට දාලා අපට දවස් දහයකට පහළොවකට වඩා කොහෙවත් ඉන්න බැහැ…..

අපි මේ වන විට රටවල් හතළිහක විතර ඇවිදලා තියෙනවා.. ඒ කොතැනකවත් දවස් දහයකට වඩා ඉන්න බැහැ.. මේ ශ්‍රී ලංකාවේ තියෙන සොබාවික පරිසරය ගස්වැල්, කාලගුණය, මිනිස්සුන්ගේ අව්‍යාජ හිනාව කොයි රටකදිවත් එක විදිහට අපට ලැබිලා නැහැ…..” යෝගරාජන් – ගෞරි දර්ශනි යුවළත් ඔවුන්ගේ එකම පුත් සුදර්ශන් යෝගරාජාත් එකම හඬකින් කියා සිටියහ.

නරකෙට තියෙන්නේ ලංකාව නෙවෙයි, පාලනය කරන පාලකයෝ කියලා තේරුම් නොගන්නා බහුතරයක් පිරිස අද වන විට ලංකාව හැර යති. නමුත් ලංකාවේ අසිරියත් දේශගුණයේ ඇති යහපත් බවත් සොබාදහමෙන් ලැබෙන දායාදයන් පිළිබඳවත් ගැඹුරින් තේරුම් ගන්නා විදේශිකයන් මේ අදටත් ලංකාව හැරයෑම තරයේ ප්‍රතික්ෂේප කරති. ලංකාව ප්‍රතික්ෂේප නොකරන ලංකාවට ආදරය කරන මේ පවුල, බලාජී දොසයි පවුලයි…

ඉන්දීය සම්භවයක් ඇති මේ උදවිය කිසිදා මහනුවර හෝ ශ්‍රී ලංකාව හැර නොයන බව කියති. “ අපි ඉන්දියාවේ මිනිස්සු තමයි. මගේ අක්කා නංගි අදටත් ජීවත් වෙන්නේ ක්වායිමුත්තූර් වල. මගේ අම්මා සිවාපාක්‍යම්. තාත්තා කන්දයියා. කවුරු මොනවා කිව්වත් මම මේ රට දාලා ආයේ කොහෙවත් යන්නේ නැහැ. මොකද ජීවත් වෙන්න හොඳම පරිසරය තියෙන්නේ මේ ලංකාවේ විතරයි…..” යෝගරාජන් නැවතත් කියයි.

දැන් ලංකාවේ යුද්ධයක් නැත. උතුරේ සිට දකුණටත් දකුණෙ සිට උතුරටත් නිදහසේ ඇවිද යා හැකිය. යුද්ධය ඇති පසුබිමක දීත් මේ පවුලේ උදවියට ලංකාවේ අගය තේරුම් ගියේද යන්න විමසීම වටිනු ඇතැයි සිතිණි.

“යුද්ධය නිමා වෙන්න ආසන්නයේ තමයි අපි ලංකාවට ආවේ. යුද්ධය අවසන් වෙමින් යන වගක් ඇත්තටම ඒ කාලේ අපට දැනුනා. මගේ තාත්තා අම්මා ඉන්දියාවේ ඉපදුනාට මම ලංකාවේ ඉපදුන මනුස්සයෙක්….” යෝගරාජන් කතාවට මුල පිරුවේ එසේයි.

“මම ඉපදුනේ මාතලේ. මගේ තාත්තාට තිබුණා ආරියභවන් කියලා කඩයක්. මං පුංචි කාලේ කියන්නේ දැනට අවුරුදු හැට හැත්තෑවකට කලින්. ඒ කාලේ අදවගේ යන්ත්‍ර උපකරණ නැහැ. අඹරනවා. කුඩු කරනවා. කලවම් කරනවා. අනනවා. ගුලි හදනවා. කෑම කඩයක් වුණාට මේ ක්‍රියාකාරකම් සියල්ලක්ම මේ කඩය ඇතුළේ සිද්ධ වුණා. ඒ මදිවට දර අඟුරු ළිපවල්. දුම එනවා. අඟුරු බොයිලේරුවේ හැම වෙලාවෙම වතුර උතුරනවා.

ඉදිආප්ප තෝසේ පිට්ටු තෝසේ කරි කොච්චි සම්බෝල සයිවර් කෑම පිරිලා… තෝසේ උදු සුවඳ ……හැමවෙලාවකම. මටත් කවදා හරි මගේම කියලා මේවගේ කඩයක් දා ගන්න වුවමනාව ඒ කාලෙදිම ඇති වුණා. නමුත් මුහුණ දීපු විවිධ සිදුවීම් එක්ක ඒ කාලේ ලොකු දෙයක් හිතන්න බැරි වුණා. …”

ඒ කාලේ මේ අයට ලොකු දෙයක් හිතන්න බැරි වුණත්, මේ කාලේ ලොකු දෙයක් කරන්න පුළුවන් වුණ බව නොකියාම බැරිය. මොකද, මේ වන විට ලෝකයේ රටවල් එකසිය පහළොවක් අතරින්, ගුණදායි පෝෂ්‍යදායි සුපිරිසිදු ආහාර සැකසීම සඳහා ඉන්දියානු රජය විසින් ලබා දෙන අන්නපූර්ණ සම්මානය ශ්‍රී ලංකාවට හිමිකර දීමේ වරම් ලැබුයේ බලාජි දොසයි විසින් බව සතුටින් කියන්නට හැකියාව ලැබී තිබීම නිසාය. ඉන්දියානු සංස්කෘතික සම්බන්ධතා මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබූ මෙම සම්මාන උළෙල දි ගුණදායි ආහාර නිපදවා ජනතාව වෙත පිරිනැමීමේ උසස් සේවාව සඳහා බලාජි හි සූපවේදී සහ හිමිකරු සම්මානයෙන් පිදුම් ලබනු ඇත.

ශ්‍රී ලංකාවේ මහනුවර සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවිය විසින් නිල වශයෙන් මේ පිළිබඳව දැනුම් දී තිබිණි.

සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවිය, බලාජි විසින් හිමිකර ගත් අන්නපූර්ණ සම්මානය පිළිබඳව කියා සිටියේ මෙවැන්නකි. “ලංකාවේ සෑම නගරයකම ඉන්දියානු රසය සහිත මස්මාංශවලින් තොර ආහාර නිෂ්පාදනය කරන ස්ථාන පිළිබඳව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු සහකාර මහකොමසාරිස් කාර්යාලය සමීක්ෂණයක් සිදු කළා. සෑම අතින්ම විශිෂ්ට ආහාර නිපදවීමේ හැකියාවක් බාලාජි දෝසයි කණ්ඩායමට ඇති බව හොඳින් පැහැදිලිව දක්නට ලැබුණා. ලෝකයේ රටවල් එකසිය පහළොවක් අතරින් ඔවුන් ජයග්‍රහණය කිරීම අපට විශාල සතුටක්. ඉන්දීය සම්භවයක් ඇති ශ්‍රී ලාංකික අනන්‍යතාවට මුල් තැන දෙන ලංකාවේ ජනතාවටත් විදේශීය ජනතාවටත් එකලෙස සලකන මෙවැනි ආයතන රැක ගැනීමේ අරමුණින් අපි මේ අයගේ සේවය ඉහළින් අගය කරනවා. ලෝක ආහාර දිනය නිමිති කරගෙන සංවිධානය කළ මෙම වැඩසටහන යටතේ බලාජි කණ්ඩායම ඇගයීමට හැකි වීම අප ලද භාග්‍යයක්. සම්මාන උළෙල පැවැත්වෙන්නේ මේ දෙසැම්බර් මාසේ අග.”

සිය මව්රටෙන් සම්මාන හිමි කර ගන්නට ඔවුන්ගේ සේවයේ විශිෂ්ටත්වය සැබෑවක්ම විය යුතුය. එසේ වන්නේ ඔවුන් තිදෙනාගේ කැපවීමය. අවංකභාවයය.

ඇතැම් අවස්ථාවලදි ඒ ඒ රටවල පවතින ආර්ථික සමාජයිය පසුබිම යටතේ ආරම්භ වන කලකෝලාහල ජාතීන් අතර බෙදීම් දේශපාලන පරස්පරතා පුද්ගලයෙකුගේ ජීවන ගමන් මග වෙනස් කිරීමට හේතු වෙයි. යෝගරාජන් ඇතුළු පවුලටත් 1983 කළුජූලිය ඔවුන්ගේ ජීවන ගමන් මග හැරවුම් ලක්ෂ්‍යයකට යොමු කරන්නට තරම් බලපෑම් කොට තිබිණි. ඒ සම්බන්ධයෙන් යෝගරාජන් මහතා කියා සිටියේ මෙවැන්නකි.

“අසූ තුනේ කළු ජූලියට අපි ඉන්දියාවට ගියා. මොකද ඒ වෙනකොට රටේ හැම තැනම දෙමළ ජනතාවට හිරි හැර සිද්ධ වෙන බවක් දක්නට ලැබුණා. මගේ නෝනා ගෞරී දර්ශනී. අපි කතාවුණා ඉන්දියාවේ කාලයක් ඉන්න. ඒ ඉන්න අතරදි , අපි දවසක් කේරළයට යනවා පාලක්කාඩු ඉඳලා. මේ යන්නේ අධිවේගී මාර්ගයේ. ක්වායිමුත්තුර්වලදි අපි දැක්කා ඉහළ පැලැන්තියේ කියලා සලකන වාහන තියෙන පිරිස් පාර අයිනේ වාහන නතර කරලා තියෙනවා. අපිත් නතර වෙලා බැලුවා මොකද මේ කියලා.

බලනකොට පුංචි පැලක් වගේ තැනක වයසක අම්මා කෙනෙක් ආප්ප පුච්චනවා. හරි සුවඳයි. පිරිසිදුකමත් හරිම ඉහළයි. ආප්ප පුච්චන්නෙත් දර ළිපක. හදන හදන ආප්පය ඉවර වෙනවා. ඒ තරම් ඉල්ලුම. එතනදි මට අපේ මාතලේ ආරියභවන් මතක් වුණා. මටත් හිතුනා මගේම කියලා මේ වගේ කෑම හදන තැනක් දා ගන්න. මේ පුංචි තැන තියෙන පිරිසිදුකම කඩිසරකම වගේම කෑමවල තියෙන උසස් තත්ත්වය ඕනම මනුස්සයෙක් ගෙන්වා ගැනීමේ හැකියාවෙන් පිරිලා කියලා මට හිතුණා.

අපි යුද්ධය ඉවර වෙන්න කිට්ටුව ලංකාවට ආවා. මමත් බිරිඳත් පුතත් තුන්දෙනාම ලංකාවේ හැම තැනම වගේ ඇවිදින්න ගියා. හැමතැනම තියෙන කෑම කඩවල් ගැන හොඳ විපරමින් බැලුවා. ඉන්දියානු කෑම සහිත තැන් බලද්දි තිබුණෙ සයිවර් කඩ. ඉන්දියන් ෆුඩ්ස් කියපු ගමන් පෙන්වන්නේ සයිවර් කඩයක්…”

ගෞරි දර්ශනී හෙවත් යෝගරාජන් ගේ බිරිඳ අතීතය සිහිපත් කළාය.

“අපි දැක්කා හුඟාක් කෑම කඩවල කලින් කෑම හදලා තියලා තියෙනවා. ඒවා ඉවර වේගෙන එද්දි තමයි, ආයෙමත් හදන්නේ. අපි කතා වුණා මේ ක්‍රමය වෙනස් කරන්න. මොකද අපි බැලුවා, මේ රටේ මිනිස්සුන්ට රසට කන්න දෙන්න. කෙටියෙන්ම කිව්වොත් උණු උණුවේ කන්න දෙන්න… කලින් මේසෙට යවන කෑම තෝරලා කාලා ඉතිරි ඒවා තියලා ආයෙත් තවත් කට්ටියකට කන්න දෙන ක්‍රමය වෙනස් කරන්න. ඒ අනුව තමයි බාලාජි දෝසයි කියන තැන පටන් ගන්නේ…”

වසර දෙදහස් අටේ අගෝස්තුවේ පළවෙනි බලාජි දෝසයි ආරම්භ වන්නේ මහනුවර දොඩම්වෙල හන්දියේදි. මස්මාංශ රහිත කෑම පමණක් දෙන්නට තීරණය වූ නිසාම “ peoveji balji thosai’’ නාම පුවරුවෙන් හැඩ වූ වෙළඳ කුටියක් නිර්මාණය විණි. නමුත් එවකට එළවළු කෑම පමණක් කන්න කැමති බහුතර පිරිසක් මහනුවර සහ තදාසන්නයේ නොසිටි නිසාම පළමු දිනයේ ආදායම වී තිබුණේ රුපියල් තුන්දහස් හාරසියයක් පමණි. මේ තත්ත්වය වෙනස් කරන්නට යෝගරාජන් මහතා ඇතුළු පිරිස කටයුතු කර තිබිණි.

“වෙජි කියපු ගමන් සමහර උදවියගේ මූණ ඇඹුල් වෙලා යනවා. අපට තේරුණා මෙහෙම ගියොත් නම් ටික දවසකින් කඩේ වහලා දාන්න වෙයි කියලා. ඒ නිසා ම පියෝවෙජි කියන කෑල්ල වහලා බෝඩ් එක බලාජි දෝසයි කියලා විතරක් පේන්න තිබ්බා. චිකන් කොත්තු ෆ්‍රයිඩ් රයිස් වගේ දේවල් දෙන්න පටන් ගත්තා. මෙන්න එතකොට මිනිස්සු ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා. අපි හුඟක් රසට කෑම හැදුවා කිසිම රසකාරකයක් දැම්මේ නැහැ. අපේ අම්මා තාත්තා ආරියභවන් එකේ දුන්නා වගේ සූදුරු, මහදුරු, කොත්තමල්ලි, ඉඟුරු, සුදුලූනු, සේර, කුරුඳු, කරාබුනැටි, එනසල්, කරපිංච, රම්පේ වගේ කුළු බඩු අඹරලා තමයි කෑම රස කළේ.

ඒ වැඩේ සාර්ථක වුණා. මම කොහොමත් අලුත් දේවල් ගැන හිතනවා. මට මතක් වුණා… ඉස්සර බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවේ මිනිසුන්ට තේ බොන්න පුරුදු කළ විදිහ. ඒ අය කළේ හන්දියක් හන්දියක් ගානේ තේ පෝච්චි තියලා තේ බොන්න දෙනවා. සල්ලි ගන්නෙත් නැහැ. මාත් ගෞරිත් කතා වුණා… කෑම කන්න එන අයට තෝසේ වඩේ උදුවඩේ වගේ කෑම නොමිලේ දෙන්න.

ටික දවසක් යද්දි ඒ නිකං කාපු කෑම අපෙන් මිනිස්සු ඉල්ලන්න පටන් ගත්තා. ඊට පස්සේ, හෙමීට වෙජි බෝඩ් එක ආයෙත් දාලා කොත්තු පරාටා වැඩේ නතර කළා. හෙමිහිට මස් මාංශ දෙන එකත් නතර කළා. අපි මුලින්ම තෝසෙ එකක් දුන්නේ රුපියල් පහළොවට. පිරිසිදු ප්‍රනීත උණු උණු කෑම දෙන්න අපි එළවළු ගෙනාවේ කටුගස්තොට එළවළු මාර්කට් එකෙන්. මගෙ කෝකියො මට කිව්ව ඔහොම නම් කරගන්න අමාරු වෙයි.. එළවළු මාර්කට් එකෙන් ගොඩවල් විදිහට තියෙන එළවළු ගේමු කියලා. නමුත් මම එයට විරුද්ධ වුණා. මම අදටත් දෙන්නේ නැවුම් එළවළු පලතුරු විතරයි. මේ වෙද්දි මහනුවර නගර මධ්‍යයේ යටිනුවර විදියේ බලාජි දොසයි අලෙවි සලක් පටන් ගත්තා. ඒක හිතුවාට වඩා සාර්ථක වුණා. දෙදහස් දොළහෙදි මෙතන වෙජි කෑම විතරක් දුන්නා. එය හිතුවටත් වඩා සාර්ථක වුණා. මේ සාර්ථකත්වයට එකම හේතුව අපේ කෑම වල තියෙන පිරිසිදු භාවය සහ උසස් තත්ත්වය. රසකාරක නොමැති වීම වෙන්න පුළුවන්.

මේ වන විට බලාජි දෝසයි හි තෝසෙ වර්ග අටකට ආසන්න සංඛ්‍යාවක් තිබේ. කොත්තු පරාටා වැනි කෑම නැත. උත්තප්පම්, මසාලා, ඉට්ලි, චපාති, සාම්බාරි ඇතුළු ආහාර වර්ග රැසක් බලාජි දෝසයි හි තිබේ. පලතුරු බීම, අයිස් ක්‍රිම්වර්ග සියල්ල නිපදවන්නේ ඔවුන්ටම ආවේණික නිෂ්පාදනාගාරයකිනි. අදටත් ඔවුන් නවතම කෑම වර්ගයක් හඳුන්වා දෙන්නේ නම්, මුලින් පාරිභෝගිකයාට එය නොමිලේ ලබා දී රසගුණ හොඳ නරක විමසා සිටී. අනතුරුව ඊට හොඳ ඉල්ලුමක් ඇත්නම් මිල තීරණය කර විකිණීම සඳහා තබයි. මව පියා සහ පුතු යන තිදෙනාම එකසේ සිය වෙළෙඳ සලේ රැඳෙමින් පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීම බලාජි දොසෙයි හි තවත් සුවිශේෂි සිදුවීමකි.

මේ සම්බන්ධයෙන් යෝගරාජන්ගේ පුත් සුදර්ශන් යෝගරාජන් කියා සිටියේ මෙවැන්නකි.

“ අම්මා තාත්තා මං පුංචි කාලේ ඉඳලාම මට කන්න බොන්න දුන්නේ බලාජි එකේ ඉඳලා. මට කියලා වෙනම කෑම හැදුවේ නැහැ. පාරිභෝගිකයාට හදන කෑම තමයි මටත් දුන්නේ. මේ ගැන තාත්තාගේ යාළුවෙක් දවසක් තාත්තාගෙන් ඇහුවා. පුතා කන්නෙත් කඩේ කෑමමද කියලා. තාත්තා එතකොට කිව්වා… “ ඔව් ඔව් … අපි මෙතනට කන්න එන හැමෝටම දෙන්නේ ඉතා උසස් වර්ගයේ ප්‍රනීත කෑම. පුතා කන්නෙත් ඒවා තමයි. තමන්ගේ පුතාට දෙන්නේ හොඳ කෑම නේ ඒ වගේම තමයි මෙතනට කන්න එන ඔන කෙනෙකුට අපි දෙන්නේ ඉතාම හොඳ කෑම විතරයි…” කියලා.

මහනුවර නගරය ඇසළ පෙරහැර මංගල්‍යය සමයේ උත්සව ශ්‍රීයෙන් බැබළෙයි. නගරයේ බොහෝ වෙළෙඳ සල් ඒ දින දහය තුළ කාර්යක්ෂම නව්‍ය ක්‍රමෝපායන් යටතේ සිය නිෂ්පාදන විකුණා ගැනීමට වෙරදරයි. බලාජි දෝසයි වෙළෙඳ සල එදින දහය තුළ වසා දැමෙයි. මේ පිළිබඳව යෝගරාජන් මහතා කියන්නේ මෙවැන්නකි.

“පෙරහැර කාලෙට අපේ කඩේ ඉස්සරහ මිනිස්සු පිරිලා. ඒ අය උදේ ඉඳන් පදික වේදිකාවේ ඉඩ අල්ල ගන්නවා. අපි කඩේ ඇරියොත් මේ මිනිස්සුන්ට බාධාවක්. ඉඳගෙන ඉන්න උඩින් යනවා. කරදර වෙනවා. ඒ නිසා අපි ඒ දින දහය කඩේ වහලා ඇවිදින්න යනවා. මේ වෙද්දි අපි ලෝකෙ රටවල් හතළිහක විතර ඇවිදලා තියෙනවා. …

අපේ කෑම ගැන විශ්වාසයක් තියලා එන අය නිසා තමයි අදටත් අපි ආරක්ෂා වෙන්නේ. මගේ වහලය යට මේ ලෝකෙ හැම ජාතියකම හැම ආගමකම හැම මනුස්සයෙක්ම වාඩිවෙලා කෑම කනවා. මට ඒක ආශිර්වාදයක්. මම ඒ අයට ගරු කරන්න ඕන. මනුස්සකම සල්ලිවලට ගන්න බැහැ. අපි හදන හැම කෑමක්ම තියන්නේ පැය තුනයි. පැය තුනෙන් තුනට කෑම අලුත් වෙනවා.

මගේ බිරිඳ ගෞරිගේ කැපවීමයි … මගේ වැඩවල පිළිවෙළයි… පුතාගේ නව දැක්මයි එක්ක මේ කටයුත්ත ශක්තිමත්ව තබා ගන්න අපට පුළුවන්. රටේ හැමතැනම මිනිස්සු අපේ කෑම රස හඳුනනවා. වෙලාවකට මම උදේ කඩේ අරින වෙලාවට මිනිස්සු කඩේ ළඟ හිටගෙන ඉන්නවා. පාන්දර මාළිගාවේ පූජාවට ඇවිත්, උදේ කෑම කන්න අපේ බලාජි එකට ඇවිත්. මිනිස්සු අපේ කෑම රසය හොයාගෙන එද්දි අපිට ලොකු සතුටක් දැනෙනවා. ජීවත් වෙනවා කියන්නේ මේකට මම හැමදාම එහෙම හිතනවා.

මේ ලංකාව කියන්නේ ඇත්තටම දිව්‍ය ලෝකයක්. අද වන විට බොහෝ දෙනා ලංකාව දාලා යනවා. ඒ තරම් අපරාධයක් මම දකින්නේ නැහැ. මේ රටේ සම්පත් හරිහැටියට යෙදෙව්වොත් මේ ලංකාව වසරක් තුළ ගොඩ ගන්න පුළුවන්… මේ ගැන අපි හැමෝම කල්පනා කරමු. අපි හැමදාම උදේට කඩේ අරින්නේ අද මොනතරම් මිනිසුන්ට සේවයක් කරන්න පුළුවන්ද කියන චේතනාවෙන්. ව්‍යාපාරයක් කියන්නේ සල්ලි හම්බකිරීමම නෙවෙයි. අපේ ව්‍යාපාරය හරහා මනුස්සකම ලෝකයට දෙන්නත් අපට පුළුවන් වෙන්න ඕන… අපි සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ එවිටයි….

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment