ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසරේ පළමු තරග සංචාරයට අද පියවර තබයි

255

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ සිය පළමු විදෙස් තරග සංචාරයට අද (29 වැනිදා) පිටත් වේ. බංග්ලාදේශය සමගින් විස්සයි 20 තරග තුනකට, එක්දින තරග තුනකට හා ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා ඒ අනුව අද උදෑසන ඔවුහු දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව සිටියහ.

තරග සංචාරය ආරම්භ කරමින් පන්දු වාර 20-20 තරගාවලිය පළමුව පැවැත්වීමට නියමිත අතර ඒ අනුව පළමු පන්දු වාර 20-20 තරගය ලබන 04 වැනිදා ආරම්භ වේ.

තරග 3 කින් යුතු එම තරගාවලිය සඳහා 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (28 දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණි.

ඇෆ්ඝනිස්ථාන තරග සංචාරයේදී ආබාධයට ලක් වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට මෙම තරග සංචාරයම අහිමි වන බැවින් ඔහුගේ හිඩැස පිරවීම සඳහා පන්දු වාර 20-20 සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු කැඳවා ඇත.

තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග වෙනුවට පළමු තරග දෙකේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිවී ඇත.

එසේම වනිඳුගෙන් හිස්වූ පළමු තරග දෙක සඳහා පාදඟ පන්දු යවන්නකු ලෙස ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට නම් කර තිබේ.

විස්සයි 20 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය

චරිත් අසලංක (පළමු තරග දෙක සඳහා නායක), වනිඳු හසරංග (තෙවැනි තරගය සඳහා නායක), කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, නුවන් තුෂාර, මතීෂ පතිරණ, දිල්ශාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩසේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment