ඉමියුනෝග්ලෝබින් ගනුදෙනුවෙන් කෝටි 100ක් අපයෝජනය කරලා වහාම මේ ගැන සොයන්න – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ලියයි

187

ලියාපදිංචියක් නොමැති ඉමියුනෝග්ලොබින් ඖෂධ ගෙන්වීමේ ප්‍රශ්නගත ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයේ මුදල් කෝටි සියයකට ආසන්න ප්‍රමාණයක් අපයෝජනය කිරීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට කරුණු අනාවරණය වන බවත් ඒ හෙයින් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු වෘත්තීය හා සිවිල් සංවිධාන නායකයෝ ඊයේ (24දා) උදේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් භාරදුන්හ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය අපයෝජනය කරමින් වෙනත් ඖෂධ රැසක් ද මේ අන්දමට ගෙන එන්නට ඇතැයි දැන් සැකයක් නිර්මාණය වන බවත් ඒ නිසා මෙය ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කෙරෙහි තබන ලද විශ්වාසය පළුදු කිරීමක් වන බවත් ඒ හෙයින් මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය දැනුවත් කර ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් චමල් සංජීව මහතා එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙන්වන ලද ඖෂධ හා ගෙවීම් සම්බන්ධව ද පුළුල් විවරණයක් සිදුකරන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ව්‍යාජ තනතුරු නිර්මාණය කරගනිමින් අනවශ්‍ය ඖෂධ හිඟයක් ඇති බවට පෙන්නුම් කරමින් මේ අන්දමට සිදුකරන ලද ගනුදෙනු හරහා ශ්‍රී ලංකා රජයේ හා ඉන්දියානු රජයේ මුදල් අවභාවිතාවක් සිදුවී ඇති බවත් එබැවින් වහාම මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කර ඉදිරි පියවර ගන්නා ලෙසත් මින් ඉදිරියට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් ලබාදීමේදී අධීක්‍ෂණ මණ්ඩලයක් හරහා පාරදෘශ්‍යභාවය වැඩි වන ලෙස කටයුතු කරන ලෙසත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉන්දියානු මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත.

ඉමියුනෝග්ලොබින් ඖෂධය සාමාන්‍යයෙන් ලබාදෙනුයේ ස්නායු රෝගීන් හා ළමා රෝගීන් සඳහා බව සංජීව මහතා කීය. මෙම ව්‍යාජ ඖෂධය කුමන රටකින් ගෙන්වූවේ ද යන්න මෙතෙක් හෙළිවී නැතැයි ද හෙතෙම කීය.

චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment