ඩයනා ගැන විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 15 දා දෙන්න උසාවියෙන් සී.අයි.ඩීයට නියෝග

217

ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇතුළු චෝදනා යටතේ රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කර ලබන දෙසැම්බර් 15 වැනිදා විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (10 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

තම අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ යම්කිසි අපරාධ චෝදනාවක් වන බැවින් එකි චෝදනාවලට අදාළ විමර්ශනවල ප්‍රගතිය අවම වශයෙන් මාස දෙකකට වරක්වත් තම අධිකරණයට වාර්තා කළ යුතුව තිබූ නමුත් විමර්ශන නිලධාරීන් එලෙස සිදු නොකිරීම මෙවන් ගැටලු සහගත තත්ත්වයකට හේතු වී ඇති බව සඳහන් කරමින් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. 2020 වසරේ ලැබුණ පැමිණිල්ලකට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් තොරතුරු ලබාගෙන නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා පසුගිය අගෝස්තු 29 වැනිදා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇතත් මේ දක්වා නීතිපති උපදෙස් ලැබි නැතැයි පෙර දිනයේ අධිකරණය නිකුත් කළ නොතිසි නියෝග අනුව අධිකරණය හමුවේ පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට පැවසීය. බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක වන එකී රාජ්‍ය අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ රැඳී සිටිනුයේ සංචාරක වීසා අලුත් කිරීමකින් තොරව බවට අනාවරණය වන බවත් රටේ එක් නීතියක් මිස එක් එක් පුද්ගලයාගේ තරාතිරම හෝ අනෙකුත් කරුණු මත නීති දෙකක් තිබිය නොහැකි බවත් එහිදී අධිකරණයට පැවසූ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇය නීති විරෝධි ලෙස රටේ රැඳී සිටින්නියක නම් ඇය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට විමර්ශන නිලධාරීන් මැලිවනුයේ ඇයි දැයි විමසා සිටියහ.

අගතියට පත් පාර්ශ්වය පෙර දිනක මෝසමක් මගින් නඩුව කැඳවා අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ එම රාජ්‍ය අමාත්‍යවරිය සමගි ජනබලවේගය පක්‍ෂයේ ලේකම්වරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර එම පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් වන්නේ යැයි ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක සහ නීතිඥ තුසිත ගුණසේකර යන මහත්වරු අධිකරණයට වැඩිදුරටත් පැවසූහ.

රාජ්‍ය අමාත්‍යවරියට එම චෝදනාව එල්ල වන විට සමගි ජලබලවේගය පක්‍ෂයේ ලේකම්වරයාට ද ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව නිසැකින්ම එල්ල වන බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිනුයේ තමන් මිස වෙනත් නීතිඥවරයකු නොවන බවත් පැමිණිලිකාර ලක්මාල් ඕෂධහේනේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අධිකරණයට පැවසීය. යම්කිසි අපරාධයකින් අගතියට පත්වන ඕනෑම පාර්ශ්වයකට අධිකරණය හමුවේ කරුණු දැක්වීමේ බාධාවක් නොමැති බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment