අයිඑම්එෆ් කියන ඉලව්ව බෙල්ලේ දාගත්තා කියා රට ගොඩ යන්නේ නෑ – සරත් ෆොන්සේකා (සජබ)

99

අභියෝගය ජය ගැනීමට සියලු දෙනාගේම සහය අවශ්‍යයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් මෙරට තුළ විවෘත කළ නව දොරටුව සාර්ථක කර ගනිමින් එම අභියෝගය ජයගැනීමට නම් රජය හෝ පාර්ලිමේන්තුවේ පමණක් නොව රටේ ජනතාවගෙත් පෞද්ගලික අංශයේත් සහයෝගය අවශ්‍ය බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියේාජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. නිවේදන, ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු විසින් පිළිතුරු සැපයීම සහ 27/2 යටතේ විශේෂ ප්‍රශ්න විසඳීම සහ ඒවාට පිළිතුරු සැපයීම සිදුවිය.

අනතුරුව මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමි වූ ණය පහසුකම් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයේ දෙවැනි දිනයට ආරම්භ කෙරිණි.

විවාදය ආරම්භ කරමින්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම පිළිබඳ විස්තරාත්මක කරුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමා හැටියටත්, මුදල් අමාත්‍යතුමා හැටියට විස්තරාත්මකව ඉදිරිපත් කිරීම අතිශයින් මේ අවස්ථාවේ අපි අගය කරන බව පළවෙනියෙන් ප්‍රකාශ කරන්න ඕනේ. මෙම ගිවිසුමට සම්බන්ධ සියලු කරුණු සභාගත කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී එය විවාද කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා රජය විසින්. එම විවාදයට එක් වෙමින් මෙම ක්‍රියාවලියේ තිබෙන බරපතළකමෙන් ගොඩ ඒමට දැන් දොරටුවක් විවෘත වී තිබෙන බව, ප්‍රකාශ කරන්නට ඕනේ. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා පමණක් නොව, මුළු මහත් ජාතියම සඳහායි එය. අපි යථාර්තය පිළිගත යුතුයි. අපි අඩු ආදායම් ලබන ජනතාවට තිබුණු සමාජ ආරක්ෂාව ගැන නිතර දෙවේලේ සාකච්ඡා කළා. මේ ගිවිසුමෙන් මෙයට හානියක් වන බව කියන්න උත්සාහ ගන්නවා.

අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවත් වීමේ ගැටලුවලදී මේ උද්ධමනය, ආර්ථික අමාරුකම්, ආහාර ප්‍රශ්නවලට ලබාදිය හැකි හැම සහනයක්ම ලබා දීමට මේ කාල පරිච්ඡේදයේදී කටයුතු කරාටත් වැඩිය ඉදිරියට කටුයුතු කරන්න පුළුවන්කමටයි මේ ගිවිසුම අපිව විවෘත කරනු ලබන්නේ. ඒ වගේම රටේ හැම පුරවැසියෙක්ම පසුගිය හය මාසයේ මූල්‍යමය නැත්තන් මුදල් ශික්ෂණයකට පුරුදු වී තිබෙනවා. තමන්ට පුළුවන් දේ සඳහා අත්‍යවශ්‍ය දේ සහ ප්‍රමුඛතා දේ සඳහා වැය කිරීමට පුරුදු වුණු ක්‍රියාදාමය ඉතාම වැදගත්. ඒ වගේම දෙපාර්තමේන්තු හා ආයතන ද ඒ ආකාරයෙන්ම කටුයුතු කරන්න පුරුදු වීම සුවිශේෂ දෙයක්.

නාස්තිය හා දූෂණයේ පදනම ඉවත් කිරීමට අපිට අවශ්‍ය වූ ඒ හීනය ආරම්භ කොට තිබෙනවා. ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් අන් සියලු රටවල් එලෙස විශ්වාස තහවුරු කිරීමේ පුළුවන්කමට පැමිණෙනවා.

(හරිනි අමරසූරිය මහත්මිය මූලාසනයට පැමිණේ)

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා (සජබ) :

අපි එදා අයිඑම්එෆ් යන්න කියද්දී ගිය නැති අය අද මේ ජනාධිපති අයිඑම්එෆ් ගිහින් ඒ ණය මුදල ගත්තහම එදා මහ බැංකු හොරා කියපු අයම අද මේ ජනාධිපතිතුමාට ප්‍රශස්ත ගී ගායනා කරනවා. ඒ වගේම කියන්න ඕන මේ ණය ගත්ත එක මහ ලොකුවට රතිඤ්ඤා දාලා සමරන්න ඕන දෙයක් නොවෙයි. ගෙදර තාත්තා බූරුවා ගහලා බංකොලොත් වෙලා ඊට පස්සේ බැංකු ණයක් ගත්තහම ගෙදර ළමයි සතුටු වෙනවා වගේ වැඩක් මේක. මේ ණය ලැබුනේ බදු ගහලා. බඩු මිල වැඩි කරලා. විදුලි බිල වැඩි කරපු නිසායි. ඒ නිසා ජනාධිපතිතුමාට ඒ ණය ලබා ගන්න පහළ පංතියේ ජනතාව විශාල කැපවීමක් කර තිබෙනවා. අද කොළඹ වතු ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ අය කනවා නොවෙයි ලෙවකනවා. ඒ නිසා ඒ අයට විදුලි බිලට සහනයක් දෙන්න ඕන. සමාජ ආරක්ෂණ දැල මගින් ඔවුන් ආරක්ෂා කරන්න ඕන. එදා අපි කිව්වා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. අද ජනාධිපතිතුමා ඒ දේ කරනවා. නමුත් එතුමා අපේ කඳවුරේ සිට ඒ දේ කරන්න ගියා නම් ඒකට කවදාවත් පොහොට්ටුවේ අය ඉඩ දෙන්නේ නෑ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා (ශ්‍රී.පො.පෙ.) :

අද හැම දෙනාම අයිඑම්එෆ් ලැබීම ගැන අභිමානයෙන් කතා කරනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. එදා අපි ඝෝඨාභය ජනාධිපතිට කිව්වා අයිඑම්එෆ් පහසුකම ලබා

ගන්න කියලා. නමුත් ගණන් ගත්තේ නෑ. ඒ පහසුකම ගත්තා නම් අපේ රටේ ජනතාව මේ තරම් විපතට වැටෙන්නේ නෑ. නමුත් අද මේ සහනය ලැබුනා කියලා රතිඤ්ඥා පත්තු කලා කියලා වැඩක් වෙන්නේ නෑ. දැන් තවත් අමාරු කොන්දේසි සපුරන්න වෙනවා. ජනාධිපති ඉතාම ලෙහෙසියි කියලා හිතුවාට අපේ ජනතාවට මේ රටේ වුනු වෙනස්කම් දරා ගන්න අමාරු වෙලා තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ) :

මේ රට ඉතාම අසීරුතාවයෙන් සිටින අවස්ථාවක් මේක. ජනතාවට කන්න විදිහක් නෑ. ඒත් අපි දැක්කා අයිඑම්එෆ් ණයක් ලැබුනා කියලා රතිඤ්ඥා පත්තු කරනවා. ඒ ගැන කණගාටුයි. අපි තවත් ලෝකයට ණය වෙනවා විතරයි වෙන්නේ. ජනාධිපතිතුමා මම දැක්කා අහනවා එහෙනම් විකල්පය කුමක්ද කියලා. එතුමාට විකල්ප දෙන්න නොවෙයි අපි ඉන්නේ. අපි ඒ විකල්ප වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්නම්. මේ අය දැන් සුරංගනා කතා කියනවා. ඒත් අපි දැක්කා පසුගිය කාලයේත් සුරංගනා කතා කියලා රටට වුනු දේ ගැන. අපි කියනවා ජනාධිපතිතුමාට විහිළු සපයන්න එපා කියලා. මේ පාලකයෝ පුස් මිනිස්සු කියලා දැන් ඔප්පු වෙනවා. අයිඑම්එෆ් කියන මේ මළ ඉලව්ව බෙල්ලේ දාගත්තා කියලා රට ගොඩ යන්නේ නෑ. ඒකට දේශීය වශයෙන් අදායම් උපද්දලා ඩොලර් හොයන්න ඕනා. නැතුව මේකෙන් ගොඩ යන්න බෑ. ප්‍රමිතියක් තිබෙන නායකයෝ හඳුනාගන්න ජනතාව දැන ගන්න ඕන. නැත්නම් වෙන්නේ තවත් රට ආපස්සට යන එකයි.

විද්ලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා:

විපක්ෂය විසින් තමයි මේ විවාදය ඉල්ලුවේ. ජනාධිපතිතුමාටත් කිව්වා සභාවේ රැඳිලා ඉන්න කියලා. නමුත් අද ඒ විපක්ෂයේම මන්ත්‍රීවරු තුන් දෙනයි ඉන්නේ. සරත් ෆොන්සේකා මහතා දැන් කතා කරපු විදිහට අයිඑම්එෆ් වැඩක් නෑලු. නමුත් ඒ පක්ෂයේම හර්ෂ සිල්වා මන්ත්‍රීතුමාලා කියන්නේ වෙනස් දෙයක්. අපි තමයිලු මුලින්ම අයිඑම්එෆ් යන්න කිව්වේ කියලාත් කිව්වා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා (සජබ) :

සමගි ජන බලවේගය තමයි මුලින්ම කිව්වේ අයිඑම්එෆ් යන්න කියලා. ඒ නිසා අද අපි සතුටු වෙනවා ඒ සහනය ලැබීම ගැන. අපි දිගින් දිගටම කිව්වා ඒ කටයුත්තට අපි සහාය දෙනවා කියලා. අපි මේ ආණ්ඩුවට හොඳ කාරණාවලදී සහයෝගය දුන්නා. අපි අන්තවාදී නෑ. අපි කියනවා ඉදිරියේදී කරන හොඳ වැඩවලට අපි සහාය දෙනවා. මේ පොහොට්ටුවේ අය අයිඑම්එෆ් යකෙක් වගෙයි දැක්කේ. ඒ නිසා අද සමහර පවුල්වලට වේලක් හැර වේලක් කන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ රටේ විනාශයට හිටපු අය වගකියන්න ඕන. රටේ ජනතාව ජීවත් කරන්න ගන්නා හැම කාරණයකදීම අපේ සහාය ලබා දෙන්න ක්‍රියා කරනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා (ශ්‍රී.පො.පෙ)-

ණය ගන්න එක ගැන අපට ලොකු සතුටක් නෑ. නමුත් වෙන කරන්න දෙයක් නෑ. අපි කියන්නේ මෙතනින්වත් ඒ දේ නවත්වන්න. අපි හැමෝම එකතු වෙලා ආයෙත් අයිඑම්එෆ් නොයා ආර්ථිකය ගොඩ ගන්නේ කෙහොමද කියලා බලන්න ඕනා. අද මේ විදිහට දේශපාලනය කරන්න අපි කවදාවත් හිතුවේ නෑ. නමුත් අපි රට වෙනුවෙන් එකතු වෙලා තිබෙනවා. අපි හැමදාම විවේචනය කරපු නායකයෙක් එක්ක අපි අද කටයුතු කරනවා. අපි දැන් බලන්න ඕනේ මේකෙන් කොහොමද ගොඩ යනුනේ කියලා.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා (ශ්‍රීලපොපෙ) :

මේ රටට අවශ්‍ය ගෑස්, ආහාර නැති වෙලාවේ මම අමාත්‍යාංශය භාර ගත්තේ. මේ වෙලාවේ භාරගෙන දේශපාලනය විනාශ කරගන්න බැහැ කියලා සමහරු තනතුරු මගහැරියා. ඒත් අභියෝගය භාර අරන් ජනතාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා.

අයිඑම්එෆ් වැඩපිළිවෙළ සාර්ථක කරගන්න ලොව රටවල් සියල්ල අපි දිනාගත්තා. මේ වැඩපිළිවෙළ අපිට යන්න පුළුවන් මූල්‍ය විනය අපි හදාගත්තා. ආදායම් වැඩිකරගන්න ආර්ථිකයක් අපි ජනතාවට හදා දිය යුතුයි. අපි ඉදිරියටත් සහන දෙන්න කටයුතු කරනවා.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා (සජබ) :

අර්බුදය ඇති කළ අය ඊට විසඳුම් ඉදිරිපත් කරනවා. අයිඑම්එෆ් එකට විරුද්ධ වූ අය අද එකඟ වෙලා. ඊළඟට ලෝක බැංකුව ඇතුළු අනෙකුත් ණයගත් ආයතන සමග සාකච්ඡා කළ යුතුයි. එහිදී අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න.

වැඩකරන ජනතාව ආරක්ෂාකරගත යුතුයි. කවුරු එක්ක ගිවිසුම් ගැහුවත් කම්කරුවන් රැකගත යුතුයි. තියෙන අයගෙන් බදු ගන්න ඕන. දුම්කොළ බදු වැඩි කළාට කමක් නෑ. බදුගත යුතු තැන් හරියට හඳුනාගන්න. දුප්පතාගෙන් පමණයි ආණ්ඩුව බදු ගන්නේ. ධනපතීන්ගෙන් බදු ගත්තේ නෑ.

සමෘද්ධිය දේශපාලනීකරණය වෙලා. සුදුසුකම් නැති විශාල පිරිසක් සමෘද්ධිය ලබාගන්නවා. විදුලිය අඩු පරිභෝජනය අනුව සමෘද්ධිය දෙන්න. එය බොහෝ සාර්ථක වේවි.

පාර්ලිමේන්තුව නැවත අද (24දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment