සතොස මෝල් දෙකක්‌ හිතලා ෆේල් කරලා… තුෂාන් ගුණවර්ධන චෝදනා කරයි

698

දෛනිකව සහල් කිලෝ ග‍්‍රෑම් ලක්‍ෂය බැගින් නිෂ්පාදනය කළ හැකි සතොස ආයතනයට අයත් මහා පරිමාණ සහල් මෝල් දෙකක් කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන වැසී යෑමට ඉඩ හැර ඇති බව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

මෙම මහා පරිමාණ සහල් මෝල් දෙක මේ වන විටත් සකි‍්‍රය මට්ටමේ පවතින බව ද වර්තමාන රජය බලයට පත් වූ මුල් කාලසීමාවේ ඇමැති චමල් රාජපක්‍ෂ මහතා එය ක‍්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට උත්සාහ කළ ද එය සාර්ථක නොවූ බව ද තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.

මෙම මහා පරිමාණයේ සහල් මෝල් දෙකේ කිසිම සහල් නිෂ්පාදනයක් නොකෙරුණ ද එහි සේවකයන්ට සහ ආරක්‍ෂක නිලධාරීන්ට සතොස මගින් මාසික වැටුප් ගෙවීම් දිගටම සිදුකරන බව ද ඒ මහතා කියා සිටියි.

මේ තරම් විශාල සහල් ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි මෝල් දෙකක් සතොස ආයතනය සතුව තිබියදීත් ඒවා කිසිම ප‍්‍රයෝජනයකට නොගෙන අතහැර දැමීම මහා අපරාධයක් බව ද ඒ මහතා කියයි.

මෙම මහා පරිමාණ සහල් මෝල් දෙක හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව ප‍්‍රදේශවල පිහිටා තිබෙන අතර ඒවා සුළු අලූත්වැඩියා කටයුත්තකින් පසුව නිෂ්පාදන තත්ත්වයට ගෙන ඒමට හැකි බව ද තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.

මෙම සහල් මෝල් නිෂ්පාදන කටයුත්තට දායක කර නොගන්නේ සහල් මාෆියාකරුවන්ගේ ග‍්‍රහණයට නතුවීම නිසා බවට සැකකරන බව සතොස ආයතනයේ ඇතැම් නිලධාරීහු පවසති.

මෙම සහල් මෝල් දෙක නිෂ්පාදන කටයුත්තකට දායක කර ගැනීමට හැකි වුවහොත් සහන මිලකට සතොස හරහා පාරිභෝගිකයන්ට සහල් ලබාදීමට හැකිවනු ඇති බව ද එම නිලධාරීහු පෙන්වා දෙති.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment