සෙංකඩගල ශ්‍රී දළදා පෙරහරේ මඟුල් ඇතු පිට කරඬුව තැන්පත් කරන රන්සිවි ගේ බඳින මංගල හස්තියා සරසන ඇහැළමල්පේ පරපුර

250

මේ වෙනකොට නොකඩවා වසර හතළිස් නවයක් කරඬුව ගෙනයන හස්තීන් සරසනවා.

පරම්පරා පහක් දළදා පෙරහැරේ මඟුල් ඇතු සැරසීමට දායක වෙලා තියෙනවා.

රාජකාරිය භාර ගත්තේ වයස අවුරුදු දහ අටේදී

කරඬුව වඩම්මන ඇතා කිලෝ හාරසියයක් පිටේ තියන් ගෙනියනවා.

මුලින්ම ඇන්දුවේ රාජා ඇතාට. පසුව ඇත්තු විස්සකට ආසන්න ප්‍රමාණයකට සැරසිලි කරලා තියෙනවා.

“හේමා රජ කුමාරි එදා”
දළදා හිමි රැගෙන පැමිණිදා
සාදු නදින් දෙව් සමිඳා
ගුම් ගති සිරිලකට පුදා

හැමෝම දකින්න ප්‍රාර්ථනා කරන, ජනතාවගේ සිත් සතන් වැඩි වශයෙන් ඇදී යන, භක්තියට හා ගෞරවාදරයට පාත්‍ර වන ශ්‍රී දළදා පෙරහරේ ප්‍රධාතම අංගය වන්නේ ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව හා කරඬුව රැගෙන යන මංගල හස්තිරාජයා ය. ලෝවැසියන්ගේ ඉමහත් භක්තියෙන් පිදුම් ලබන ශ්‍රී දළදා පෙරහරේ කරඬුව ගෙන යන හස්තිරාජයාගේ පිට මත කරඬුව තැන්පත් කිරීමේ කාර්යය හා හස්තියාගේ සැරසිලි හා අදාළ වන කටයුතු පිළිබඳව ඉතා සීමිත වූ පිරිසකට පමණක් දැකගන්නට දැනගන්නට ලැබීම අතීතයේ සිට පැවැත එන්නා වූ චාරිත්‍රයකි. ඒ නිසා ම මේ උතුම් වූ සත්කාර්ය පිළිබඳව හා රාජ්‍යත්වයේ සිට මෙකී කාර්යයට උරදෙන පරපුර වෙසෙන්නේ මහනුවර ගුරුදෙණියේ ය. මේ ඒ අපූර්වතම පරපුරක කතාවයි.

ඇහැළමල්පේ පරපුර

ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙරහර චාරිත්‍ර අතර ප්‍රමුඛස්ථානය සෙංකඩගල ශ්‍රී දළදා පෙරහරට හිමිවනුයේ රාජ්‍යත්වය හා බැඳී අපේ උරුමයක් වීම නිසාවෙනි. කලාවේත්, සංස්කෘතියේත් බැඳීම් ජන සිත් සතන් බැතියෙන් පුරවාලන්නටත්, සකල ලෝකවාසී සියල්ලන්ගේ ම ජනාදරයට පත් වන්නටත් මෙම පෙරහැර සමන්විත වීම පුදුමයක් නො වනුයේ හෙළයේ මහා කලා මංගල්‍යය වන නිසාවෙනි. සෙංකඩගල ඇසළ පෙරහරේ උතුම් චාරිත්‍ර වාරිත්‍ර අතර සාමාන්‍ය ජනයාට දැක ගැනීමට අපහසු වූ අංගයක් වන්නේ දළදා කරඬුව තැන්පත් කරන අයුරු දැක ගැනීම හා එය ගෙන යන මඟුල් ඇතු සැරසීමේ කාර්ය ප්‍රමුඛ වීම ද කැපී පෙනෙන්නකි. අතීත රජ දවස සිට පාරම්පරිකව මෙම සත් ක්‍රියාවලිය උරුමව ඇත්තේ ඇහැළමල්පේ පරම්පරාව වෙතය.

ඇසළ පෙරහර මංගල්‍යයේ සදාතනික කරඬුව වඩමවන මංගල හස්ති රාජයා නැකතට මහා වාහල්කඩින් ආයිත්තම් මණ්ඩපය වෙත පැමිණීමෙන් පසුව සිදුවන සියලුම කටයුතු එනම් මඟුල් ඇතු සැරසීම, නැකතට අනුව වතපුටුව බැඳීම, ඇත් හැට්ටය පැළඳවීම, දළ කොපු සැරසීම, විදුලි බුබුළුවලින් සැරසීම, මල් වැල්වලින් සැරසීම ආදී වූ කාර්යයන් රැසක් සිදු කරනු ලැබේ. අතීත සිංහල රජ දවස පටන් අද දක්වා ම ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ කරඬුව වැඩම කරවීමේ, මඟුල් ඇතු සැරසීමේ පාරම්පරික චාරිත්‍රය, රාජකාරිය සිදු කරනු ලබන්නේ ඇහැළමල්පේ පරපුර විසිනි. මෙම ඉපැරණි චාරිත්‍රයේ දී මංගල හස්තිරාජයා සැරසීමේ කාර්යයේ සිට දළදා කරඬුව රැගෙන පෙරහර වීදි සංචාරය කිරීමත් අනතුරුව නැවත ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවදීමේ කටයුතු දක්වා වූ සියලු කාර්යයන්හි භාරකාරත්වය හා වගකීම මෙම ඇහැළමල්පේ විදානේ වෙත පැවරී ඇත.

වර්තමානයේ ශ්‍රී දළදා පෙරහරේ මඟුල් ඇතු පිට කරඬුව තැන්පත් කරන, රන්සිවි ගේ බඳින මේ පරපුරේ උරුමය රකින ජයතිස්ස බණ්ඩාර ඇහැළමල්පේ (ගුරුදෙණියේ විදානේ මහත්තයා) සිය රාජකාරියේ ස්වභාවය , පෙරහැරේ අත්දැකීම් හා රාජකාරියේ දී තමා අත්දුටු සුවිශේෂී සිදුවීම් පිළිබඳව කරුණු කාරණා ගැන කියන්නේ මෙලෙසය.

‘මහනුවර ශ්‍රී දළදා පෙරහරේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ධාතූන්වහන්සේ වැඩමවන මංගල හස්ති රාජයා සැරසීමේ කටයුතු ඇහැළමල්පේ පරම්පරාවට තමයි එදා රජදවස සිට පැවරිල තියෙන්නෙ. ඒ අනුව තමයි අපි අද දක්වාම මේ කාල වකවානුව තුළ ඒ කටයුත්ත භාර ගෙන කරගෙන එන්නේ. දළදා මාලිගාවේ ඉතාම භාරදූර වගකීම් සහගත කාර්යයක් මේක. මොකද ධාතු කරඬුව වැඩමවන මංගල හස්ති රාජයා දෙසයි හැම කෙනෙක්ම බොහොම ඕනෑකමින් සද්ධාවෙන් බලාගෙන ඉන්නේ. හැම කෙනෙක්ගේම දෙනෙත් යොමු වෙලා තියෙන්නෙ. පෙරහැරේ අලංකාරය එතැනයි තියෙන්නෙ. මහත් භක්තියෙන් සියලු ලෝවැසියන් මේ දෙස බලන් ඉන්නේ. ඉතිං ඒ නියමිත අංගෝපාංගයන්ගෙන් යුක්තව සදාතනික ධාතු කරඬුව වඩමවන මංගල හස්ති රාජයා පිට රන්සිවි ගේ තැන්පත් කරලා ඒ අවශ්‍ය සියල්ල ම සම්පාදනය කරන්නේ අපේ පරපුරේ අයයි. ශ්‍රී දළදා පෙරහැර කියන්නේ අපේ රටේ තියෙන ඓතිහාසික වූ වැදගත්ම පෙරහර එදා රජ දවසේ ඉඳන් අපි පෙරහරේ මේ කාර්යයන් සිදු කරන්නේ ඉමහත් භක්තියකින්. අපේ පරම්පරා පහක් මේ සත්කාරයට දායක වෙලා තියෙනවා ‘ඔහු කියන්නේ නිහතමානී ආඩම්බරයකිනි.

පරම්පරාවේ උරුමය

සෙංකඩගල ශ්‍රී දළදා පෙරහරේ මඟුල් ඇතු පිට කරඬුව තැන්පත් කරන රන්සිවි ගේ බඳින මංගල හස්තියා සරසන ඇහැළමල්පේ පරපුර

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අයත් රජවරුන් විසින් පූජාකළ කෙත්යාය පැවැතියේ ගුරුදෙණියේ. මේක දළදා මාලිගාවට අයත්ව පැවතුණේ සිංහල රජ දවස පටන්. රජ්ජුරුවෝ පූජා කරපු මේකේ භාරකාරත්වය ඇහැළමල්පේ පරම්පරාවට තමයි පුරාණ රජ දවස පටන් පැවරී තිබුණේ. ඒ හා බැඳුණු විශාල වගකීම් ප්‍රමාණයක් සහ රාජකාරි රාශියක් තියෙනවා. ඒ වගේම දළදා පෙරහැරේ කරඬුව ගෙන යන මංගල හස්ති රාජයා සැරසීම හා කරඬුව තැන්පත් කිරීම දක්වා වූ සියලු කටයුතු පැවරුණේ ද අපේ පරම්පරාවට. මේ තනතුර අපේ පරම්පරාවට ලැබිලා තියෙන්නේ රාජ්‍යත්වයේ සිට ම ආව ක්‍රමවේදයක් මගින්. ඒ අනුව 1830 දක්වා අපේ පරම්පරාවේ ඇහැළමල්පේ ගෙදර පුංචිරාල කියන අය මේ රාජකාරිය කරලා තියෙනවා. ඊට පස්සේ 1830 සිට 1885 දක්වා අවුරුදු 55ක් ඇහැළමල්පේ මුදියන්සේලාගේ අප්පුහාමි කියන අපේ පරපුරේ කෙනෙක් (වර්තමාන ජයතිස්ස බණ්ඩාර ඇහැළමල්පේ මහතාගේ ලොකු සීයාගේ පියා) මේ රාජකාරිය ඉටු කරල තියෙනවා. එතැන් පටන් 1885 සිට 1937 දක්වා අවුරුදු 48ක් කිරිබණ්ඩා ඇහැළමල්පේ කියන අපේ පරපුරේ කෙනෙක් (වර්තමාන ජයතිස්ස බණ්ඩාර ඇහැළමල්පේ මහතාගේ පියාගේ පියා- අත්තා) මේ රාජකාරිය කරගෙන ඇවිල්ලා 1937 ඉඳලා 1974 දක්වා වූ අවුරුදු තිස් හතක් මගේ පියා වන ඊ. එම්. පී. ඇහැළමල්පේ පියතුමා මේ රාජකාරිය කරගෙන ඇවිල්ලා එතුමාගේ අභාවයෙන් පස්සේ 1974 වර්ෂයේ සිට මේ කාලවකවානුව දක්වාම මම ඒ රාජකාරිය කරගෙන එනවා ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන්. අපේ පරම්පරා පහක් මේ වනවිට මේ උතුම් කාර්යයට දායක වී තියෙනවා. දැනට අවුරුදු 49ක් මම ඒ රාජකාරිය ඉතා වගකීමෙන් හා මහත් වූ භක්තියෙන් කරගෙන යනවා ‘ජයතිස්ස බණ්ඩාර ඇහැළමල්පේ සිය පරපුරක විස්තර කියන්නේය.

මංගල හස්ති රාජයා සූදානම් කිරීමේ චාරිත්‍රය

‘කරඬුව සරසන්න ලේසි නෑ. ඇතාගේ පිට උඩ හරි ක්‍රමයට තියාගන්න ගොඩක් දේවල් කරන්න තියෙනවා. කරඬුව සැකසීමේදී ඇතාගේ ප්‍රධානම ඇඳුම් කට්ටලය වන්නේ වතපුටුව යි. මංගල හස්ති රාජයාගේ පිට උඩ මෙට්ටයක් තියලා විශේෂිත පටි මගින් බැඳ හිර කරනවා ඒ මත. වතපුටුව තබා ඇද වෙන්නේ හෙළවෙන්නේ නැති වෙන විදිහට හදා ගන්නවා. ඒක හරි අමාරු වැඩක්. ඒ මත තමයි රන්සිවි ගේ තැන්පත් කරන්නේ. අපි ඇණ දාලා හයි කරනවා වතපුටුවට කරඬුව. ඊට පස්සේ තව ආසනයක් තියෙනවා ඒක උඩ ඒකෙ තමයි කරඬුව තැන්පත් කරන්නේ. දිනයට උචිත නැකත් වෙලාවට වඩම්මාගෙන විත් රන්සිවි ගේ මත කරඬුව තැන්පත් කරකරනවා. මේ කරඬුව පෙරහැර ගමන අරඹා නැවත ගෙවදින තෙක්ම ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ සඳහා ආවේණික වූ විධික්‍රම පවතිනවා ‘ජයතිස්ස බණ්ඩාර ඇහැළමල්පේ ඒ බව කියන්නේ ද භක්තිය මුසුවූ හැඟීමකිනි.

‘පරම්පරාවෙන් උරුම වන මේ චාරිත්‍රය ඉටු කරන්න භාර ගන්න කොට මගේ වයස අවුරුදු 18යි. 1974 ඉඳලා මම මේ රාජකාරි කරනවා දැනට අවුරුදු 49ක්. මුලින්ම කරඬුව ගෙනියන මංගල හස්ති රාජයා ලෙස රාජා ඇතාටයි මංගල ඇඳුම් ඇන්දුවේ. දළදා මාලිගාවේ ඇත් පන්තියේ හිටපු අවුරුදු 50ක් එක දිගට ම කරඬුව වැඩම වූ පින්වන්ත ඇතෙක් රාජා. පෙරහරේ කරඬුව ගෙනියන්න හැම ඇතාට ම අවස්ථාව හිමි වන්නේ නෑ. ඒ නිසා මගේ මේ අවුරුදු 49 ක කාලය තුළ මම අන්දලා තියෙන්නේ ඇත්තේ විස්සකටත් වඩා අඩු ප්‍රමාණයකට. රාජා ගෙන් පටන්ගෙන ජය රාජා, කතරගම සමන් දේවාලයේ ඇතා, ගංගාරාමයේ දළ පූට්ටුවා,

මිල්ලන්ගොඩ ලොකු ඇතා, මිල්ලන්ගොඩ පොඩි ඇතා, ඉන්දිරාජා, සිංහරාජ , තායි රාජා, මිගාර, ඒකදන්තයා , කතරගම වාසනා, නැඳුන්ගමුවේ රාජා යන ඇතුන් මගේ මේ අත් දෙකින් සලා රන්සිවි ගේ තැන්පත් කරලා තියෙනවා. මේ ඇත්තු අතරින් කිහිපදෙනෙක්ම මේ වනවිට මිය ගිහින්. මෙලෙස ඇතා සරසන්න කරඬුව වැඩම වන්න සුදුසු ලෙස සූදානම් කරන්න අඩුම වශයෙන් පැය එක හමාරක විතර කාලයක් ගත වෙනවා. නැකතට අනුව වැඩ සිටින මාලයෙන් පෙරහැර කරඬුව වැඩම කරන කොට ඒ වෙනකොට ඇතා සරසලා, රන්සිවි ගේ තැන්පත් කරලා, ලයිට් කරඬුවට දාලා, පිච්ච මල්වලින් සරසාලා අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර තිබිය යුතුයි. ඒ වගේම කරඬුව වඩම්මන ඇතා කිලෝ හාරසියක් විතර පිටේ දරාගෙනයි පෙරහැරේ ගමන් කරන්නේ.

දළදා පෙරහැරේ කරඬුව වැඩම කරන මංගල හස්තයින්ට හොඳ අවබෝධයක් මේ කාරණය පිළිබඳව තියෙනවා. ඔවුන් ඒ පිළිබඳව පුහුණුවක් වගේම ඔවුන්ගේ පින් බලය අනුව ඔවුන්ට නිතැතින්ම මේ අවබෝධය ලැබී තියෙනවා. රාජා හස්තියා පෙරහරේ ගමන් කරනවිට පාවාඩ එළනකම් ගමන් ගන්නේ නෑ. පාවඩ එළන්න ප්‍රමාද වුණොත් කකුල ඔසවා ගෙන ඉන්නවා. ඒ වගේම ඉන්දි රාජාත් හරියටම පාවාඩ උඩින් තමයි ගමන් කරන්නේ. ඉන්දිරාජාත් දැනට අවුරුදු 20ක් විතර කරඬුව වැඩම කරන විශේෂ මංගල හස්තියෙක්.

‘ඔහු දීර්ඝ වශයෙන් විස්තර කරන්නේය. කරඬුව වැඩම කරවීමේ දී ශ්‍රී දළදා මාලිගාවේ පවතින චාරිත්‍ර ගැන දැනගන්නට අපට තිබූ හදිසිය ඔහු තේරුම් ගත්තා වැනිය.

‘දළදා මාලිගාවට අයත් ගුරුදෙණියේ කෙත හා බැඳුණු රාජකාරි රාශියක් තියෙනවා. විශේෂයෙන්ම දළදා මාලිගාවේ ප්‍රධාන මංගල්‍යය හතරක් පැවැත් වෙනවා. එය සතර මංගල්‍යය ලෙසයි හඳුන්වන්නේ. වසරේ මුල දුරුතු මාසයේ පුර පසළොස්වක පෝය දවසේ ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය සිදු කරනු ලබන්නේ මේ ගුරුදෙණියේ කෙත් යායෙන් ලබාගන්න අස්වැන්නෙන්. ඒ අස්වැන්න ලබාගෙන දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන අලුත් සහල් මංගල්‍යය රජ කාලේ ඉඳල ම පවත්වාගෙන එන්නේ. අලුත් සහල් මංගල්‍යයට පෙර මේ කෙත්වලින් ලබාගන්නා අලුත් සහල් බෙදාදීමේ චාරිත්‍රයක් තියෙනවා. ඒක පෝය දිනයට සතියකට පෙර දී රජවාසලට අයත්ව පැවැති අටුවේදී බෙදා දෙනු ලබනවා. මේ අටුව පිහිටලා තිබුණේ ගුරුදෙණියේ. අද වනවිට එම අටුව එම ස්ථානයේ නොමැති අතර මහවැලි ව්‍යාපාරය හා වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේ දී මෙය විනාශයට පත්ව ඇත. ඒ වෙනුවට වර්තමානයේ මෙම ඓතිහාසික අටුව පල්ලෙකැලේ ස්ථාපිත කොට පවතීන අතර රජ දවසේ සිටි පැවැති චාරිත්‍රය එමඟින් එලෙසම ඉටු කිරීම සිදු කරනු ලබනවා. මේ අටුවා බැඳී සියලු කාර්යයන් ද රජ දවසේ පටන්ම භාරව තිබ්බේ අපේ පරම්පරාවටයි. වර්ෂයේ පළමු පෝය දිනයේ දී මේවා සහල් කරලා දළදා මාලිගාවට, සතර මහා දේවාලවලට වගේම උඩරට පැරණි රජ මහා විහාරස්ථාන හා පිටිසර දේවාලවලට මෙහි දී සහල් බෙදා දීම සිදු කරනවා. මේක කරන්නේ දළදා මාලිගාවේ දියවඩන නිලමෙතුමා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමෙවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ වී සහල් බෙදා දීමේ ලැයිස්තුව එදා රජ දවසේ පටන් සිදු කළ අයුරින්ම නියම කරන ලද පිරිසට බෙදාදීම අදත් සිදු වෙනවා. ඒ වගේම පළමු පෝය දිනයේ දළදා මාලිගාවේ දී කිරිබොඩ පාත්‍රයට හාල් සේරු 80කින් සාදාගත් දානය පූජා කරනවා.

එදාට ම සතර මහා දේවාලවල හා පිටිසර දේවාලවලත් මේ පූජාව සිද්ධ කෙරෙනවා. මේක තමා දළදා මාලිගාවේ පැවැත්වෙන වසරේ පළමුවැනි මංගල්‍යය වන්නේ. සතර මහා මංගල්‍යයන් ගේ පළමුවැන්න මෙය බව කිව යුතුයි. ඒ වගේම අවුරුදු මංගල්‍යය, පෙරහර මංගල්‍යය හා කාර්තික් මංගල්‍යය කියන ඒවා මේ සතර මංගල්‍යයට ඇතුළත් වෙනවා. ඒ වගේම වෙසක්, පොසොන් වැනි විශේෂිත මාසයන් හි පෙරහැර පැවැත්වීමේ කටයුතු ඒ වගේම විශේෂ දළදා ප්‍රදර්ශන පැවැත්වීම ආදිය වෙනුවෙන් අපි අපිට පැවරෙන රාජකාරිය අවශ්‍ය පරිදි ඉටු කරනු ලැබෙනවා”

වටිනාකම් රැසක් එක්කළ සංස්කෘතිකාංගයක් ලෙසත්, හුදී ජනයා තුළ ආගමික ප්‍රබෝධයක් ඇතිකිරීමත්, පුරාණ චාරිත්‍ර ඉටු කිරීමත් වෙනුවෙන් වාර්ෂිකව කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය සිදු කරනු ලබන අතර වසර 49ක සිය පෙරහර රාජකාරි කටයුතු වලදී ඔහු ලත් අත්දැකීම් හා සුවිශේෂී සිදුවීම් මතක සටහන් ගැන ඔහුට බොහෝ දේ කියන්නට තිබිණි.

‘පියාගෙන් පස්සේ මම මේ රාජකාරිය ඉටුකරන හතළිස් නවවන අවුරුද්ද. මේ අවුරුදු 49 ඇතුළත අවස්ථා ගණනාවක දී නොයෙකුත් ගැටලුවලට අපිට මුහුණ දෙන්න සිදුවුණා. සමහර වෙලාවට අපිට ධාතු කරඬුව වඩම්මවන්න සුදුසු ඇත්තු සොයාගැනීමේ ප්‍රශ්නයක් පවා ඇති වුණා. ඒ රාජා ඇතා මිය යෑමෙන් පස්සේ. ඊට පස්සේ අපි ඒ කාලේ තමයි දළදා මාලිගාවට පෙරහර කටයුතු කිරීම වෙනුවෙන් රත්නපුර සමන් දේවාලයේ ඇතු ගෙන්නලා පෙරහර කටයුතු සිදු කළේ. ඉතිං මේ පෙරහර මංගල්‍යය කටයුතුවල දී සිදුවූ විශේෂ සිදුවීමක් මට මතක් වෙනවා.

දවසක පෙරහැර මංගල්‍යයට කටයුතු සූදානම් කරන අවස්ථාවේ දී මට මතක හැටියට 1992 හෝ 93 වර්ෂවල මංගල ධාතු කරඬුව තැන්පත් කර තිබූ මංගල හස්තිරාජයා රත්නපුරය සමන් දේවාලයේ ඇතා පෙරහැරට අවශ්‍ය ලෙස සියලු කටයුතු සූදානම් කරලා තිබ්බා. ඇතා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් බැහැල පාරට ඇවිත් මහමළුව ඉදිරිපිට නැවතිලා ඉන්නවා. ඒ ඉදිරියේ ඇති පෙරහර ගමන් කරන කම්. ඉස්සරහ පෙරහැර ගමන් කරද්දී මේ ඇතා එකපාරට ම මද කිපිලා කුලප්පු වෙලා ඇත්ගොව්වාටත් ගහලා රන්සිවි ගේ හා කරඬුව සමගම මහ මළුවට දුවන්න ගත්තා. එදා හරි ප්‍රශ්නෙකට අපි මුහුණ දුන්නා. දැන් මොකද කරන්නේ කියල හිතා ගන්නවත් බැරි තරමට. ඇතා මහා මළුවට දුවගෙන ගිහින් නතර වුණා. එතැනින් එහාට දිවුවෙ නෑ. ඉතින් එදා හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා මහ වාහල්කඩ සිට මේ සිදුවීම දැකලා වහාම පශුවෛද්‍යවරුන් කැඳවලා නියෝග කරා ඇතා නිර්වින්දනය කරන්න කියලා. ඒ වෙලාවේ ඇතා මෙල්ල කළේ එහෙමයි. අපි ඒ අවස්ථාවේ ඉතින් බෙහෙත් විදලා විනාඩි පහළොවක් විතර ගියාට පස්සේ ඇතාට සිහි නැතිව වැටුණා. ඒ සමගම රාජකාරි කරන අපි කඩිනමින් එතෙන්ට එක්වෙලා රන්සිවි ගේ ලිහලා ධාතු කරඬුව එළියට අරගෙන නැවතත් ඇතා අන්දවන මණ්ඩපය දක්වා ධාතු කරඬුව වැඩම කරගෙන ඇවිල්ල එතැන තියලා පෙරහරේ ඉස්සරහින් ගිය ඇතෙක් හොයාගෙන ඇවිල්ලා නැවත පෙරහරේ ගමන් කරන්නට රන්සිවි ගේ ඒ ඇතාගේ බැඳලා ඒ කටයුතු ඉතා කඩිනමින් ඉක්මනින් කරල දුන්නා. ඉදිරියේ පෙරහර ගමන් කරද්දී ඒ පෙරහර නවත්වන්නේ නැතුව ඉස්සරහින් ගිය පෙරහරේ ශිල්පීන්ට හෝ බලන්න ආව කිසිම කෙනෙකුට මොනව ද වුණේ කියලා වත් දැන ගන්න බැරි වෙන විදියට අපි ඒ කටයුත්ත සිදු කළා. ඒක ඇත්තට ම අමතක නොවන සිදුවීමක් මගේ රාජකාරි ජීවිතය තුළ සිදුවූ. ඒ වෙලාවේ බැරිවෙලාවත් ඇතා දිව්වා නම් කලබල වෙලා විශාල ජනකායක් මැද්දේ ලොකු විනාශයක් වෙන්න තිබුණා. ”

තවත් අවස්ථාවක මෙවැනි සිඳුවීමක් උද්ගත වූ මොහොතක , පෙරහැරේ කරඬුව වැඩම්ම වූ ඉන්දිරාජා රන්සිවිගේ සහිත කරඬුව ද රැගෙන ගමන් කරනවිට දෑලේ ගමන් කළ ඇතෙක් ඉන්දිරාජාට එකවරම පහර දී තිබේ. පසුව එම ඇතා දිව ගියත් ඉන්දිරාජා පහර කාගෙන නොසෙල්වී හිඳ තිබේ. සද්දන්ත කුලේ හස්තියෙකු වන ඉන්ඳි රාජා කිසිවෙකුටත් දෙවැනි නොවන ඇතෙකු වුවද ඒ මොහොතේ රන්සිවි ගේ උර මත දරා පෙන්වූ ගුණවත් සිල්වත් බව , අවබෝධාත්මක බව විශ්මයජනක බවද හෙතෙම අප සමග කීවේය.

පාරම්පරික චාරිත්‍රයක් ලෙස ක්‍රියාත්මක කෙරෙන දළදා පෙරහැර මංගල්‍යය යේ විවිධ වූ කාර්යන්හි නිරත වී සිටින පාරම්පරික උරුමය සුරකින සියලුම ශිල්පීන් ගේ අනාගතය පිළිබඳව සහ කාර්යභාරයන් පිළිබඳව ද ජයතිස්ස බණ්ඩාර ඇහැළමල්පේ මහතා අපට කිවේය.

‘ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන දියවඩන නිලමෙතුමා වන ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා මේ මොහොතේ සිහිපත් කරන්නම ඕනා. දළදා පෙරහැර විධිමත්ව සිදුකරගෙන යෑමට එතුමා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබනවා. මේ වෙනකොට පෙරහරේ පාරම්පරික අංග ආරක්ෂා කරගන්නවා මෙන්ම නව අංග පෙරහැරට උචිත විදියට සංවිධානය කිරීම නිලමෙතුමාගේ උපදෙස් මත සිදු කරනු ලබනවා. පෙරහරේ හැම අංගයක්ම එතුමාගේ පුද්ගලික අධීක්ෂණය යටතේ පෙරහැර කාර්යයට පෙර ශිල්පීන් හා නර්ථන කණ්ඩායම් ගෙන්නලා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා අඩුපාඩු පවතිනවා නම් ඒවාට පහසුකම් සපයල පෙරහර මංගල්‍යය වඩා විචිත්‍ර ලෙස හා විධිමත්ව සිදු කරන්න පෙරහරට වටිනාකමක් ඒකරාශී කරන්න එතුමා මේ වනවිට සියලු කටයුතු යොදවලා තියෙනවා.

ඒ වගේ ම අලි ඇතුන් සම්බන්ධයෙන් එතුමා බොහොම උනන්දුවෙන් හා වගකීමෙන් යුතුව සොයා බලා කටයුතු කරනවා. පහසුකම් ලබාදෙනවා. සියලු නර්ථන අංශයන් කාලයට ගැළපෙන ලෙස හා පෙරහැරට උචිත ලෙස සකස් කරනවා වාගේම පෙරහැරේ අතීත උරුමය ආරක්ෂා කරගන්න පියවර ගෙන තිබෙනවා. පෙරහැරේ ගමන් කරන සියලු අලි ඇතුන්ගේ ඇඳුම් පවා නව මුහුණුවරක් ලබාදෙමින් පෙරහර විචිත්‍රවත්ව පවත්වන්න අවශ්‍ය පසුබිම ගොඩනඟා පවතිනවා. අතීතයේ දී මේ අලි ඇතුන් ගේ ඇඳුම් ලබා දුන්නේ නගරයේ වෙළෙඳ ව්‍යාපාර ආයතනවලින්. අපි කුඩා කාලයේ දැකලා තියෙනවා අලි ඇතුන් ගේ ඇඳුම්වල ඒ ඒ ආයතනවල, ඒ ඒ වෙළෙඳ ආයතනවල නම් ගහලා තියෙනවා. හරියට වෙළෙඳ දැන්වීමක් වගේ පෙරහැර වෙලා තිබුණේ අතීතයේ. නමුත් වර්තමානය වනවිට ප්‍රදීප් නිලංග දෑල නිලමෙතුමා මේ ක්‍රමවේදය වෙනස් කළා. පෙරහැර මංගල්‍යය කියන්නේ වෙළෙඳ ප්‍රචාරණය සඳහා අවස්ථාවක් නොවන බව එතුමා තරයේ කියා සිටියා. ඒ නිසා එම ක්‍රමවේදය වෙනුවට පෙරහැරට උචිත ගැළපෙන අලි ඇතුන්ගේ ඇඳුම් සකස් කිරීමට ජනතාවට හා අනුග්‍රහකයින් ට අවස්ථාව ලබාදී තියෙනවා. ඒ ඔවුන්හට විශාල පින්කමක් කර ගැනීමට අවස්ථාවක් ලබාදෙමින්. ඒ අනුව ලංකාවාසී සියලු දෙනාහට මේ සඳහා දායක වීමටත් අවස්ථාව උදාකර දී තිබෙනවා. ඒ වගේම මේ අලි ඇතුන් ගේ ඇඳුම් පරිත්‍යාග කිරීමේදී කරුණු රාශියක් පෙළගස්වලත් තියෙනවා. ඒ පෙරහැරට වඩා උචිත වන ලෙස සහ අතීත පෞරාණික උරුමය ආරක්ෂා වන ලෙස ඇඳුම් සැකසීම වෙනුවෙන්. ”

කෙසේ නමුත් සෙංකඩගල ශ්‍රී දළදා පෙරහැරේ කටයුතු මේ වනවිටත් මෙවර අර්ථාන්විතව , විචිත්‍රවත්ව පවත්වන්න සියලු කටයුතු යොදා අවසන් ව ඇති බව පරපුරක උරුමය සුරකින මේ පරම්පරාවේ නූතන පුරුක වන ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේ නොහොත් ගුරුදෙණියේ විදානේ මහත්තයා කියන්නේය.

ජානක සම්පත් බණ්ඩාර ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment