පැමිණිල්ලක් විභාග කරන්න ගිය සැරයන්වරයාට පහර දීලා

54

පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් සැරයන්වරයෙකුට පහර දී තුවාල සිදුකිරීමේ චෝදනාවට ලක්වූ අයෙක් ලබන මස 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කර සිටියේය.

තඹුත්තේගම මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන් වරයෙකු තඹුත්තේගම, තිස්පනේපුර ප්‍රදේශයේ පැමිණිල්ලක් විභාග කිරීමට ගොස් සිටිය දී සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මොහු තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම තීන්දුව ලබා දුනි.

තිස්පනේපුර ප්‍රදේශයේ මවකට ඇයගේ පුතා විසින් නිතර, නිතර පහර දෙන බවට වන පැමිණිල්ලක් විභාග කිරීම සඳහා මෙම පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයා ඉකුත් 27 වැනි දා අදාළ නිවසට ගොස් ඇත.

පසුව මේ සම්බන්ධයෙන් අදාළ මවගෙන් සහ මවට පහර දෙනවා යැයි කියන පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් සැරයන්වරයා අදාළ නිවසින් පිටත්වීමට යෑමේ දී මෙම පුද්ගලයා පොල්ලක් රැගෙන සැරයන්වරයාට පහරදීමට උත්සහ දරා ඇත. අනතුරුව සැරයන්වරයා විසින් ඔහුගෙන් එම පොල්ල උදුරාගෙන් විසිකර දමා යතුරුපැදියේ නැඟී යෑමට උත්සහ කිරීමේදී නැවත සැරයන්වරයාගේ පිටුපසින් පැමිණ මෙම පහර දීම සිදුකර ඇත.

අනතුරුව මෙම පහරදීම දුටු අදාළ මවගේ කෑ ගෑසීමත් සමග අසල්වාසීන් ද මෙම ස්ථානයට පැමිණ, 1990 ගිලන් රථයෙන් සැරයන්වරයා තඹුත්තේගම මූලික රෝහලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුළත් කර ඇත.

පහරදීම සිදුකළ මෙම පුද්ගලයා ඒ මොහොතේ සිට ම ප්‍රදේශයේ කැලෑව සැඟව සිට ඇති අතර ඉකුත් 28 අලුයම් කාලයේ දී මොහු මෙම ප්‍රදේශයේ කැලයක සැඟව සිටිය දී මොහුව අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කටයුතු කර ඇත.

මකුලෑව එල් ඒ කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment