කෝටි දෙකක විදෙස් දුම්වැටි සමග කැලණියේදී දෙදෙනෙක් කොටුවෙති

84

කෝටි 02 කට ආසන්න වටිනාකමකින් යුත් නීතිවිරෝධී අන්දමින් මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු කැලණිය, ගෝනවල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහූ කණ්ඩායමක් පෙරේදා (11 වැනිදා) සමත් වූහ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ මහතාගේ උපදෙස් මත උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීහූ කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

කැලණිය පොලිස් වසමේ ගෝනවල, කොහොල්විල මාර්ගයේ සැකකටයුතු අන්දමින් ගමන් කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂාවට ලක්කිරීමේ දී මෙම නීතිවිරෝධී දුම්වැටි තොගය තිබී එම බළකාය භාරයට ගෙන තිබේ. එහිදී නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි 6800 ක් තම භාරයට ගත් බව ද එම බළකාය කියයි.

වත්තල, හුණුපිටිය ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි එම සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව කැලණිය, ගෝනවල, කොහොල්විල මාර්ගයේ නිවසක් සෝදිසි කිරීමකට ලක් කර තිබේ. එහිදී නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි 2,57,400 ක් සමග එම නිවසේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව රුපියල් කෝටි 02 කට ආසන්න වටිනාකමකින් යුත් රජයේ අවවාදය සටහන් කර නොමැති නීතිවිරෝධී දුම්වැටි 2,64,200 ක් සමග සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කැලණිය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කළ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment