සජබ අය ආණ්ඩුවට එක්වන බවට බොරු මවනවා – විපක්‍ෂ නායක

78

අපි ආයෝජනය කළේ රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙනුයි

මෙරට සිටින ඇතැම් පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයෝජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ වෙනත් ලාභදායී ව්‍යාපාරවල නොවන බවත් සමගි ජන බලවේගය ආයෝජනය කළේ හුස්ම, සක්වල වැනි වැඩසටහන් හරහා අපේ රටේ දරු පරපුර වෙනුවෙන් හා හොඳ සෞඛ්‍ය පද්ධතියක් ලබා දීම වෙනුවෙන් බවත් මෙම හුස්ම සක්වල වැඩසටහන් දියත් කරන්නේ ආණ්ඩුවට සහාය වීමට නොව රටේ දරු පරපුර සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරමින් ජනතාවට සහාය වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම විපක්ෂයක් ලෙස මේ සියලු කටයුතු සිදු කරන්නේ තනතුර තාන්න මාන්න අපේක්ෂාවෙන් නොවන බවත් ආණ්ඩුව හා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය හරහා සමගි ජන බලවේගය ආණ්ඩුවට එක්වන බවට වන ව්‍යාජ ප්‍රවෘත්ති මැවුවත් ජනතාවට ද්‍රෝහී වී බලය ලබා ගැනීමට කිසි දින සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊටේ (29) සක්වල වැඩසටහන් යටතේ මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි. මේ බස් රථයත් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බස් රථ 76ක් බෙදා දී තිබේ.

තමා පාර්ලිමේන්තුවේ දී කතා කරන්නේ පිපාසයෙන් පෙළෙන, බඩගින්නෙන් පෙළෙන, වගාවට ජලය නොමැති ජනතාව ගැන, පාසල් සිසුන් ගැන, මත්ද්‍රව්‍ය ප්‍රශ්න ගැන බවත් මේවා ගැන කතා කරන විට බොහෝ අයට රිදෙන බවත් මේ ප්‍රශ්න කතා කරන්නේ රජයේ අවධානය යොමු කර විසඳුම් ලබා ගැනීමට බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. මේවා පෙන්වා දීම පාර්ලිමේන්තුවේ කාලය කා දැමීමක් නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය කාලයේ සිටි විපක්ෂ මෙන් ආණ්ඩුවෙන් කොමිස් කුට්ටියක් අරගෙන ආණ්ඩුවට පහර නොගහා ඩීල් දේශපාලනයේ නියැළුනේ නැති නිසා මෙවැනි චෝදනා එල්ල කරන බවත් ය.

තවද පසුගිය කාලයේ සිදු වූ පානීය ජල ගැටලුවේදී ජාති ආගම් භේදයකින් තොරව විපතට පත් ජනතාවට සහන සලසන ලෙසත් ඒ සඳහා ආණ්ඩුවට හැකි පමණ සහයෝගය ලබා දෙන බවට පැවසූ විට සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති මවමින් සජිත් – රනිල් ඩීල් එකක් බවට ව්‍යාජ ප්‍රවෘත්ති මැවූ බවත්, තමාට රනිල් සමග ඩීල් ගහනවා වෙනුවට පසුගිය කාලයේ ගෝඨාභය සහ රාජපක්ෂ පවුල හා එක්ව ඩීල් එකක් ගසා කෙලින්ම ජනාධිපති විමට හැකියාව තිබූ නමුත් එවැනි ජනවරමක් නොමැති තනතුරක් භාර නොගත් බවත් යම් දිනක එවැනි තනතුරක් ලබා ගන්නේ ජනතා ආශිර්වාදයෙන් ජනතා විශ්වාසයෙන් හා ජන වරමකින් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සක්වල හා හුස්ම වැඩසටහන් ගැන ආණ්ඩුව බුද්ධිමත්ව සිතුවහොත් රජයට ඉන් සහන ලැබෙන බවත් එය රජයට වාසිදායක බවත් රජයට ඇති ප්‍රශ්න අඩු වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා මේ වැඩසටහන් දියත් කරන්නේ රජයට පහසු වීම අරමුණු කර ගෙන නොව පාසල්වල හා රෝහල්වල දියුණුව අරමුණ කර ගෙන බවත් පැවසීය.

එමෙන්ම මූල්‍ය බංකොලොත්භාවයට අමතරව අද වන විට අප රට ලෝකයේ බලවතුන්ගේ කොටස් කඩා ගැනීමේ රාජ්‍යයක් බවට පත් වී ඇති බවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් අප රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක, ගම්පහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment