බිය වූ මම ඇයගේ කට වසා මඩේ එබුවා – මාමා…. මාමා……මාව අතහරින්නැයි ආයිෂා අඬමින් කෑ ගැසුවා…

1622

අටලුගම දැරිය වැනසූ පාපතරයා පොලිසියට වමාරයි

තවත් අහිංසක දැරියක පාපතරයකුගේ අතින් මිය ගොසිනි. ඒ සිද්ධිය කන වැකුන පසු මුළු රටම බලාසිටියේ අටලුගම දෙසය. ඝාතනයට ලක්ව සිටියේ අටලුගම පදිංචිව සිටි නව හැවිරිදි කිරි සප්පයෙකි. ඇය නමින් මොහොමඩ් අක්‍රම් ෆාතිමා ආයිෂාය. ඇය ඉගෙනුම ලබමින් සිටි අල් ගස්සාලි විiාලයේ ගුරුවරුද, දරුවන්ද මේ පුවත අසා උණු කඳුළු වැගුරුවේ ඇගේ අහිංසක, ලස්සන මුහුණ සිහි කරමිනි.දිනය ඉකුත් 27 වැනිදාය. ඒ දිනය සිකුරාදාවකි.දුවේ කුකුල් මස් ටිකක් අරන් එන්න ඈතට යන්න එපා. ළඟම කඩේ නම කියමින් ආයිෂාගේ මව ඇගේ අතට මුදල් දුන්නාය. මව ලබාදුන් මුදලද මිට මොළවාගත් ඇය නිවසට මීටර් දෙසීයක් පමණ දුරින් පිහිටි කුකුල් මස් කඩයට දිව ගියේ මස් මිලදී ගෙන එන්නටය. ඒ 27 වැනිදා පෙරවරු 10.00 ට පමණය.මස් ගෙන ඒමට වෙළෙඳ සලට ගිය ආයිෂා දියණිය නිවසට ඒමට පමාවිය.

“කෝ මේ දරුවා” ආයිෂාගේ මව විපරම් කර බැරිම තැන ඇය සොයා ගියාය.

“දුව නෑ” මේ ආරංචිය අටලුගම පුරා සැණෙකින් පැතිර ගියේය.

අහළ පහළ කොයි කවුරුත් ආයිෂා දියණිය සොයා ගම පීරන්නට ගන්නා අතරේ ෆාතිමාගේ මව ඇතුළු ඥාතීහු මේ පිළිබඳ බණ්ඩාරගම පොලිසියටද පැමිණිලි කළේ ඇය අතුරුදන් වූ බව කියමිනි.පොලිසියද සැනින් විමර්ශන ආරම්භ කළේ මේ කුඩා දියණියට සිදු වූ නස්පැත්තිය අභිරහසක් බවට පත් වූ නිසාය.බණ්ඩාරගම පොලිසිය විමර්ශන ආරම්භ කළේය. බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති රාජපක්‍ෂ මහතාද සෘජුවම විමර්ශනවලට මැදිහත් වී ඇය ගමන්ගත් මාර්ගයේ නිවාස හා වෙළෙඳ සල්වල තිබූ සී.සි.ටී.වී. කැමරා නිරීක්‍ෂණයට ලක් කළේය.

කුකුල් මස් මිලදී ගත් මේ දැරිය ආපසු නිවසට ගිය බවට එම කුකුල් මස් කඩේ මුදලාලිද පොලිසියට ප්‍රකාශ කර තිබිණි.නිවසේ සිට මීටර් 200 ක් දුරකට ගිය මේ දැරිවිට වූ දේ කුමක්ද? පොලිසිය විමර්ශන ආරම්භ කරන අතරතුර ගම්මුද මේ දැරිවි සොයා මුළු ගමම පීරන්නට ගත්තේ ඒ අල්ල පනැල්ලේය.ෆාතිමාගේ නිවසේ සිට කුකුල් මස් කඩයට යන මාර්ගය අතර මැද ලඳු කැලෑවකි. කිරල ගස් පිරි එම ප්‍රදේශය වැස්සට මඩ ගොහුරුවක් බවට පත්ව තිබිණි.ගමේ අය ඒ මාර්ගය පුරාම සෝදිසි කළද ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබිණ.

පොලිසිය පැති කිහිපයක් ඔස්සේ විමර්ශන කරන අතරතුර මේ පිළිබඳ විසිපස්දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත්තේ එමගින් යම් හෝඩුවාවක් ලබාගනු පිණිසය. මේ අතර සැකසහිත පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳවද පොලිසියේ අවධානය යොමු විය. දැරියගේ පියාද සැකයට ලක් වූ අයෙකි. හේතුව ඔහු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී තිබීම හා ඔහුගේ හැසිරීමය. අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඔහුද පොලිස් භාරයට ගෙන පැය පහක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත්තේ එහෙයිනි.මේ අතර ගම්මු එක්ව දැරිය සෙවීම දිගටම කරගෙන ගියේ ඇයට යම් අනතුරක් සිදු වූයේ නම් එය වූයේ මේ මීටර් 150-200 තුළ බව ඇති වූ සාධාරණ සැකය නිසාය.

බිය වූ මම ඇයගේ කට වසා මඩේ එබුවා - මාමා.... මාමා......මාව අතහරින්නැයි ආයිෂා අඬමින් කෑ ගැසුවා...

ඇය අතුරුදන් වී පැය විසිහතරක් යන්නට මත්තෙන් මේ අහිංසක දැරියගේ නිසල සිරුර මඩගොහොරුවකින් හමු වූයේ මුළු අටලුගම පමණක් නොව රටම හඬවමිනි. මෙම මඩ ගොහුරුව පරීක්‍ෂා කිරීමට ගත් හැම අවස්ථාවකදීම එක් අයකු ඊට ඉඩදී නැතැයිද කියැවේ. නමුත් මේ දැරිවි ඝාතනයට ලක් කළේ කවුරුන්ද කුමකටද යන්න අභිරහසක් බවට පත්ව තිබිණි.මෙහි විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවටත්, කළුතර අපරාධ කොට්ඨාසයටත් බාර කළේ ඊට පසුවය.කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ රොහාන් ඕලුගල මහතා ඇතුළු කණ්ඩායම් දිව රෑ නොබලා ගම්මු සමඟ ගැවසෙමින් මේ පිළිබඳ විමර්ශන කළේ අපරාධකරු අහළ පහළම අයකු බව තේරුම් ගනිමිනි.

අටලුගම මුස්ලිම් පල්ලියේ පූජකයින් ගමේ ප්‍රභූන් හා තවත් අයද දැනුවත් කළ පොලිසිය මේ සිද්ධියෙන් පසු හැසිරීම් වෙනස් වූ පුද්ගලයන් පිළිබඳ විමසිලිමත් වන ලෙස දැනුම් දුන්නේය. ඒ උපක්‍රමය හරි අපූරුවට තේරුම් ගත් ගම්මු සැකසහිත පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධව පොලිසියට තොරතුරු ලබාදෙන්නට සමත් වූහ.දැරිය සෙවීමේ කටයුතුවලට එක් වූ හා මුල් වී කටයුතු කළ අයකුගේ හැසිරීම් නිරීක්‍ෂණය කළ පොලිසිය ඔහු ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් භාරයට ගත්තේ ඔය අතරය.කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා තීක්‍ෂණ බුද්ධියක් සහිත නිලධාරියෙකි. ඔහු මෙකී සැකකරුගෙන් ප්‍රශ්න කළේ උපක්‍රමිකවය. සැකකරුගේ බෙල්ලේ නියපොතු පහරක්ද පොලිස් නිලධාරීන්ගේ ඇස ගැටී තිබිණි. ඒ නියපොතු පහර අයිෂාගේය.

“සර් මම ඇත්තටම කියන්නම් සර්” ඔහු පාපොච්ඡාරණය පටන්ගත්තේ තවත් සැකකරුවන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා අතරතුරය.

මොහු විසිනව හැවිරිදි විවාහකයෙකි. පදිංචිව සිට ඇත්තේ අටලුගම, ෆාතිමා දියණිය පදිංචි නිවසට ආසන්නයේ නිවසකය. දෙදරු පියකු වන මෙකී සැකකරුගේ එක් දියණියක් ෆාතිමාගේම වයසේ පසුවෙයි. තදින්ම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙකී පුද්ගලයා ජීවිකාව ලෙස කරන්නේ කුලී වැඩය.

“සර් මේ ළමයා අපේ ගෙදරට යනවා එනවා. සෙල්ලම් කරන්න අපේ ගෙදරට යන එන විට මට මේ දරුවා ගැන ආසාවක් ඇති වුණා. එදා මේ ළමයා කඩේට ගිහින් කුකුල් මස් අරන් එනකොට මට පාරේදී හමුවුණා. මම ඇයව උස්සගෙන කිරල ගස් අතරින් අරගෙන ගියා.

“මාමා….. මාමා….. මාව අතඅරින්න. මට යන්න දෙන්න” ෆාතිමා දියණිය හඬමින් අයැද සිටියාය.

“ළමයා කෑ ගහන්න ගත්තට පස්සේ මගේ කරේ තිබුණ සරම ඉරලා ඒ ළමයගෙ අත් දෙකයි කුකුල් දෙකයි ගැට ගැසුවා. මට බය හිතුණා සර්… මම දරුවා උස්සගෙන ගියේ මගේ ආශාව ඉටු කරගන්න. ඒත් එයා ගෙදර අයට කියයි කියලා බය හිතුණා. ඒ ළමයා මාත් එක්ක පොර බැදුවා. මම කට වැහුවා. ඒ එක්කම එයාට සිහිය නැති වුණා. මම එයාව මඩේ ඔබාගෙන හිටියා.” සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මේ සාහසික අපරාධය පිළිබඳව පාපොච්ඡාරණය කළේ ඒ අයුරිනි.

“මම ළමයගෙ ඇඳුම්වත් ගැලවේවෙ නෑ සර් ඇත්තමයි. මට ඒ වෙලාවේ බය හිතුණ නිසයි එයාව මඩේ එබුවේ” සැකකරු එසේ කියා සිටියේ ඇත්ත ඒ යැයි කියමිනි.

අහිංසක මල් කැකුළක් විනාශ කළ ඒ අධමයා දැන් විවිධ දේ කියනු ඇත. නමුත් කුරා කුහුඹුවකුට වරදක් නොකළ කටේ කිරිසුවඳවත් මුවින් නික්මෙන මේ පුංචි දැරිය මළඋන් අතරට ගොසිනි.

මේ කියන සැකකරු ඝාතනයට ලක් වූ ෆාතිමා දැරිවිගේ මවගේ ඥාතියෙකි. ඒ හිත්පිත් නැති අධමයා මේ විනාශ කර දමා ඇත්තේ උගේ දියණියගේ වයසේ දැරියෙකි. අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මේ අධමයින්ට දිය යුතුව ඇත්තේ කවර ගණයේ දඬුවමක්ද දැරිය ඝාතනය කළ සැකකරු එදින දිය නා පිරිසිදු වී පල්ලි ගොස් ඇතැයි ද හෙළි වී ඇත.පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී උපාලි තලගලඩ යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. සී. රාජපක්‍ෂ, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පී. වී. ඒ හේමමාලි ඇතුළු නිලධාරීන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ද, කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල යන මහත්වරුද දිවා රෑ නොබලා මේ අපරාධකරු ඇල්ලීමට කළ මෙහෙය අපමණය.දැන් අපට තවත් සිද්ධි කිහිපයක් සිහිවේ.

බිය වූ මම ඇයගේ කට වසා මඩේ එබුවා - මාමා.... මාමා......මාව අතහරින්නැයි ආයිෂා අඬමින් කෑ ගැසුවා...

මතුගම සමන් කුමාර, සදීපා ලක්‍ෂාන්, යාපනයේ වින්ධ්‍යා, කොටදෙනියාව, සේයා සදෙව්මිණ ආදී දරුවන් මිලේච්ඡ ලෙස මරා දැමූ කාලකණ්ණි මතකයන් අපට ඉතිරිව තිබේ. ඒ ඝාතනයට ලක් වූ අහිංසක දරුවන් අතරට එක් වූ අලුත්ම දරු පැටියා මේ ආයිෂා දැරියය. මෙම දැරියගේ නිසල සිරුර හමු වූ පසු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබුවේ මේ මිලේච්ඡ ඝාතනය අප කොයිකාගෙත් නෙතට කඳුළක් එක් කළ බැවිනි.මේ ඝාතනය සිදු කළ සැකකරු දැරිය සොයන මුවාවෙන් එහෙ මෙහෙ දුව පැන ඇත්තේ මඩ වගුරුවට පිරිස යෑම වළක්වා ලමිනි. දැරිය සොයන පිරිස වෙනත් මගකට යොමු කිරීමට ඒ අධමයා ගත් උත්සාහයද විමර්ශකයන්ගේ තීක්‍ෂණ ඇසට ලක් වූවකි. මේ අධමයාට රජ කාලේ දඬුවම් දුන්නත් ඒ දැරිවිගේ ජීවිතයට යළි පණ දිය නොහැකි වග ඇත්තකි. නමුත් මෙවැනි කාලකණ්ණි පාපතරයන්ට යළි මෙවැනි අපරාධ නොකරන්නට හැකි පරිසරයක් සැකසීම අවශ්‍යය. මේ රට සෑම අතින්ම පිරිහී ගොස් මහා නරකාදියක් වූ පසු නීතිරීති සකසා විනය, සදාචාර සම්පන්න සාධාරණ සමාජයක් තනා පළක් වේද? අටලුගම ෆාතිමා ආයිෂා දියණියනි, නුඹත් කලින්ම දෙවියන් ළඟට ගියා යැයි කියා සිත හදාගන්නවා හැර වෙනත් දෙයක් අපට ඉතුරු වී නැත.

ශිරාන් රණසිංහ,හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment