ශ්වසන රෝග සහ වෛරස් උණ නිසා රෝහල්ගත වන දරුවන්ගේ වැඩිවීමක්

188

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ශ්වසන රෝග සහ වෛරස් උණ රෝග වැළඳී රෝහල්ගත කරන දරුවන්ගේ වැඩිවීමක් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (2 දා) පැවසීය.

ළමා හතිය, වෛරස් උණ මෙන්ම පාචනය, වමනය වැනි රෝගවල ද වැඩිවීමක් වාර්තා වන බැවින් එම රෝග ලක්‍ෂණ ඇති දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස හෙතෙම ඉල්ලා සිටී.

මීට අමතරව කැස්ස, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ඉන්ෆ්ලුවන්සා රෝග ලක්‍ෂණත්, ඩෙංගු වැනි මදුරුවන්ගෙන් බෝවන රෝගත් පවතින වැසි සහිත තත්ත්වය සමග වර්ධනය වෙමින් පවතින බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

ඉහත රෝග ලක්‍ෂණ සහිත දරුවන්ට පිරිසිදු ජලය, පිරිසිදු ආහාර, ස්වභාවික දියර ආහාර සහ කැඳ වර්ග ලබාදෙන ලෙසත් කුමන හෝ රෝග ලක්‍ෂණයක් දින තුනකට වඩා තිබේ නම් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉල්ලා සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment