මිල්ටන් නැතිවී වසර 26යි

254

විරහ ගීතයේ ආදරණීය කඳුළු සලකුණ, අග්‍රගන්‍ය ගායන ශිල්පි මිල්ටන් මල්ලවාරච්චි ගී හඬ සජීවී බවින් නික්ම ගොස් මාර්තු 10 වැනිදාට විසිහය වසරක් සපිරේ.

විරහ ගීතයෙන් යෞවන හදවත් වසඟ කර ගනිමින් පුරා දශක තුනකට ආසන්න කාලයක් තම සජීවී ගී හඬින් රට ම සැනහු, මිල්ටන් මල්ලවාරච්චි නම් මේ සුවිශේෂ ගායන ශිල්පියා වෙනුවෙන් ‘දිවයින’ ගෙන එන උපහාර ලිපියයි මේ.

මිල්ටන් මල්ලවාරච්චි වියෝ වී විසිහය වසරක් ගෙවී ගිය ද ඔහු ගැයූ ඒ මියුරු ගීවලට වශී වීම අදටත් ඒවා හදවතින්ම රස විඳීමට නව තරුණ පරම්පරාව පෙළගැසීම ආශ්චර්ය දනවන කාරණයකි. ඔහු ගැයූ ගී සර්වකාලීන බව එයින් පසක් කර දෙයි.

විරහ වේදනාවේ ඇති අනුවේදනීය බව තව තවත් උද්දීපනය වන ළයාන්විත, හැඟුම් බරවූ දුර්ලබ කටහඬ ඊට හේතුවයි. ඔහු ගැයූ සෑම ගීතයකම ඇති පද අරුත් සහ සංගීත සයෝජනයන් අබිබවා යන පෞරුෂයෙන් පිරුණු මියුරු කටහඬ අසන්නාගේ සවනට පමණක් නොව, ලේ, ඇට මිඳුළු, නහර දක්වා විනිවිද යන තරමට ම හැඟුම් බරවූ ඒ කටහඬ හදවත්වලට උත්තේජනය ඇති කරයි.

ක්‍ෂේත්‍රයේ කොතෙක් ගායන ශිල්පීන් බිහිවුවද ආදරය, විරහව වෙනුවෙන් හදවත්වලට සමීපව කතා කළ හැකි හඬක් වේ නම් ඒ මිල්ටන් මල්ලවාරච්චි ගී හඬ ම යැයි විවාදයකින් තොරව සඳහන් කළ හැකියි.

ප්‍රේමයෙන් පරාජිත මෙන්ම ආදරයෙන්, ශෲංගාරයෙන් වෙළුණු සිත්වලට ඔහුගේ හඬින් ගැයූ ගීත මනෝ චිකිත්සක රස ඔසුවක් වන්නේය. යොවුන් සිත් තුළ නිරායාසයෙන් ඉතිරෙන ශෲගාරාත්මක හැඟීම් මෙන්ම ආදරයෙන් පරාජිත හිත්වල ගිනිගෙන දැවෙන විරහා වේදනාවේ අනුවේදනීය සිතුවිලි ප්‍රේමවන්ත, ප්‍රේමවන්තියන් අතර සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් මිල්ටන් මල්ලවාරච්චි ගී හඬ තුළ පිරී පවතී.

ඔහු මියගොස් දශක ගණනාවක් ගෙවී ගිය ද ඒ ගී හඬ යුගයෙන් යුගයට අනාගත පරම්පරාව ද වැළඳ ගැනීම ඊට කදිම නිදසුනකි. මිල්ටන් මල්ලවාරච්චි වැනි අග්‍රගන්‍ය කලා ශිල්පීන් සංගීත ක්‍ෂේත්‍රයට රසික ප්‍රේක්‍ෂක ජනතාව වෙනුවෙන් දහසක් දුක්ගැහැට විඳිමින් බිහිකළ නිර්මාණ චෞර අඳබාලයන් විනාශ කරන අයුරු විකෘති කර ගායනා කරන අයුරු පිළිබඳව වර්තමානයේ යම් ප්‍රවණතාවයක් පවතී.

හුදු පුහු ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය මෙන්ම මූල්‍ය අරමුණ උදෙසා මිල්ටන් මල්ලවාරච්චි වැනි ගායන ශිල්පීන් ගැයූ වටිනා ගීත අමු අමුවේ විකෘති කරමින් වැජඹෙන පිරිසක් ද බිහිව ඇත. වටිනා ගී නිර්මාණ විකෘති කර ගයමින් ඒවා බලහත්කාරයෙන් සමාජයට සම්ප්‍රේෂණය කරන පිරිසක් ද වෙති. අනන්‍ය වූ කටහඬකින් ස්වනිර්මාණ තුළින් ක්‍ෂේත්‍රයේ වැජඹෙනවා පිවිසෙනවා වෙනුවට ප්‍රවීණයන්ගේ ජනප්‍රිය ගීත තම බුද්ධිමය දේපළ සේ සිතා කටයුතු කිරීම ද කනගාටුදායකය.

මුල් ගීතයට කිසිදු අයුරකින් හානි නොවන අයුරින් තරුණ පරම්පරාව ප්‍රවීණයන් ගැයූ ගීත ගායනා කිරීම පැසසිය යුතු කාරණයකි. එහෙත් මුල් ගායකයාගේ හෝ සංගීත නිර්මාණකරුවාගේ නමවත් සඳහන් නොකර ඒ ගීත නිර්මාණ තමන්ගේ බූදල් ලෙසින් පරිහරණය කරන පිරිස් ගැන, රසික ප්‍රේක්‍ෂක ජනතාව තුළ ඇත්තේ දැඩි කලකිරීමකි.

මිල්ටන් මල්ලවාරච්චි ගී හඬ ඉදිරි පරම්පරාවට ගෙන යෑමට ඔහුගේ පුතුන් වන රනිල් මල්ලවාරච්චි, තාරක මල්ලවාරච්චි මෙන්ම රනිල් මල්ලවාරච්චිගේ පුත් පවන් මල්ලවාරච්චි ක්‍ෂේත්‍රයේ සිටීම මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතවලට පෙම් බැඳි රසික සහෘද ජනතාව ලද භාග්‍යයකි.

රනිල්, තාරක, පවන් ඒ ගීතවලට හානියක් නොවන අයුරින් ගායනා කිරීම පැසසිය යුතු කාරණයකි. මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ගීත ඒ අයුරින්ම රසවිඳීමට හැකිවන තාක්කල් පමණක් ඒ ගීත ජනතාව වැළඳ ගනීවි. ඒ ගීත අලුත් ට්‍රෙන්ඩ් එක යැයි සිතමින් විකෘති කර ගායනා කරන කුමන හෝ අය රසික ජනතාව ප්‍රතික්‍ෂේප කරාවි.

මිල්ටන්ගේ ගීත අලුත් පරම්පරාව ගැයුවාට කිසිදු වරදක් නැති බවත් එයට හදවතින්ම ආශිර්වාද කරන බවත්, එහෙත් ඒ වටිනා ගීත කිසිවකුට විකෘති කර ගායනා කිරීමට හෝ මූල්‍ය අරමුණ වෙනුවෙන් පරිහරණය කිරීමට නිත්‍යානුකූලව හෝ කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියාගේ ආදරණීය බිරිඳ ස්වර්ණා පනංගල මහත්මිය ‘දිවයින’ට සඳහන් කළාය.

එදා මිල්ටන් මල්ලවාරච්චි ඔහුගේ ඒ ළයාන්විත කටහඬින් ගැයූ දහසකට ආසන්න ගී ගඟුලෙහි නව යොවුන් පරපුර ද අද ගිලී සැනහී රස විඳිති.

එදා යෞවන යෞවනියන් සේ ඒ ගීත රසවිඳි ප්‍රේමවන්තයන් අද මැදිවිය තරුණ විය ගෙවමින් වයසින් මුහුකුරා ගිය ද අතීතයේ දී ඔවුන්ගේ හිත්වල පිබිදුණු කැළතුණු සිතුවිලි හැඟුම් ආවර්ජනය කර දෙන්නට මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ගී වර්ෂාවේ තෙමි තෙමි කිමිදෙති. සොඳුරු අතීත මතකයන් අතරට යන්නට මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ගී මාධ්‍යයක් කරගනී. ඒ තරමට ම ඒ ගීත හදවත් තුළ කිඳා බැස පවතී.

මිල්ටන් මල්ලවාරච්චි ගී හඬ සදාකාලිකව ම ප්‍රේමණීය හදවත්වලට, විරහා වේදනා විඳි, නොවිඳි හිත්වලට දිව්‍යමය රස ගඟුලක් වන්නේය.

ඒ ගී හඬ තවත් දශක ගණනාවක් නොව, සියවස් ගණනාවක් අනාගත පරම්පරාවේ ප්‍රේමණීය හදවත්වල දෝංකාර දේවි.

සටහන – ධම්මික සල්වතුර

advertistmentadvertistment
advertistmentadvertistment