සුවිනීතා අධ්‍යක්ෂණයට….

ජගත් කාන්තා දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලාංකේය සිනමාවේ ස්ත්‍රී භූමිකාවේ අපූර්ව මතකයන් අප හදවත් තුළ රැන්දූ ඈ සුදු සඳේ කළු වලා අතුරින් දෙලොවක් අතර පිය මං තබා සුදෝ සුදු කවි චිත්‍රපට කතාවෙන් ඩී. බී. නිහාල්සිංහ යන්ගේ වැලිකතරට පියමන් තැබුවේ ඒ. එස්. පී. රන්දෙණියගේ (ගාමිණී ෆොන්සේකා) බිරිඳ ලෙසය. ඒ එස්. පී. රන්දෙණිය සමග වැලිකතරේ අභියෝගය භාරගත් ගෝරින් (ජෝ අබේවික්‍රම) සමග ද ඇය කරට කර රඟපෑවා ය. අනූපමා තුළින් ඊළඟ යුගය ද පිය මං තැබූ ඈ අද ප්‍රවිෂ්ඨ වන්නේ අදියුරු භූමිකාව ජයගන්නට ය. ගඟ දිය බොර වූ දෙනෙතින් කඳුළු කැටි සිප ගනිමින් ඈ සාධි සිනමා සිත්තම ගෙත්තම් කරන්නට පියමං තබන්නීය. පුරා දශක පහක ශ්‍රී ලාංකේය සිනමා අඹරේ දිදුල වූ සඳ රැස සුවිනීතා වීරසිංහ ගේ අදියුරු සම්ප්‍රාප්තිය සනිටුහන් වන කතාවය.

“මෙහි ප්‍රධාන භූමිකාව නියෝජනය කරන්නේ මම ම තමයි. මවකගේ චරිතයක් තමයි මම නියෝජනය කරන්නේ. මවකගේ චින්තනය, ආකල්ප, ආධ්‍යාත්මික චින්තනය, ආදී කරුණු නූතන පරපුරට ලබාදීමේ අරමුණෙන් තමයි මේ නිර්මාණය සිදුකර තිබෙන්නේ. මෙහි රූගත කිරීම් මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ දී සිදු කෙරෙනවා. මෙහි කැමරා අධ්‍යක්ෂණය නිශාන්ත ප්‍රදීප් ගෙනි. ”

මම ස්වාධීන කලාකාරිනියක්

මේක මගේ පළමු ප්‍රයත්නය. ඇත්තට ම මට අධ්‍යක්ෂවරියක් වීමේ කිසිම ආසාවක් තිබුණේ නැහැ. මම මීට කලින් සුවිනීතා මම සහ සිනමාව කියලා ශාස්ත්‍රීය චරිතාපදාන ග්‍රන්ථයක් එළිදැක්වූවා. මම මගේ ප්‍රේක්ෂක ජනතාවගෙන් ලබන්න පුළුවන් සියලු ම ගරු සම්මාන ලබලා තියෙන්නේ. මම හරි ආඩම්බර වෙනවා මගේ ප්‍රේක්ෂක ජනතාව එය මට ලබාදීම පිළිබඳව. ඒ ජනතාවට මා තුළින් මොකක් හෝ පණිවුඩවක් දිය යුතුය කියලා අදහසක් ආවා. ඒකයි මම මේ වගේ වැඩකටයුත්තකට අතගැසුවේ. මේක සත්‍ය කතාවක් නම් නොවේ. මොකද සිනමාවෙන් ඇත්ත නැත්ත කරලා වගේම නැත්ත ඇත්ත කරලා පෙන්වන්න පුළුවන්. නමුත් මම මෙහිදී සිදුකරන්නේ සිනමා නිර්මාණයක්. ඒකට මට කොයි විදිහට ප්‍රතිචාර ලැබේවිද කියන්න මම දන්නේ නැහැ. මම බයවෙන්නෙත් නැහැ. ඒ ගැන ලොකුවට හිතන්නෙත් නැහැ. අනික එහෙම තැතිගැන්මක් මගේ සිත තුළ නැහැ. මම මේ සිනමා නිර්මාණය බිහිකරන්නේ සම්මාන බලාගෙනවත් නැතිව අධ්‍යක්ෂ තනතුරක් ගන්නවත් හෝ විශේෂ දෙයක් ලබාගන්න නම් නොවේ. හැබැයි මේක වාණිජ චිත්‍රපටයක් නොවන වග පැහැදිලිව ම කියන්න ඕනෑ. මේක මගේ ම අදහසකුත් නොවේ. මොකද මේක කණ්ඩායමක් එකතුවෙලා කරන වැඩක්. ඒ හින්දා මේක සාමූහික ප්‍රයත්නයක්. මේ නිර්මාණය කවදාහරි අයිතිවෙන්නේ ප්‍රේක්ෂක ජනතාවට. එතකොට මේ නිර්මාණයට දායකවෙන සියලුමදෙනා හිතන්න ඕනෑ මේක සාමූහික ප්‍රයත්නයක් කියලා. හැබැයි මේ වෙලාවේ මට හරි සතුටුයි. මොකද සියලු ම දෙනා මේ වෙනුවෙන් මට ලොකු සහයෝගයක් ලබාදෙනවා.

අනික මම කැමැති නැහැ මොකක් හරි දෙයක් කරන්න කලින් මහ ලොකුවට කතා කරන්න. මම බොහොම ස්වාධීනව නිහඬව ජීවත්වෙන කලාකාරිනියක්. අනික මම නිරන්තරයෙන් ම රංගනයේ යෙදුණු කෙනෙකුත් නෙමෙයි. තවද මම වාණිජ රැල්ලේ නිළියකුත් නෙමෙයි. බොහොම හෙමින් ගමනක් ගිය ඉදිරියටත් බොහොම හෙමින් ගමනක් යන කලාකාරිනියක්. මගේ අලුත් ම සිනමා නිර්මාණය වන සාධි හින්දා මට ගෞරවය ලැබෙයි. ගල්මුල් ලැබෙයි. විවේචන ලැබෙයි. අනික අපේ රටේ අඩුපාඩු හොයන අයනේ වැඩි. දෙයක් අගය කරන අය හරි අඩුයිනේ. මම කිසිම කෙනෙකුගේ අගය කිරීමක්වත් අඩුපාඩුවක්වත් ගැන පොඩ්ඩක්වත් හිතන්නේවත් සැලෙන්නේවත් නැහැ. ඒක මට අදාළ දෙයක් නෙමෙයි. මම හිතන්නේ ප්‍රේක්ෂක ජනතාවට හොඳ නිර්මාණයක් හරහා යම්කිසි පණිවුඩයක් දෙන්න ඕනෑ කියලයි. මම කලාවෙන් ප්‍රේක්ෂක ජනතාවගේ සිත්සතන් සතුටු කරන්න තමයි උත්සාහ කරන්නේ. සාධි නිර්මාණය කරන්නේ සම්මාන බලාගෙනත් නෙමෙයි. මම මගේ කැමැත්තට මගේ ප්‍රේක්ෂකයන්ට මොකක් හරි ඉතුරු කරලා යන්න ඕනෑ. මොකද මම මගේ රංගනය ඉතුරු කරලා ගියා. අනික මගේ නිර්මාණයකුත් මේ වෙලාවේ ඉතුරු කරලා යන්න ඕනෑ කියලා ආකල්පමය මතවාදය තමයි මගේ ළඟ තියෙන්නේ. ඔන්න ඔය හේතුව උඩ තමයි සාධි නිර්මාණය කරන්නේ.

මම ස්වාධීන කලාකාරිනියක්

කාන්තාවක් විදිහට කාන්තා දිනය සමරන මාසයේ මෙවැනි වැඩකට අතගැසීම ගැන හරි සන්තෝස වෙනවා. රටට කාන්තාවට වගේ ම මවකට මේ වෙලාවේ මොනවද මට ලබාදුන්න පුළුවන්. ඒකත් මට වැදගත්. කාන්තාවන් වෙනුවෙන් මව්වරු වෙනුවෙන් සමාජයට දෙන පණිවුඩයක් හැටියට සාධි නිර්මාණය හඳුන්වන්න පුළුවන්. සාධි පොදුවේ අපි සියලු ම දෙනාට විඳින්න පුළුවන් නිර්මාණයක්. අනික මේක මට විශාල අභියෝගයක්. නමුත් මම හැමතිස්සේ ම ජීවිතයේ අභියෝග භාරගත්තු කෙනෙක්. අනික මම මගේ ජීවිතයේ අභියෝගවලට මුහුණදුන්න චරිතයක්. ඒක හින්දා මම අභියෝගවලට පොඩ්ඩක්වත් සැලෙන්නේ නැහැ. මගේ රංගනයෙන් ප්‍රේක්ෂකයා සතුටු වුණා වගේම නිර්මාණයෙන් මගේ ප්‍රේක්ෂකයා සතුටු කිරීම තමයි මුඛ්‍ය පරමාර්ථය. ගෞරවය නෙමෙයි, සම්මාන නෙමෙයි, පට්ටම් නෙමෙයි, තනතුරු නෙමෙයි මට වටින්නේ. සාධි නිර්මාණය නරඹලා යම්කිසි කෙනෙක් හෝ මගේ ප්‍රේක්ෂක ජනතාව යම්කිසි සතුටක් වින්දනයක් ලබනවානම් මට ඒ ඇති. සම්මාන ලැබෙන්නත් පුළුවන්. නොලැබෙන්නත් පුළුවන්. මොකද මට කවදාකවත් සාධාරණ සම්මාන ලැබිලා නැහැ. අනෙක් කාරණාව මම බොහොම සීමිත චිත්‍රපට ගණනාවක රඟපාලා ලබන්න ඕනෑ සම්මාන කලාකරිනියක් විදිහට ලැබුවා. ඉතිං ඒක මට ලබාදුන්නේ මගේ ප්‍රේක්ෂක ජනතාව වගේ ම ඒ ජනතාවගේ ප්‍රතිචාර. ඒකට මම ඔවුන්ට කෘතගුණ සලකන්න ඕනෑ. මොකද මම දන්නවා මම මොනවා හරි කිව්වොත් ඒක මට ආදරය කරන ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා. මම මගේ රටේ ජනතාව වගේ ම කලාකරුවන්ට හරි ආදරෙයි. ඒ මගේ ස්වභාවය. මම මුදලටවත් තනතුරුවලටවත් තානාත්තරවලටවත් කලාව කරන්නේ නැහැ. ඒක සුවිශේෂයි.

දිනේෂ් විතාන

මම ස්වාධීන කලාකාරිනියක්
advertistmentadvertistment
advertistmentadvertistment