කිසිම හේතුවක් තාර්කික නෑ – යෝජිත විදුලි ගාස්තු ඉහළ දැමීම රජයේ ප්‍රතිපත්ති රජයම කඩ කිරීමක්

129

උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක කියයි

යෝජිත අති විශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීම රජයේ ප්‍රතිපත්තිය රජය විසින්ම උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි.

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ඔහු මෙසේද කියයි.

“වසරකට විදුලි ගාස්තු සංශෝධන කළ හැක්කේ දෙවතාවකදී පමණක් බවට රජය ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා විදුලිබල පනතේ 5 වන වගන්තියට අනුව. මේ ප්‍රතිපත්තිය එසේම තිබියදී නැවත අතිවිශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීමක් කැබිනට් මණ්ඩලයම අනුමත කරනවා. ඒක රජය විසින්ම රජයේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක්. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය නීත්‍යනුකූලව පිළිගත නොහැකියි. විදුලිබල පනතේ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලිව සඳහන් වෙනවා. විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පනවා ඇති වගන්ති උල්ලංඝනය කිරීමට කිසිදු පාර්ශ්වයකට හැකියාවක් නැහැ. වසරකට වාර තුනකදී විදුලි ගාස්තු සංශෝධනය කරනවා නම් රජය පරණ ප්‍රතිපත්තිය සංශෝධනය කර නව ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කළ යුතුයි.

තුන්වන ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවට විදුලිබල ඇමැතිවරයා මෑතකදී පවා අවධාරණ කර සිටියා. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය නීත්‍යනුකූලව ක්‍රියාවට නැගීමට හැකියාවක් නැහැ.

හදිසි විදුලි ගාස්තු සංශෝධනයට ඉදිරිපත් කරන එක හේතුවක් තමයි අපේක්ෂිත ප්‍රමාණයට ජල විදුලිය ලැබෙන්නෙ නැහැ කියන කාරණාව. මේ වසරේ තවත් මාස 3ක් ඉතිරිව තිබෙනවා. මේ වන විට බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබෙනවා. ඒ නිසා ඉදිරියේදී ජල විදුලි නිෂ්පාදනය තවත් ඉහළ යෑමට ඉඩකඩ වැඩියි. ඉදිරි මාස 3 සඳහා විදුලි ගාස්තු වැඩිකිරීමට මේ හේතු දැක්වීම සාධාරණීකරණය කළ නොහැකියි. අනෙක් කාරණාව තමා හදිසි විදුලිය මිලදී ගැනීමට සිදුවීම නිසා ලංවිම වියදම් වැඩිවුණා යන්න. එය විදුලි පාරිභෝගිකයා වගකිව යුතු කාරණාවක් නෙවෙයි. හදිසි විදුලිය මිලදී ගැනීමට සිදු වුණේ ලංවිම වරදින්. ඊට ගිය වියදම් මේ තීරණය ගත්ත නිලධාරීන් හා බලධාරීන්ගෙන් අධිභාරයක් ලෙස අයකර ගත හැකියි. විගණකාධිපතිවරයාට මෙය කළ හැකියි.

අධික මිලට විදුලිය මිලදී ගත් නිලධාරීන් මත මේ බර පටවනවා මිස අසරණ විදුලි පාරිභෝගිකයා මත මේ බර පැටවිය නොහැකියි. යෝජිත විදුලි ගාස්තු ඉහළ දැමීම සාධාරණීකරණයට ඉදිරිපත් කරන තවත් හේතුවක් තමයි මේ වන විට විදුලි ඉල්ලුම ඉහළ යමින් පවතින බව. එය සම්පූර්ණ අසත්‍යයක්. පසුගිය වර්ෂයට සාපේක්ෂව තවමත් පහළ විදුලි ඉල්ලුමක් පවතින්නේ. ඉදිරි වර්ෂා තත්ත්වයත් සමග ඉල්ලුම තවදුරටත් පහළ යා හැකියි.

මේ විදුලි ගාස්තු සංශෝධනය සාධාරණීකරණයට ඉදිරිපත් කර ඇති හේතු කිසිවක් තාර්කික නැහැ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කළ යුත්තේ පදනමක් නැති නීත්‍යනුකූල නොවන ගාස්තු යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ලබන ජනවාරි මාසයේදී නියමිත ගාස්තු සංශෝධනය සලකා බැලීමයි.”

advertistmentadvertistment
advertistmentadvertistment