පුස්සන් පුම්බන නම්බු නාම නීතියේ දැලට

273

දුන්නත් දඬුවම් ගත්තත් දඬුවම් – ජනාධිපති ලේකම් උපදෙස් දෙයි

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කර ගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂී ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදා ගන්නා නාමයන් භාවිතා කරමින් විවිධ පුද්ගලයන් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් සම්මාන, සන්නස් පත්‍ර හා සහතික ලබා දෙන අවස්ථා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව ඇත.

මෙවැනි ආකාරයේ අසංවිධිත සම්මාන ප්‍රදානයන් මගින් මේ දක්වා ගෞරව ප්‍රණාමයට පත් සුවිශේෂී ශ්‍රී ලාංකිකයන්ට දැඩි අසාධාරණයක් හා අගෞරවයක් සිදුවන බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා ජාතික සම්මාන සඳහා යොදා ගනු ලබන එවැනි ගෞරව නාමයන් වෙනත් පාර්ශ්වයන් විසින් වැරදි ආකාරයට භාවිතා කිරීම වහා නතර කළ යුතු බව ද එවැනි ක්‍රියාවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළයුතු බව ද අවධාරණය කරයි.

1986 වර්ෂයේදී එවකට ජනාධිපතිවරයා විසින් අංක 387/3 හා 1986.02.03 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ජාතික සම්මාන හඳුන්වා දී ඇත. ඉන්පසුව, අංක 627/8 හා 1990-09-12 දිනැති රජයේ අති විශේෂ ගැසට් පත්‍රය, අංක 863/4 හා 1995-03-20 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය සහ අංක 1535/12 හා 2008-02-08 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර මඟින් ජාතික සම්මාන පිරිනැමීමේ පටිපාටිය සංශෝධනය කර තිබේ.

තවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023-02-18 දිනැතිව ඉදිරිපත් කරන ලද අංක PS/NC/ACD/95/2023 දරන අමාත්‍ය මණ්ඩල සටහන මඟින් “විශිෂ්ට කෞශල්‍යාභිමානී” හා “විශිෂ්ට ජනරජ අභිමානී” යන නව සම්මාන ද්විත්වය හඳුන්වා දීමට කටයුතු කෙරිණි.

පළාත් ආණ්ඩුකාරවරුන් සහ කැබිනට් අමාත්‍යවරුන් මඟින් ජාතික සම්මාන සඳහා නාම යෝජනා ලබා ගැනීම සිදු කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිවිශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන්ට ජාතික සම්මාන පිරිනැමීම සඳහා තේරීම් කමිටුවේ නිර්දේශ මත, ජාතික සම්මාන ලබා ගැනීමට අපේක්ෂා කරන, සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයැදුම්පත් කැඳවීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.

මේ අනුව ජනාධිපතිවරයාගේ එකඟතාවය අනුව ජනාධිපති ලේකම් විසින් පත්කරනු ලබන විද්වත් සාමාජිකයන්ගෙන් සමන්විත තේරීම් කමිටුවක් මඟින් සම්මානලාභීන් තේරාගැනීම සිදු කරනු ලබයි.

තෝරාගන්නා ලද එම සම්මානලාභීන්ගේ නාමයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත්කරනු ලබන අතර, පසුව නියම කර ගන්නා ලද දිනයකදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සම්මාන ප්‍රදානය කරනු ලැබේ.

නිදහස් අනුස්මරණ දිනය, ජාතික වීර දිනය ඇතුළු සම්මාන ප්‍රදානයට සුදුසු දිනයන් ජනාධිපතිවරයාට තීරණය කළ හැකි අතර ශ්‍රී ලාංකිකයන් නොවන පුද්ගලයන් සඳහා ජාතික සම්මාන ප්‍රදානය ද සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment