රතු මුහුද කැලඹූ හවුති ප්‍රහාරය

270

ශ්‍රී ලාංකිකයෝ දෙදෙනාත් ඒ අතර

ඉන්දීය නෞකාවකින් කාර්ය මණ්ඩලයේ 21ක් බේරා ගැනෙති

යේමනයේ සිට ක්‍රියාත්මක වන හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ යාත්‍රා කළ බාබඩෝස් රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පෙරේදා (06දා) එල්ල කරන ලද බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් එකී නෞකාව ගිනි ගෙන දැවෙමින් පවතින අතර එහි ගමන් ගත් නැවියන් තිදෙනෙකු මිය ගොස් සිවු දෙනෙකු තුවාල ලබා තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ නැවියන් සිවු දෙනාගෙන් තුන් දෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

බාබඩෝස් රාජ්‍යයට අයත් ‘රු කොන්ෆිඩන්ස්’ භාණ්ඩ ප්‍රවාහන නෞකාව රතු මුහුදේ ඒඩන් බොක්කේ යාත්‍රා කරමින් තිබියදී මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී ඇති අතර එම අවස්ථාවේ නෞකාව තුළ නැවියන් 20 දෙනෙකු ගමන් කර ඇති බවත් ඔවුන් අතර පිලිපීන ජාතිකයන් 15 දෙනෙකු, වියට්නාම් ජාතිකයන් 04 දෙනෙකු හා එක් ඉන්දීය ජාතිකයකු සිටි බව ඇමරිකානු හමුදාව විසින් නිවේදනය කර තිබේ. එම නෞකාවේ ආරක්ෂාව සඳහා භටයන් තිදෙනකු සිට ඇති අතර ඉන් දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් බව අනාවරණය වී තිබේ. රතු මුහුදේ ගමන් කරන ඊශ්‍රායලයට සහය දක්වන නෞකාවලට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින ඉරානයේ සහය ලබන හවුති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් නෞකාවක සිටි නැවියන් මියගිය ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වී තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් ‘රු කොන්ෆිඩන්ස්’ නෞකාව ගිනිගෙන ගිලෙමින් පවතින බව වාර්තා වී ඇති අතර එහි ගමන්ගත් සෙසු පිරිස සම්බන්ධයෙන් තොරතුරු ඊයේ (07දා) දහවල් වන විටද වාර්තා වී නොතිබිණි.

රතු මුහුද කැලඹූ හවුති ප්‍රහාරය

මෙම මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති හවුති කැරලිකරුවන් පවසා ඇත්තේ සිය නාවික හමුදාව විසින් දිගින් දිගටම රතු මුහුදේ යාත්‍රා කිරීම සම්බන්ධයෙන් රු කොන්ෆිඩන්ස් නෞකාවට නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් එම නෞකාව විසින් ගණන් නොගැනීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. අදාළ නෞකාවේ ගමන් මාර්ගය වෙනස් කරන ලෙසට හවුති නාවික හමුදාව විසින් සිදු කළ අනතුරු ඇඟවීම නොසලකා හැරීම හේතුවෙන් මෙම මිසයිල ප්‍රහාරය එල්ල කළ බවද එම කැරලිකරුවන් සඳහන් කර තිබේ. එම නෞකාව ඇමරිකානු නෞකාවක් බවද කැරලිකරුවන් පවසා තිබේ. ප්‍රහාරයට ලක් වූ රු කොන්ෆිඩන්ස් නෞකාව, රු කොන්ෆිඩන්ස් ෂිපින් එස් ඒ සමාගමට අයත් වන අතර එය ලයිබීරියාවට අයත් ලිපිනයක ලියාපදිංචි කර තිබේ. නෞකාවේ හිමිකරුවන් හා කළමනාකරුවන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇති ප්‍රකාශකයකු පවසා ඇත්තේ හවුති කැරලිකරුවන්ගේ ප්‍රහාරය යේමනයේ ඒඩන් නගරයට නාවුක සැතපුම් 50ක් (කිලෝ මීටර් 99ක්) පමණ නිරිත දිගින් එල්ල වූ බවයි.

රතු මුහුද කැලඹූ හවුති ප්‍රහාරය

මේ අතර මෙම හවුති මිසයිල ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව දකුණු දිග යේමනයේ පිහිටි හවුති කැරලිකරුවන්ට අයත් හෝඩෙයිඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇමරිකානු හා එංගලන්ත ගුවන් හමුදා විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ‘ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ පුවත්පත විසින් වාර්තා කර තිබේ. කෙසේ වුවද මෙම ප්‍රහාරය හේතුවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් වාර්තා වී නොතිබිණි. ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාවන් හා හමාස් සංවිධානය අතර හටගෙන තිබෙන යුද්ධය හේතුවෙන් පලස්තීන ජාතිකයන්ට සහය පළ කරමින් හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ යාත්‍රා කරන ඊශ්‍රායල හිතකාමී නෞකාවලට දිගින් දිගටම එල්ල කරමින් පවතින මිසයිල ප්‍රහාරයන් හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳාමට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් වන ‘අයි එන් එස් කොල්කටා’ නෞකාව විසින් හවුති කැරලිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් හානියට පත් ව තිබෙන ‘රු කොන්ෆිඩන්ස්’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 21 දෙනෙකු බේරාගත් බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. එසේ බේරාගත් පිරිස අතර එක් ඉන්දීය ජාතිකයෙකුද සිටින බව වාර්තා වී තිබේ. ඉන්දීය ආරක්ෂක අංශවලට අනුව රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී රු කොන්ෆිඩන්ස් නෞකාවට එල්ල වී ඇත්තේ ඩ්‍රෝන යානා ප්‍රහාරයකි. නෞකාවෙන් බේරාගත් පිරිස පිටතට ගෙන ඒම සඳහා යුද නැව විසින් හෙලිකොප්ටර් යානයක්ද යොදාගෙන තිබේ.

ඒමන්ති මාරඹේ හා චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment