ජගත් කාන්තා දිනය අදයි

141
ජගත් කාන්තා දිනය අදයි

මල් නෙලන තිරප්පනේ මල්ලිකා

ජීවිත කඳුළ ජයගන්න

තිරප්පනේ මහ වැවේ මල් කඩාගෙන ඒ නවය මාර්ගයේ තුරු සෙවණ අසලට පැමිණ වන්දනාවේ යන බැතිමතුන් උදෙසා මල් අලෙවි කිරීමෙන් පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නා දිරිය කාන්තාවක් තිරප්පනේ ප්‍රදේශයෙන් අපට හමුවිය.

අහස උසට නැග ඇති ජීවන බර සැහැල්ලු කර ගැනීමට ජීවිත අවදානමක් ගෙන වැවේ මල් කඩා අලෙවි කරන ඇය නමින් ඒ. ජී. මල්ලිකා ය. ඇය තිරප්පනේ නගරයට සමීප ඇතුන්ගම හංදිය අසල පදිංචි වී සිටින්නීය.

තමන් විසින්ම සොයාගෙන සකසා ගත් ටියුබ් එකක් ආධාරයෙන් වැව මැදට ගොස් ඇය මල් නෙලාගෙන විත් මල් අලෙවි කරයි.

ඇය අප සමඟ මෙසේ කීවා ය. ආර්ථික ප්‍රශ්න වැඩිවෙලා. ජීවත් වෙන්න විදිහක් නෑ. තිරප්පනේ වැවෙන් මානෙල් මල් මිටියක් කඩාගෙන ඇවිත් පාරේ අයිනේ තියාගෙන රු. 100කට විකුණනවා.

ජගත් කාන්තා දිනය අදයි
වැවේ බැස මල් නෙලන අයුරු

පරණ ටියුබ් එකක් සොයාගෙන වැවට ගිහින් මල් කඩනවා. හැමදාම උදේ 6.00 ට තමයි මම ගෙදරින් යන්නේ. වැවට ගිහින් මල් කඩාගෙන 8.00 වෙද්දි තිරප්පනේ තුරු සෙවණට එනවා. තෙත ඇඳුම පිටින් ම. මම 12 විතර වෙනකම් මල් විකුණලා ගෙදර යනවා. ඊට පස්සේ තමයි ගෙදර වැඩ ටික කරන්නේ. මගේ ස්වාමියාට වකුගඩුවල ගල් තිබිලා ඔපරේෂන් කළා. එයාට බර වැඩ කරන්න බෑ. ඒ නිසා ස්වාමියාට බරක් නොදී දරුවන් දෙදෙනාට උගන්වන්න, පවුලේ වියදමට තමයි මේ දේ මම කරන්නේ. කාන්තාවක් හැටියට වැවේ බැහැලා මල් කඩන එක ලේසි නෑ. ජීවිත අවධානමක් අරගෙන තමයි මම මල් කඩන්න වැවට බහින්නේ. මට සමෘද්ධියවත් අස්වැසුමවත් නෑ. මම ඉල්ලන්නෙත් නෑ. ඒවා නෑ කියලා මම දුක් වෙන්නෙත් නෑ. ස්ථීර රැකියාවක් නැති වුණාට මගේ ආර්ථිකය මම දිරිය මාතාවක් වගේ ගොඩනඟාගෙන තියෙනවා. ඒ ගැන හරිම සතුටුයි. මම තමයි තිරප්පනේට මුලින් ම මල් අලෙවි කරන ව්‍යාපාරය ගෙනාවේ. දැන් තිරප්පනේ නගර සීමාවේ ම කාන්තාවෝ 10 දෙනෙක් මල් විකුණනවා. ඒ ගැනත් හරිම සතුටුයි. මම කාන්තාවක් හැටියට කියන්නේ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. කම්මැලි වෙන්න එපා. ලැජ්ජා වෙන්න එපා. අපි අපිට පුළුවන් විදිහට ජීවිතය ගොඩනඟා ගමු කියලයි. ඒ නවය මාර්ගයේ වන්දනාවේ යන පිංවතුන්ට මම ආරාධනා කරනවා. තිරප්පනේ නගරයේ තුරු සෙවණේ මම ඉන්නේ. ඒ වගේ ම මම වගේ ම තව 10 දෙනෙක් ඉන්නවා මල් විකුණන්න. අපි හැමෝම මල් 10ක් රුපියල් 100 ට දෙන්නේ. මල් ටිකක් අරගෙන යන්න එන්න කියලා ආරාධනා කරනවා.

ඡායාරූපය – තිරප්පසේ සමන්

තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment