ඕල්කට්තුමා, ආනන්දය සහ අභියෝග

248

ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ 117 වන ගුණසමරුව අපි සැමරුවෙමු. වර්තමානයේ සිංහල බෞද්ධ ප්‍රබෝධය නොයෙකුත් මිත්‍යා මත සමග පාසල් අධ්‍යාපනයේ හුදෙක් කවි කටපාඩම් කරන විෂයක් තුළ ප්‍රශ්නාර්ථයක් බවට පත්වී ඇත. තමා සිංහල බෞද්ධ කියා කියන්නට ලජ්ජා යුගයක් අපි අත් විඳින්නෙමු. මෙහිදී අප ඕල්කට්තුමාට කළ යුතු වටිනාම කලගුණ සැලකීම වන්නේ කුමක්ද? අර ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හෙළයට ගෙන ආ ඒ බෞද්ධ ප්‍රබෝධය තුළින් දේශය, භාෂාව හා ජාතියට ආදරය කරන පරපුරක් රට තුළ නැවත ඇති කිරීමයි. මේ ආර්ථික සමාජ ව්‍යසනවලින් රට බේරා ගැනීමේ පළමු පියවර එය විය යුතුමය.

කොළඹ පිහිටි ආනන්ද විද්‍යාලය, ඕල්කට්තුමාගේ අධ්‍යාපනික හා ආගමික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස ස්ථාපිත කරන ලද ප්‍රමුඛතම බෞද්ධ පාසලකි. ආනන්දය රටට ජාතික නායකයන් බිහිකළ තෝතැන්නකි. ශ්‍රේෂ්ඨ අධ්‍යාපනික පාසල්වලින් ජාතික නායකයන් බිහි වූ බව සිහිපත් කරන විටම ඉදිරි අනාගතය තුළ ආනන්දයේ වගකීම ගැන කතා කළ යුතුය. මෙහිදී ආනන්දයට ආනන්දයක් වූ ගුරු පරපුර ගැන කතා කළයුතුමය. මෙවිට මාගේ මතකයට නිතැතින්ම පැමිණෙන්නේ සෝමා විජේරත්න ගුරු මෑණියන්ය. දශක කිහිපයකට පෙර සෝමා විජේරත්න මාතාව උදෑසන වන විට කොලොන්නාව පුරාණ විහාරය අසල බස් රථයක් බලාපොරොත්තුවෙන් සිටින දර්ශනය මගේ සිතේ පැලපදියම් වී ඇත. උදෑසන 6.30 වන විට ආනන්දයට එන ඇය විදුහලේ දියුණුව වෙනුවෙන් කළ සේවය පිළිබඳව ආනන්ද විද්‍යාලයීය සාහිත්‍ය සංගමයෙන් වෙනමම ග්‍රන්ථයක් සම්පාදනය කළ යුතු බව මාගේ අදහසයි. මගේ තවත් ආනන්දයේ ගුරුවරයකු වූ ධර්මසේන ලොකුලියනගේ ගුරු පියාණන් (ඔහු ආනන්දයේ ශිෂ්‍යයකු ලෙස ඇයගෙන් උගෙනම එකම ගුරු මඬුල්ලේ සෝමා විජේරත්න ගුරු මාතාව සමග සේවය කර ඇත) පැවසුවේ ඇය සැබවින්ම ආනන්දයට සම්පතක් බවයි. ගුරුවරයකුගේ භූමිකාව මනාව නිර්වචනය කරමින් තම ජීවිත කාලය තුළ බුද්ධාගම ගුරුවරයෙක් ලෙස පමණක් නොව දරුවන්ගේ විනය, හික්මීම, සාරධර්ම දියුණු කිරීමට ක්‍රියා කළේ තම රාජකාරී ජීවිතය පුරාවටම කිසිම නිවාඩුවක් නොලබාය. ආනන්දයටම ආවේනික උදෑසන ආනන්ද විහාරයට සපැමිණෙන ‘මල් පෝලිම’, සෝමා විජේරත්න ගුරුතුමිය යුහුසුළුව සංවිධානය කළ අයුරු නිරන්තයයෙන් මාගේ මතකයට නැගේ. ආනන්දයට පැමිණින දරුවන්ට ආනන්දය, විනය සහ විශේෂයෙන්ම විෂය ධාරාවෙන් ඔබ්බට ගිය ජීවිතය ගැන සෑම විටම ඇය උපදෙස ලබා දුන්නාය. මිනිසා නොහදා රට හැදිය නොහැකි බවත්, මිනිසා හදා රට හැදිය යුතු බවත් රටට මිණිපහනක් වූ අති පූජ්‍ය මඩිහේ මහ නාහිමි කී ලෙසටම රටට වැඩදායී අනද පුතුන් දහස් ගණනක් බිහි කිරීමට තම දහදිය මහන්සිය යොදවා, එතකින් නොනැවතී තම විශ්‍රාම දිවියද මේ පින් බිම වෙනුවෙන්ම කැප කරන, තම පාසල තම ජීවිතය කරගත් මෙවැනි ගුරු මෑණිවරුන් රටටම ආශිර්වාදයකි. මෙවැනි “සාධු චරිත”, කිලෝ හය – හතක බෑගයක “බර” ගැන මිස අධ්‍යාපනයේ “ගුණ” අමතක වර්තමාන සමාජයේ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව මාගේ අදහසයි.

එමෙන්ම ආනන්දයෙන් බිහිවිය යුත්තේ රට-දැය පිළිබඳ සංවේදී පුරවැසියන්ය. මෙහිදී රට තුළ කතා කළ යුතුම විශ්ලේෂණය කළයුතු, පර්යේක්ෂණ කළ යුතුම දේ බොහොමයක් ඇත. ඒ තුළ වර්තමාන “පරිගණකයට ඇබ්බැහි සංවේදී නැති පරපුර ගැන කතා නොකරම බැරිය. තොරතුරු තාක්ෂණය පිළිබඳ දරුවා උනන්දු කළ යුතු නමුත් ඔහු හෝ ඇය එයට ඇබ්බැහි වී ඇතිදැයි සෑම විටම විමසිය යුතුය. අප බිහිකළ යුත්තේ රටට, ජාතියට සංවේදී දරුවකු මිස යාන්ත්‍රීකරණය වූ අයකු නොවන බව වටහා ගත යුතුය. ලෝකයේ දරුවන් පිළිබඳ කළ පර්යේක්ෂණයක තොරතුරු තුළින් ඒ පිළිබඳ මානව පෙන්නුම් කරයි.

■ වසර 2-5 දක්වා දරුවන්ගෙන් 58% පරිගණක ක්‍රීඩා පුළුවන් නමුත් ඔවුන්ගෙන් බයිසිකල් පදින්න පුළුවන් 43% කට පමණි.

■ තවද එම වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 10% නව දුරකථන උපාංග භාවිතය හුරු නමුත් 9% පමණයි සපත්තුවේ ලේස් එක ගැට ගහන්න පුළුවන්.

එමෙන්ම පර්යේක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ පරිගණක වැඩිපුර පැය ගණනක් භාවිතය දරුවාගේ අන් අය සමග මානුෂීය සම්බන්ධතා කරන බවයි. එමෙන්ම 1979 හා 2009 වසර තුළ 14000 සමග කළ සංසන්දනාත්මක පර්යේක්ෂණයක් මගින් තහවුරු වී ඇත්තේ මෙම කාලය තුළ පුද්ගල සහකම්පනය දැඩි ලෙස අඩු වී ඇති බවයි. මෙය කොවිඩ් අර්බුදය තුළ තවත් තිව්‍ර වී ඇත. මෙම සහකම්පනය නැති පිරිසක් බිහිවීම ජාතියක අවාසනාවන්ත ඉරණමකට මග සලකුණු පෙන්වයි. රටේ ප්‍රමුඛතම ජාතික පාසල වන ආනන්දය තුළ අප බිහිකළ යුතු විරුවන් දෙස, බස, රැස යන හෙළ තුණුරුවන කියවිය යුතුය. එය භාවිතා කළ යුතුය. ඒ පිළිබඳව ආඩම්බර විය යුතුය. දේශය, භාෂාව හා ජාතිය පිළිබඳව, කුමාරතුංග චින්තනය පිළිබඳව රට තුළ, ජන මනස තුළ නැවත අවධි කිරීමක් අවශ්‍යයෙන්ම සිදුවිය යුතුය. බසින් රැස රැකෙන බවත් රැසින් දෙස රැකෙන බවත් යන සරල සත්‍ය අර්බුදයට පත්, බංකොළොත් වී ඇති අර මහ සම්ප්‍රදායක් උරුම වී තිබූ ජාතියට කියා දිය යුතුය.

ඕල්කට්තුමා බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට ඒ කළ මෙහෙවර අප සැමරිය යුත්තේ මේ රට නැවත බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයකට අවතීර්ණ කිරීමෙන්. මෙහිදී ආනන්දයට ඇති කාර්යභාරය අතිමහත්ය. එම අභියෝගය මේ යුගය තුළ ආනන්දයට පැටවී ඇත. එය හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාට ආනන්දියකු කළ හැකි උසස්ම උපහාරයයි.

මහාචාර්ය නලින් අබේසේකර

(ආදී ආනන්දීය බෞද්ධ සංගමය මගින් සංවිධානය කළ ආදි කර්තෘවර සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ ගුණානුස්මරණ වැඩසටහනේ ආනන්දයේදී සිදුකළ විශේෂ දේශනය ඇසුරෙනි)

advertistmentadvertistment
advertistmentadvertistment