මැයි අඳෝමැයි!

469

වසර තුනක ඇවෑමෙන් පැමිණි මැයි දිනය වෙනුවෙන් ආණ්ඩුව; විපක්‍ෂ පමණක් නොව වෙනත් සිවිල් හා වෘත්තීයවේදීන්ගේ සංවිධාන ද කොළඹත් ඉන් බාහිර නගරවල හා උප නගරවලත් මැයි සැමරුම් සිදු කිරීම සුවිශේෂ සිද්ධියක් විය. ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂය වන පොදු පෙරමුණ හා එජාපය වෙන වෙනම මැයි දින උත්සව සංවිධාන කිරීම කැපී පෙනුණි. ජනමාධ්‍යවල හා විද්‍යුත් මාධ්‍යවල ද මැයි දිනය තේමා කරගත් ලිපි සංවාද හා වෙනත් විශේෂාංග ද දැකගත හැකි විය. 1886 මැයි 01 වැනිදා චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයේදී වැඩ කරන ජනතාව විසින් පැය 8 ක වැඩ මුරයක් ඉල්ලා කරන ලද උද්ඝෝෂණයට පාලකයන්ගෙන් ලැබුණු ම්ලේච්ඡ වෙඩි ප්‍රහාරයත් එයින් පන්නරය ලද වැඩ කරන ජනතාවගේ සාඩම්බර ඉතිහාසයත් මැයි දිනයේදී සිහිපත් කරනු ලැබේ. 1848 කොමියුනිස්ට් ප්‍රකාශනයේදී මාක්ස් හා එංගල්ස් කළ දැවැන්ත අවධාරණය වූයේ ‘ලෝකයේ කම්කරුවනි එක්වව්’ යන උද්යෝග පාඨයයි. එහෙත් ලෝකයේ කම්කරු ප්‍රජාව තබා ඒ ඒ රටවල කම්කරු ජන කොටස් හා එක්වී සිටිත් ද යන්න සෙවීම සඳහා විශේෂ විමර්ශන අවශ්‍ය ද නැත.

ලංකාවේ ප්‍රථම වරට මැයි දින සැමරුමක් සිදු වූයේ 1933 දීය. තිහේ දසකයේදී සමසමාජ – කොමියුනිස්ට් නායකයන් විසින් ද සංවිධානය කරන ලද ඒ මැයි දිනයට පනහේ දසකයේදී ශ්‍රීලනිප ය ද එක්විය. පසුව එජාපය ද මැයි දිනය සැමරීමට දායක විය. මෙසේ මෙරටේ සියලුම පක්‍ෂ මැයි දිනය සඳහා අවධානය යොමු කර තිබුණත් වර්තමානය වන විට මැයි දිනය හා කම්කරුවා පිළිබඳ නිර්වචනවල ද විපර්යාස සිදුවී තිබේ. අද ශ්‍රමය සඳහා වැටුප් ලබා ගන්නේ කම්කරුවන් පමණක්ම නොවේ. එසේම ශ්‍රමය යනු කායික හා බුද්ධිමය ලෙස ද වර්ග කරණයකට අයත් කර තිබේ. බුද්ධිමය ශ්‍රමය තුළ නිර්මාණාත්මක ශ්‍රමයක් ද අඩංගුවේ. කෙසේ හෝ එදා කම්කරුවා යන පදය තුළින් නිරූපණය වූ චිත්‍රය නැතහොත් රූපය ද අද වෙනස් වී ඇත. එසේ වුවද දෛනික වැටුපක් සඳහා ශ්‍රමය යොදන වතු කම්කරුවන්, නාටාමිවරුන් හා කුලියක් මලියක් කර දිවි ගෙවන පිරිස් ද අදත් සිටිති. එපමණක් නොව ඒ ශ්‍රමය ගසා කෑමේ ප්‍රවණතාවක් ද වේ. නිශ්චිත වැටුපකට හිමිකම් නොකියන ඒ ජනතාවගේ ප්‍රශ්න අදටත් විසඳී නැති බවද සිහිපත් කළ යුතුය. එහෙත් මේ හැම ශ්‍රමයක්ම දේශපාලනයේදී අලෙවි වන බවද අප කිව යුතුය. ලෝක කම්කරුවන් ලෙස හැඳින්වෙන නිශ්චිත පිරිසක් නැතැයි සමහරුන් පැවසුවත් ලෝකයේ අද දවසේත් පීඩිත ශ්‍රමය මෙන්ම බුද්ධිමය ශ්‍රමය ද දැඩි සූරා කෑම්වලට ලක්වෙමින් තිබේ. දේශපාලන හා ආර්ථික පාරිභාෂික පද යොදා ගනිමින් සිදු කෙරෙන විශ්ලේෂණ කෙබඳු වුවත් මානව වර්ගයාත් ඒ මානව හිමිකම් ආදියත් අද දේශපාලන බලයට යටත් වී තිබෙන බවද අපට දැකගත හැකිය.

දේශපාලන පක්‍ෂ බිහිවන්නේ සමාන ආර්ථික හා සමාජ අභිලාෂයන් මත පදනම්ව සමාජය සමග හිස කෙළින් තබාගෙන ඉදිරියට යෑමටය. පන්ති භේද අනුව ද පක්‍ෂ බිහි විය. ඒවා ජාති කුල ආගම් වසයෙන් ද බෙදී තිබේ. මේ බෙදීම මතුපිටින් නැති ඇතුළතට සීමා වූ සම්මුතියක් බව සමාජ විද්‍යාඥයෝද පෙන්වා දෙති. කම්කරු පන්තියට නැතිවන්නට දෙයක් නැතැයි මාක්ස් සඳහන් කළේ ද ඔවුන් ධනවාදයේ උපකරණ බවට පත්වීම වැළැක්වීම සඳහාය. දේශපාලනය කුමකට ද? යන ප්‍රශ්නය අදත් බොහෝ විට ඇසෙයි. මිනිසාගේ මූලික අවශ්‍යතා එනම් ආහාර, වස්ත්‍ර හා නිවාස යන කරුණු තුන හෝ ඉටුකිරීම දේශපාලනයේදී අපේක්‍ෂා කෙරේ. මේවාට අමතරව සාහිත්‍ය කලාව වැනි ආධ්‍යත්මික ප්‍රතිලාභ ද සමාජයකට වුවමනාය. ප්‍රබුද්ධ පුරවැසියකු – ප්‍රඥාවන්ත මානවයකු සමාජගත කරන තක්සලාව දේශපාලනයයි. ඒ දේශපාලනය හැඳින්වීමට කුමන නමක් යොදා ගත්තත් ප්‍රශ්නයක් නැත. අපේ දේශපාලනයේ ඒ ගුණය තිබේ ද යන්න වෙනම ප්‍රශ්නයකි.

දේශපාලනය සමග මැයි දිනය සම්බන්ධ වූයේ ඒ පොදුජන පැතුම් සපුරා දීමේ මගක් ලෙසය. එහෙත් අද මැයි දිනය යනු දේශපාලනඥයන් කරතබාගෙන යන්නා වූද ඔවුන්ගේ බල තෘෂ්ණාව සඳහා ජනතාව කැපවී සිටින ආකාරය ප්‍රදර්ශනය කර බලන්නා වූද එක් මිනුම් දණ්ඩකි. වැඩබිම් ගොවිබිම්, කාර්යාල ආදී හැම තැනකම ජනතාව පීඩනයට පත්ව මැයි රැළිවලට එක්ව තම අයිතීන්, හිමිකම් උදෙසා සටන් කරන බවක් ද අද දැකගත හැකිය. වසර සිය ගණනකට පෙර කම්කරු ශ්‍රමය සූරා කෑ ධනපතියන්, රදලයන් ප්‍රමුඛ ඒ පැලැන්තිය අද අභාවයට ගොස් තිබේ. දේශපාලන හා මානව සබඳතා පිළිබඳ අලුත් ලෝකයක් අද බිහිවී තිබේ. එසේම එදා කම්කරුවන්, පීඩිතයන් සූරා කෑ පැලැන්තිය වෙනුවට නව දේශපාලන ප්‍රභූ අධිකාරිත්වයක් මතු වී තිබේ. අද ඒ අධිපතීහු සමාජ මතු මහලට නැගීම සඳහා කම්කරුවන් පමණක් නොව සියලු පීඩිත හා මැද පන්තිවල ජනතාවගේ මෙන්ම සියලුම රාජ්‍ය හා පෞද්ගලික ක්‍ෂෙත්‍රවල සේවකයන්ගේ දායකත්වය ලබා ගනිති.

මේ දේශපාලන බල අභ්‍යාසය තුළ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මෙන්ම ජනතාවගේ අපේක්‍ෂාවන් ද අනතුරට ලක්ව තිබේ. කම්කරු පන්තිය යන සංකල්පය අද මේ දේශපාලනය තුළ අහෝසි වී තිබෙන අතරම ගොවි, කම්කරු, ලිපිකරු, ගුරුවරු ඇතුළු වේතනලාභී සියල්ලන්ගේම දායකත්වය සහිත වෘත්තීය සමිති ව්‍යාපාරයක් බිහි වී තිබේ. ඒවා කිසියම් දේශපාලන පක්‍ෂයක් හා සම්බන්ධ වූ පක්‍ෂ නායකයන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක වන වෘත්තීය සංවිධාන ලෙස සකස් වී තිබේ. වෘත්තීය අයිතිය සුරැකීමට වඩා දේශපාලන පක්‍ෂවල ජයග්‍රහණය උදෙසා ඒ සංවිධාන කැපවී සිටියි. ඇතැම් විට වෘත්තීය සටන්වලදී තමන් අයත් පක්‍ෂ මතය විනා වෘත්තීය හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමක්ද සිදු නොවේ. මේ නිසා බලයට පත්වන ආණ්ඩුවල රූකඩ බවට පත්වන වෘත්තීය සංගම් ව්‍යාපාර ලෙස ඒවා හැඳින්වීම ද වැරදි නැත. මෑතකදීත් අපට දක්නට ලැබුණේ ‘ආණ්ඩුව වට්ටන සටන්වලට අපි නෑ’ යන සටන්පාඨය අතට ගත් වෘත්තීය ක්‍රියාකාරීන්ය.

මැයි අඳෝමැයි!

ලංකාවේ වෘත්තීය සංගම් ව්‍යාපාර හා දේශපාලන පක්‍ෂ අතර ප්‍රති විරෝධතා මතු වන්නේ ද ඒ ඒ පක්‍ෂ රැකගැනීමටත් ඔවුන්ගේ බලය තහවුරු කිරීමටත් යෑමේදී බව රහසක් නොවේ. එය සැබැවින්ම පාලක පක්‍ෂයේ අනුග්‍රහය ලබන වෘත්තීය සංගම්වල නායකයන්ට හිමිවන ප්‍රතිලාභ, වරප්‍රසාද රැකගැනීමේ සටනක් බවට ද පත්ව තිබේ. පසුගිය දිනවල ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ මුවින්ම ප්‍රකාශ වූයේ තමන්ට අයත් ආයතන හා සම්බන්ධ වෘත්තීය නායකයන්ට වාහන පහසුකම් මෙන්ම නොමිලේ ඉන්ධන පවා ලබාදෙන බවය. මෙයට ඒ වෘත්තීය සංගම්වල නායකයන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. එයින් පෙනී යන්නේ වෘත්තිකයන්ගේ ශක්තියෙන් පාලකයන්ට ළංවී සිටින වෙනම වෘත්තීය සමිති ජුන්ටා බිහි වී තිබෙන බව නොවේද? දේශපාලන නායකයන්ගේ අභිමතය පරිදි නටන වෘත්තීය සංගම් ක්‍රියාකාරීන්ගෙන් වැඩ කරන පන්තියේ අයිතීන් සුරැකේද? අද බොහෝ වෘත්තීය සමිති දේශපාලන පක්‍ෂවල වලිග බවට පත්වී ඇතැයි අධිචෝදනා පත්‍රයක් ද ඇත.

දේශපාලනීකරණයට භාජනය වූ වෘත්තීය සමිතිවලට සිදුවන්නේද තට්ටු මාරුවට බලය ලබා ගන්නා පක්‍ෂවලට හේත්තු වී ඉල්ලීමක් දෙකක් දිනා ගැනීමටය. මෙය හැත්තෑවේ දසකයෙන් පසුව ඇතිවූ ප්‍රවණතාවකි. මුල් යුගයේ ප්‍රබල වෘත්තීය සමිතිවල නායකයන් ඍජුවම පක්‍ෂවලට සම්බන්ධ වී සිටියේ ද නැත. දැන් ප්‍රධාන පක්‍ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති ව්‍යාපාර ගොඩනැගී තිබේ. මෙයින් පක්‍ෂවල තිබෙන භේද කැපිලි ඒ අයුරින්ම වෘත්තීය සමිතිය තුළට ද පැමිණෙයි. අද තිබෙන දේශපාලන පරිහානිය වෘත්තීය සමිතිවල මෙන්ම ඒවා අයත් රාජ්‍ය ආයතන හා සංස්ථා තුළ ද දැක ගත හැකිය. උසස්වීම් ස්ථාන මාරු පමණක් නොව විවිධ ප්‍රතිලාභ ලබා ගැනීමට අද අවශ්‍යව ඇත්තේ ආණ්ඩුවට අයත් වෘත්තීය සමිතියක සාමාජිකත්වය පමණි. එහිදී නායකයන්ට හා සාමාන්‍ය සේවකයන්ට ලැබෙන වටිනාකම, පිළිගැනීම වුවද සමාන නැත. කුමක් වුවත් අද වන විට මෙරටේ කිසියම් අභිමානවත් හා ගෞරවනීය තත්ත්වයක තිබුණු වෘත්තීය සමිති ව්‍යාපාරය බාල්දු වී තිබෙන බව පමණක් අපට කිව හැකිය. එනිසා මැයි සටන් ගැන ‘අඳෝමැයි!’ යනුවෙන් කෙරෙන විවේචනය ද බැහැර කළ නොහැක.

ලංකාවේ වර්තමාන දේශපාලන කැළඹීම් සම්බන්ධයෙන් ප්‍රබුද්ධ මනසකින් ක්‍රියාකිරීම සඳහා ද අදීන හා ප්‍රබල වෘත්තීය සංවිධාන ව්‍යුහයක් අවශ්‍යය. වෘත්තිකයන්ගේ අයිතීන් පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදී සිතියම හකුලා දැමීමේ දේශපාලන ප්‍රතිචාර සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට ද විවේචනයක් තිබේ. ගෝඨාභයට ධුරය අත්හැරීමට තරම් ප්‍රබල වූ මහජන විරෝධය සමග බැඳුණු ගාලුමුවදොර අරගලය කුරිරු ලෙස මර්දනය කිරීමට ද මේ පාලනය පියවර ගත් ආකාරය ගැන චෝදනා නැගෙයි. ජනාධිපති ධුරයට පත් රනිල් සිය ප්‍රජාතන්ත්‍රවාදී භූමිකාව සම්බන්ධයෙන් උපයා ගත් කීර්තියට අද හානි කරගනිමින් සිටියි. ඇත්ත වසයෙන්ම ඔහුගේ දේශපාලනය සම්බන්ධයෙන් දැඩි විවේචන ඇසෙයි. එදා ජේ. ආර්. ජයවර්ධන යුගයේ කටුක හා ආන්දෝලනාත්මක දේශපාලන ක්‍රියාකාරකම් අද යළිත් සමාජගත වන බවට තිබෙන විවේචනය පදනම් විරහිත එකක් නොවේ.

මෙවර මැයි වේදිකාවල වඩාත් ප්‍රකාශ වූයේත් විවේචනයට භාජන වූයේත් වෘත්තීය හිමිකම් හෝ වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න නොව ආණ්ඩුවේ දේශපාලනය හා බැඳුණු මර්දනයයි. පසුගිය සතියේ වැඩි ඡන්දයෙන් සම්මත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ ගිවිසුම හා එකඟතාවන් ගැන විවිධ ප්‍රශ්න නැගුණි. ස.ජ.බ. නායක සජිත් ද මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකර ගන්නා ලද එකඟතා යළි සමාලෝචනය කළ යුතු බව අවධාරණය කළේය. ඒවා යළි සාකච්ඡා කිරීමට අවශ්‍ය බවද ඔහු කියා සිටියේය. එසේ වුවද පොහොට්ටුවෙන් කැඩී ගිය උත්තර ලංකා සභාගය මෙන්ම නිදහස ජනතා සභාව ද මෙම ගිවිසුම රට බිල්ලට දෙන උගුලක් බව පැවසූහ. උත්තර ලංකා සභාගය හා නිදහස ජනතා සභාව වෙන වෙනම මැයි දිනය සැමරීම ද කැපී පෙනුණි. මුලදී මේ පක්‍ෂ සමග එක්ව සිටි ශ්‍රී.ල.නි. පය ද මහනුවරදී වෙනම මැයි රැළියක් පැවැත්වීමට පියවර ගෙන තිබුණි.

පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව කොළඹදී සිය මැයි රැළිය පවත්වමින් කියා සිටියේ තමන් අතින් සිදුවූ වැරදි නිවැරැදි කර ගනිමින් අලුත් දේශපාලන ගමනක් අරඹන බවයි. පොහොට්ටු වේදිකාව ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක වේදිකාවක හැඩය හා ස්වරූපය ගත්තකි. ප්‍රධාන කථිකයන් ජ.වි.පෙ. ට දැඩි විවේචන එල්ල කරද්දී මහින්ද ප්‍රකාශ කළේ එදා තමන් බලයට පත් කළ ජනතාවට සේවයක් කිරීමට නොහැකි වූ බවත් තම ගමනේ අඩුපාඩු තිබුණු බවත්ය. මෙහිදී මහින්ද වැඩ කරන ජනතාවට සරිලන වැටුපක් ලබාදීම, සිය වෘත්තීය සංගම් නායකයන් රැක ගැනීම, මෙන්ම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරන බවට ද පොරොන්දු විය. අගමැති දිනේෂ් අවධාරණය කළේත් කම්කරු විරෝධී පනත් අනුමත නොකරන බවය.

ජනාධිපති රනිල් එ.ජා.ප. මැයි දිනයට එක් නොවූ අතර තාක්ෂණය ඔස්සේ සභාව ඇමතීමද සුවිශේෂ සිදුවීමක් විය. ඔහු විශේෂයෙන් සඳහන් කළේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට මෙන්ම 2048 දී අලුත් ශ්‍රී ලංකාවක් හිමිකර දීමට උචිත දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන බවය. එ.ජා.ප. මැයි රැළියේ කථිකයන් අතර වූයේ එදා රනිල් සමග සිටි ප්‍රබල ඇමැතිවරුන්ය. මේ අයගේ අනාවැකිය වූයේ ද මේ රට ගොඩනැගීමට හැකි දැක්මක් – ඉලක්කයක් සහිත එකම නායකයා වන රනිල් තවත් වාරයක් මෙරටේ ජනාධිපති වන බවය. එසේම ඇමැති හරින් ප්‍රනාන්දු විසින් ස.ජ.බ. නායක සජිත්ට නිර්දය විවේචනයක් එල්ල කිරීමද කැපී පෙනුණි.

ජ.වි.පෙ. අනුර කුමාරගේ කතාවේ හරය වූයේ පැරණි වැඩවසම් ප්‍රභූ දේශපාලනය සිය පැවැත්ම සඳහා එක් කේන්ද්‍රයක් ලෙස සකස් වෙද්දී තම පක්‍ෂය නූතන දේශපාලනයට උචිත දැක්මක්, අපේක්‍ෂාවක් හා විනයක් උදෙසා වෙනම කේන්ද්‍රයක් ගොඩනගා තිබෙන බවය. එසේම ජනතාවාදී නව පාලනයක් හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ප්‍රතිෂ්ඨාපනය සඳහා අරගල කරන බවද ඔහු සඳහන් කළේය.

මේ අනුව මෙවර පැවැත්වුනු සියලුම මැයි දින සැමරුම්වල අපේක්‍ෂාව හා අරමුණ වූයේ අනාගත දේශපාලන බලය ලබාගැනීම බව පැහැදිලිය. ඒ ඒ මැයි වේදිකාවල සියුම් අපහාස, දැඩි චෝදනා පමණක් නොව අවලාද හා ගැරහුම් ද අඩු වැඩි වසයෙන් දැකගත හැකි විය. ජනාධිපති රනිල් අපේක්‍ෂා කරන ආකාරයේ දේශපාලන සම්මුතියක් සඳහා ස.ජ.බ. සූදානම් නැති බවද ඍජුවම ප්‍රකාශ වූ අතර නායක සජිත් විසින් පොහොට්ටුවට ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්‍රය ද බරපතළ එකක් විය. සැබැවින්ම අනාගත දේශපාලනයේදී පොහොට්ටුව හා සමහර විට එජාප ය එක් කඳවුරක් වීමට ද බැරි නැත. එයට විරුද්ධ දේශපාලන බලවේගය ජ.වි.පෙ. අනුර කුමාරගේ මූලිකත්වයෙන් ගොඩනැගෙනු ඇතැයි ද සිතිය හැකිය. එසේම ස.ජ.බ. ය වඩාත් දක්‍ෂිණාංශික නැඹුරුවකින් යුතු දූෂණ විරෝධී පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි ද කල්පනා කළ හැකිය. කුමක් වුවත් එ.ජාප. හා ස.ජ.බ. පාක්ෂිකයන්ට ද පැවති දූෂිත දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වනු ඇත.

මේ සියල්ල තුළින් ලංකාවේ දේශපාලනය තුළ දැඩි සංකීර්ණත්වයක් ද ඇති විය හැකි ලකුණු ද පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරු සිදු නොවන දේශපාලන ප්‍රතිසංස්කරණ මෙන්ම ස්වීය ආර්ථික දැක්මක් වෙත රට යොමු කරවන ආර්ථික සංශෝධන ක්‍රියාවලියක් ද අත්‍යවශ්‍යය. ජනාධිපති රනිල්ට සෞභාග්‍යයේ දැක්ම ඉවත දැමීමට සිදුවන අතරම එයින් පොහොට්ටුවේ සසලවීමක්ද ඇති වීමට බැරි නැත. මහජන මතයට උඩින් පියාඹා යා හැකි නීතිමය රාමුවක් නැතහොත් වළල්ලක් සඳහා ජනාධිපති රනිල් උනන්දු වන ආකාරය ද පැහැදිලිය. ඇත්ත වසයෙන්ම ගාලුමුවදොර අරගලයෙන් පසු කරළියට පැමිණ ඇත්තේ එදා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද හෝ අප්‍රසාදය පළ කරන ලද හෝ පැවති දේශපාලනයේම දිගුවක්ද? පැරණි ගර්හිත දේශපාලන විනාශයට අලුත් විකල්පයක් ජනතාව ඉල්ලා සිටියදීත්, වටයක් ගොස් ඒ මුළටම පැමිණ යළිත් ආරම්භ කිරීමට ද සමහරු සූදානම්ව සිටිතියි ඒ දේශපාලන ප්‍රතිචාර තුළින් ගම්‍ය නොවේද? දැන්ම ඒ පිළිබඳ පුරෝකථනය කළ නොහැක.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment