මොකක්ද මේ “X” රෝගය?

266

වර්තමානයේ කොරෝනා හා ඩෙංගු වසංගතයන් හමුවේ පීඩාවට පත් වී සිටින ගෝලීය ජනතාවට කොරෝනා වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික “X” යනුවෙන් නම් කර ඇති රෝගයක (ඩිසීස් එක්ස්) වසංගතයකට ඉතා ළඟදීම මුහුණ පෑමට සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනවාරි මස දෙවැනි සතියේදී සිදු කළ අනතුරු ඇඟවීම ලොව පුරා මාධ්‍යවලට මේ වන විට විශේෂිත පුවතක් වී තිබේ.

තවමත් ඇසට විද්‍යාමාන වන අයුරින් පැතිර නොයන “X” යනුවෙන් නම් කර තිබෙන රෝග කාරක විෂබීජයක් හේතුවෙන් මිනිසාගෙන් මිනිසාට පැතිර යනු ඇති බවට විශ්වාස කෙරෙන මෙම “X” රෝගය දැනටමත් සතුන් අතර පැතිර යමින් තිබිය හැකි අතර එය කුමන මොහොතක හෝ මිනිසාට සම්ප්‍රේෂණය වී ගෝලීය වසංගතයක් ලෙස පැතිර යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය විද්වතුන් විසින් අනතුරු අඟවා තිබේ.

කුමක්ද මේ “X” රෝගය?

මෙම “X” රෝගය කොරෝනා මෙන්ම වෛරසයක් හේතුවෙන් පැතිර යන ශ්වසන රෝගයක් විය හැකි බවත් එම රෝග කාරකය දැනට සංසරණය වෙමින් පවතින්නක් හෝ නව රෝගකාරකයක් හේතුවෙන් හටගන්නක් විය හැකි බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම, “X” රෝගකාරකය හඳුන්වා දී ඇත්තේ 2018 වසරේදීය. මෙම නව රෝග වසංගතය ලෝක සෞඛ්‍ය පද්ධතීන්ට ඉමහත් තර්ජනයක් ගෙන දෙන්නක් විය හැකි නිසා එවැනි තත්ත්වකට මුහුණදීම සඳහා සෞඛ්‍ය පද්ධතින් සූදානම් කරවීමේ අරමුණින් ඉකුත් ජනවාරි 17 වැනිදා ස්විට්සර්ලන්තයේ ඩෙවොස් නගරයේ පැවති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ ලෝක නායකයන් මෙම නව රෝග වසංගතය ගැන දැනුවත් කිරීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගෙන තිබිණි.

එහිදී අදහස් දක්වා තිබූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් අඩනම් ගේබ්‍රේයේසුස් පවසා ඇත්තේ “X” රෝගය ගැන අනාවරණය කිරීම සම්බන්ධයෙන් ඒ හරහා අනවශ්‍ය කළබලකාරී තත්ත්වයක් සමාජය තුළ නිර්මාණය කර ඇති බව බොහෝ දෙනකු පෙන්වා දී ඇති බවයි.

එහෙත් එවැනි කළබලකාරී තත්ත්වයක් දක්නට නොමැති බවත් ඉතිහාසයේ මෙවැනි වසංගත තත්ත්වයන් බොහෝ වාර ගණනක් පැතිර ගොස් ඇති නිසා ඉදිරියේදීද මතු විය හැකි එවැනි වසංගත තත්ත්වයක් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බැවින් මෙම අනතුරු ඇඟවීම සිදු කළ බව ඔහු සඳහන් කර තිබේ. “මෙයට පෙරද ඉතිහාසයේ මෙවැනි වසංගත තත්ත්වයන් හටගෙන තිබේ. ඒ නිසා එවැනි තත්ත්වයකට මුහුණ දීමට සූදානම් විය යුතුයි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කර තිබේ.

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් විශාල ආන්දෝලනයක් ඇති කරමින් “එක්ස්” රෝග වසංගතයක් සම්බන්ධයෙන් ජනතාවට හා රජයන්ට අනතුරු අඟවා සිටියද එම වසංගත රෝගයේ ස්වභාවය හෝ එම රෝග කාරක විෂබීජය කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් එම විද්වතුන් විසින් නිශ්චිතවම හඳුනාගෙන නොමැත. කෙසේ වුවද වසර හතරකට පෙර ලොව පුරා වසංගතයක් ලෙස පැතිර ගිය කොරෝනා වෛරසය අයත් වෛරස් පවුල එක්ස් නමැති මීළග ගෝලීය වසංගතයටද මුල් විය හැකි බවටද මත මේ වන විට පළ වී තිබේ.

බටහිර වෛද්‍ය පර්යේෂකයන්ට අනුව සිවු වසරකට පෙර ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයට පෙර 2002 වසරේද වෙනස් ආකාරයේ කොරෝනා වසංගතයක් චීනයේ පැතිරගොස් ඇති අතර එම වසංගතයට ගොදුරු වූවන්ට වැළඳුණු නිවුමෝනියා රෝගය නිසා එම රෝගීන් සෑම 10 න් 1 ක් අයෙකුම මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ. අනතුරුව චීනයේ පැතිර ගිය තවත් කොරෝනා වෛරසයක් නිසා හටගත් නිවුමෝනියා රෝගයට ගොදුරු වූ එම රෝගීන් සෑම 3 දෙනකුගෙන් 1 අයෙකුම මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ. කෙසේ වුවද මේ වන විට ලොව පුරා සෑම අයෙකුගේම පාහේ සිරුරුවල කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවී තිබීම නිසා කොරෝනා වෛරසයකට නැවත වරක් ලොව ප්‍රබල වසංගතයක් ඇති කිරීමේ අවස්ථාව අවම බව වෛද්‍ය මතය වී තිබේ.

කොරෝනා වෛරසයට අමතරව එක්ස් රෝග වසංගතය බවට පත් විය හැකි යැයි බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් අනුමාන කර ඇති රෝග අතර ලොව පුරා පැතිර පවතින කුරුලු උණ සිකා හා වෙනත් ශ්වසන රෝග වෛරස වේ.

මේ අතර තවමත් සැබෑ ලෝකයේ මිනිසාගෙන් මිනිසාට මෙම රෝග කාරකය සම්ප්‍රේෂණය වීමක් සිදු නොවූවද ශ්වසන රෝග වෛරසයක් විය හැකි මෙම රෝගකාරකය දැනටමත් සතුන් අතර පැතිර ගොස් තිබිය හැකි බවත් ඉදිරියේ දී කිසියම් සත්ත්ව විශේෂයක් හරහා එම රෝගකාරකය මිනිසාට සම්ප්‍රේෂණය වී ගෝලීය වසංගතයක් දක්වා එය වර්ධනය විය හැකි යැයි ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය ආරක්ෂණය සම්බන්ධ ජෝන් හොප්කින්ස් මධ්‍යස්ථානයේ වෛද්‍ය අමේෂ් අඩල්ජාද පවසා තිබේ.

පර්යේෂකයන්, විද්‍යාඥයන් හා විශේෂඥයන් එකතු වී එවැනි සත්ත්වයන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වසංගත රෝගයක් පැතිර ගියහොත් එය මර්දනය කිරීම සඳහා ලොව පුරා සෞඛ්‍ය පද්ධතීන් සූදානම් කිරීමට සැලසුම් සකස් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර තිබේ. දැනටමත් සත්ත්වයන් අතර ඉතා ඉහළ මරණ අනුපාතයක් පවතින රෝග කාරකයන් සංසරණය වන බවත් එම රෝගකාරකයන් කුමන මොහොතක දී හෝ මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන තත්ත්වයට පත් විය හැකි බවත් වෛද්‍ය අඩල්ජා සඳහන් කර සිටියි. මිනිසා හා සත්ත්වයන් අතර පවතින සමීප සබඳතාවන් හේතුවෙන් කුමන මොහොතක හෝ මෙම එක්ස් රෝග වසංගතය මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි බවද ඔහු අවධාරණය කර තිබේ.

ලෝක නායකයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ සාකච්ජාවේදී එක් විශේෂඥයකු පවසා ඇත්තේ මෙම ‘එක්ස්’ නමැති මාරාන්තික රෝග කාරකය අපේක්ෂා කරන කාලයට පෙර මතු විය හැකි බවයි. 2022 වසරේදී විද්‍යාඥයන් 300 දෙනකුගේ සහභාගිත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කැඳවා තිබූ සමුළුවකදී වෛරස් හා බැක්ටීරියා පවුල් 25ක් ඇසුරෙන් ඉදිරියේදී ලොව පුරා මහත් විනාශකාරී ප්‍රතිඵල අත්කර දිය හැකි පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු රෝග කාරක සම්බන්ධයෙන් ලැයිස්තුවක් සකස් කළ අතර එම ලැයිස්තුවේ මෙම ‘එක්ස්’ රෝග කාරකය ද තිබී ඇත. දැනටමත් ඇතැම් රටවල පර්යේෂකයන් විසින් මෙම එක්ස් රෝගකාරකය හරහා පැතිර යා හැකි එක්ස් රෝගය සඳහා එන්නත් නිපදවීමේ කාර්යය ද අරඹා ඇති බව වාර්තා වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන වෛද්‍ය ටෙඩ්රෝස් පවසනුයේ එක්ස් රෝග වසංගතය ලොව පුරා පැතිර යෑමට පෙර ලොව පුරා සෑම රටක්ම සිය සෞඛ්‍ය පද්ධතීන් එවැනි වසංගතයකට මුහුණ දීම සඳහා සකස් කරගෙන තිබීම වැදගත් බවයි. එහිදී කොරෝනා වසංගත සමයේ පැවති කාර්ය මණ්ඩල හා ඔක්සිජන් හිඟයන් වැනි අඩුපාඩු ඉදිරි වසංගතයකදී සෞඛ්‍ය පද්ධතීන් තුළ හටනොගත, යුතු බවත් සෑම රටක්ම සිය සෞඛ්‍ය පහසුකම් වර්ධනය කරගෙන මෙම “X” රෝගය සඳහා පෙර සූදානමකින් සිටිය යුතු බව වෛද්‍ය ටෙඩ්රෝස් සඳහන් කර තිබේ. පවතින තත්ත්වය මත ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ලොව පුරා රටවල් මෙම එක්ස් රෝග වසංගතයට මුහුණ දීම සඳහා වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු බවටද ඔහු විසින් යෝජනා කර තිබේ.

මේ අතර ලොව පුරා රටවලට X රෝගය පිළිබඳව අනතුරු අඟවා ඇතත් එම රටවල් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. නොබෝදා ඩුබායි නගරයේ පැවති ලෝක රාජ්‍ය සමුළුව අමතමින් කථා කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රේයේසුස් පවසා ඇත්තේ ගැටළුව වී ඇත්තේ මෙම රෝගය ඇතිවුවහොත් යන්න පිළිබඳව නොව එය ඇති වන්නේ කවදාද යන්න පිළිබඳව බවයි. තමා 2018 වසරේදීද ලොව පුරා වසංගතයක් පැතිර යෑමට නියමිත බවට අනතුරු ඇඟවීමක් සිදු කළ බවත් එය ඉන් පසු වසරේම මිලියන ගණනකට වැළඳෙමින් ඇතිරුණු කොරෝනා වසංගතයෙන් තහවුරු වූ බව වෛද්‍ය ටෙඩ්රෝස් සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment