පාස්කු ප්‍රහාරයට අවුරුදු 4 යි… සිද්ධ වුණේ මොකක්ද?

436

ඇමරිකාව ඇතුළු රටවල් කීපයක් දැනටමත් විමර්ශන කරලා

සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී ඉස්ලාම් කල්ලිය පාස්කු ඉරිදා දිනයේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය එල්ල කර ඉකුත් සිකුරාදාට හරියටම වසර හතරක් ගත විය. මේ දිනයේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ බිහිසුණු මතකය විවිධ තැන්වලදී වේදනාවෙන් ආවර්ජනය කරනු අයුරු දක්නට ලැබිණි.

එකී ආවර්ජනයන් අතරින් මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා කිතුණු බැතිමතුන් පිරිසක් පාගමනින් පැමිණ දේව මෙහෙයකට සහභාගි වීම කැපී පෙනුනු සිදුවීමක් විය.

● වේදනාවෙන් සැමරුණු සිව්වැනි වසර

වාර්තා වූ ආකාරයට නම් එය සංවිධානය කර තිබුණේ කතෝලික සභාව විසිනි. එකී පා ගමනට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ ඥාතීහු ද එක්ව සිටියහ. ඔවුහු පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා වින්දිතයන් බවට පත්වූ තම ඥාතීන් වෙනුවෙන් එසේ ආගමික වතාවත්වල යෙදීම ඉතා වැදගත් කාර්යයකි.

එහෙත් ඒ මිනිසුන් මේ සඳහා කටුවපිටිය දේවස්ථානයේ සිට පා ගමනින් පැමිණීම හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි පිරිස් කොළඹ මීගමුව මාර්ගයේ රැඳී සිටිමින් ගිනි කූඨක අව්වේ ඔවුනට විවිධ සංග්‍රහ කරමින් සහාය දක්වනු දැකීමේදී නම් ඇති වූයේ ප්‍රබල කනගාටුවකි.

මේ රටේ ජනතාව ජාතියේ නාමයෙන් ආගමික නාමයෙන් තවත් කොතෙක් කලක් මේ අන්දමට රැවටීම්වලට ගොදුරු විය යුතුද? ඔවුන් දුටු කල ඇතිවූ කනගාටුව සමඟ මතුවූ ගැටලුව එය විය.

එය කෙසේ වෙතත් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවති දේව මෙහෙය අවසානයේ රැස්ව සිටි බැතිමතුන් ඇමැතූ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධරණය ඉටුකර දෙන්නට පාලකයන් අදටත් අසමත්ව සිටින බව කීහ.

එසේම පාස්කු ප්‍රහාරය පිළිබඳ කතා කිරීමේදී රටම නොමඟට ගෙන ගිය සුපිරි දේශපාලන තුරුම්පුවක් බවට පත්වූ පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් පිළිබඳවද එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ සයින්දමරුදු පිපිරීමේදී ඇය මියගිය බවට තහවුරු කිරීම සඳහා තෙවැනි ඩීඑන්ඒ පරීක්‍ෂණයක් සිදුකිරීමට අණ දුන්නේ කවරෙක් දැයි ප්‍රශ්න කරන්නට ද වූහ.

එසේ ප්‍රශ්න කළ කාදිනල් හිමියන් අවසානයට කීවේ එයට අණ දුන් පුද්ගලයා කවරෙක් වුවද පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සියල්ල දැන සිටින මහ මොළකරුවා ඔහු බවය.

මේ පාස්කු දේව මෙහෙයට සර්ව ආගමික මුහුණුවරක් ගෙන දෙමින් එහි වැඩම කර සිටි ඕමල්පේ සෝභිත හිමියෝද එහිදී රැස්ව සිටි පිරිස අමතා අනුශාසනාවක් කරනු ලැබූහ. පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බව කී උන්වහන්සේ එහි වින්දිතයන්ට සාධාරණය ඉටුකර දෙන්නට පාලකයන් තවදුරටත් කටයුතු නොකරන්නේ නම් සිදුවන අසාධාරණය ජාත්‍යන්තරයට ගෙන ගොස් සාධාරණය ඉල්ලා සිටීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවද සඳහන් කළහ.

ඔව්. පාස්කු වින්දිතයන්ට උපරිම සාධාරණය ඉටුවිය යුතුය. එහි කතා දෙකක් නැත. ඉකුත් 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත උත්තානය සිහිපත් කරමින් පාස්කු ඉරිදා දේව මෙහෙයයන්ට සහභාගි වී සිටියදී ඒ අහිංසක මිනිසුන් මරා දැමුණේ ඉතාම ම්ලේච්ඡ අන්දමටය. එහෙත් ඇතැමුන් කියන ආකාරයට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට අදටත් සාධාරණය ඉටුවී නොමැතිද? එසේ සාධාරණය ඉටු නොවුණේ නම් එයට හේතුව වූයේ කුමක්ද? එසේත් නොමැතිනම් පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් යැයි හුවා දක්වමින් ඇතැමුන් මේ කරමින් සිටින්නේ එකී වින්දිතයන්ගේ රුධිරය මතින් වෙනත් අරමුණක් වෙත ගමන් කරමින් සිටීමද?

අප එකී ප්‍රශ්න කිරීම මෙහිදී සිදු කරනුයේ මේ සටහන පුළුල් සංවාදයකට විවිර කරමිනි. සැබවින්ම ඉහත ප්‍රශන්වලට පිළිතුරු සොයා ගැනීමට නම් මේ මොහොතේ අප කළ යුතුව ඇත්තේ පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කෙරුණු ඉකුත් 2019 අප්‍රේල් මස 21 වැනිදා සිට ගෙවී ගිය සිකුරාදා (2023-04-21) දක්වා සිව් වසරක කාලය තුළ සිදුවූ සිදුවීම් පෙළ එකිනෙක ගෙන විමසීමෙන් බැලීමය.

අපි දැන් එය සිදු කරන්නෙමු. එහිදී ඉහත ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු මොනවාදැයි හොඳින් වටහා ගැනීම මෙය කියවන ඔබට භාරය.

● සහරාන් හෂීම් සහ පාස්කු ප්‍රහාරය

වරක් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය හෙවත් අයිඑස්අයිඑස් නායකයාව සිටි අබුබකර් බග්ඩාඩි අපූරු ප්‍රකාශයක් කරනු ලැබීය.

‘අප ඉස්ලාම් රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා යන ගමනේදී නුඹලාට හැකිනම් සිරියාවට පැමිණ අප හා එක්වන්න. එසේ නොහැකි නම් නුඹලා ජීවත් වන තැන සිටිමින් ඉස්ලාම් රාජ්‍යය ගොඩනැඟීමේ කොටස්කරුවකු වන්න’

අබුබකර් බග්ඩාඩි කළ ප්‍රකාශය එය විය. හේ එසේ පවසා තිබියදී පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර වීඩියෝ පටයක පෙනී සිටිමින් (එම වීඩියෝව ප්‍රහාරයෙන් පසුව අන්තර්ජාලයට මුදාහරිනු ලැබූවකි) එදා සහරාන් හෂීම් සියලු දෙනා කියනු ලැබුවේ කුමක්ද?

ඉස්ලාම් රාජ්‍යය ගොඩනැඟීමේ කොටස්කරුවන් වෙමින් පාස්කු ප්‍රහාරය දියත් කරන බව එහිදී කියන සහරාන් හෂීම් පාස්කු ප්‍රහාරයට හරියටම මාසයකට පමණ ඉහතදී නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේදී ඉස්ලාම් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරය සිහිගන්වමින් සිය ඉලක්කය වන්නේ කිතුණු දේවස්ථාන බවද සඳහන් කරන්නේය.

එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සහරාන් හෂීම් කියා සිටින්නේ ඉස්ලාම් රාජ්‍යයේ සටන්කරුවන්ට ප්‍රහාර එල්ල කරන ඇමෙරිකාව ප්‍රධාන බටහිර ජාතිකයන් නිවාඩු ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ සුරසැප විඳින බැවින් ඔවුන් ඉලක්ක කර තරු පන්තියේ හෝටල්වලට ද ප්‍රහාර එල්ල කරන බවය.

මේ වීඩියෝ පටය මේ වන විට ප්‍රසිද්ධියට පත්ව ඇති බැවින් ඒ පිළිබඳ කිසිවකුට හෝ සැකයක් පවතී නම් නවීන ලෝකයේ පවතින තාක්‍ෂණික පහසුකම් යටතේ එය විද්‍යාත්මක පරීක්‍ෂණයකට ලක් කිරීමට ඕනෑ තරම් අවස්ථාව ඇත. පාස්කු වින්දිතයන් පිළිබඳ පවසමින් ඉබාගාතේ යන ඕනෑම අයකුට එවැනි විමර්ශනයකට යොමු වීමෙන් එල්ල වූ ප්‍රහාරයේ මූලික අරමුණු පැහැදිලි කර ගැනීමට හැකි වනු ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කතා කිරීමේදී එම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු පිරිස පෙන්වා දිය හැක්කේ ප්‍රහාරයේ සන්නද්ධ කල්ලිය ලෙසිනි. එසේ නම් ඔවුහු ප්‍රහාරය එල්ල කරන තැන් දක්වා තල්ලු කෙරුවෝ කවරහුද?

● පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවැනි පෙළ කණ්ඩායම

ඕනෑම ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයකු මරාගෙන මැරෙන ප්‍රහාරකයකු බවට පත්වීමට නම් ඒ සඳහා මොළ සෝදමින් ප්‍රබල පෙළඹවීමක් කිරීම අත්‍යවශ්‍යය. එසේ නම් සහරාන් හෂීම් කල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරය දක්වා ගමන් කරනු පිණිස එකී පෙළඹවීම කරනු ලැබුවේ කවරෙක්ද?

ඉස්ලාම් රාජ්‍යය හෙවත් අයිඑස්අයිඑස් මතවාදයට සමාන්තරව යන සංවිධාන පිහිටුවමින් ඒවාට පිරිස් බඳවා ගනිමින්, ඉස්ලාම් අන්තවාදය පතුරවමින්, අවශ්‍ය අවස්ථාවන්හිදී නීති ආධාර සපයමින්, මතවාදී ප්‍රචාරණය සමඟ මුදල් ලබා දෙමින් ඒ කටයුත්ත සිදු කළේය. පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සඳහා උපරිම අනුබලය දුන්නෝ ඔවුහුය.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයේ දෙවැනි පෙළ කණ්ඩායම ලෙස ඔවුන් හඳුන්වා දිය හැකිය. පාස්කු වින්දිතයන්ට සිදුවූ අසාධාරණය කෙසේ වෙතත් එකී දෙවැනි පෙළ සාමාජිකයන් යැයි සැක කළ පුද්ගලයන් 750 දෙනකු ඉකුත් කාලයේ අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් කටයුතු කළේය. එයින් තුන්සිය හැත්තෑවකට ආසන්න පිරිසක් ගෙවී ගිය වසර හතරක කාලය තුළ ඇප මත නිදහස්ව ගොස් ඇති අතර තවත් 320 ක් පමණ නීතිපති උපදෙස් මත නිදහස් කර ඇත.

ඉතිරි පිරිස අතරින් 40 දෙනකු පමණ ඍජුවම සහාරන් හෂීම් ඇතුළු කල්ලිය ප්‍රහාරය සඳහා තල්ලු කරනු ලැබූ දෙවැනි පෙළ කණ්ඩායමේ ප්‍රබලයන් ලෙසින් හඳුනා ගන්නට විමර්ශන කණ්ඩායම් සමත්ව ඇති අතර ඔවුන් අතරින් 37 දෙනකුට නඩු පැවරීමට කටයුතු කර ඇත. තවත් තිදෙනකු බන්ධනාගාරගතව සිටියදී විවිධ රෝගාබාධ හේතුවෙන් මියගොස් ඇත. පැහැදිලිවම මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් සියයට අනූවකට පමණ නඩු පවරා අවසන්ය.

එහෙත් අවාසනාවන්තම කරුණ වී තිබෙන්නේ අද පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා සිටින කිසිවකුටත් මේවා කිසිත් නොපෙනීමය. මේ පිළිබඳව අවධානය යොමු කිරීමට ඔවුහු මැලිකමක් දක්වන්නාහ. එයට හේතුව කුමක්දැයි දැන සිටින්නේද ඔවුන්මය.

● වගකීමෙන් බැහැර කළ නොහැකි තුන්වැනි කණ්ඩායම

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඍජු වගකීම පැවරෙන තවත් පිරිසක්ද සිටිති. ඔවුහු වන්නේ ඒ මිලේච්ඡ ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි පරිදි කටයුතු නොකළෝය. එවකට පැවති රජයට සහ සියලු ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ට එකී වගකීමෙන් ගැළවී යා නොහැකිය.

එසේ ගැළවී යෑමට නොහැකිවාක් මෙන්ම එවකට රටේ නායකයා වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළුව හිටපු ආරක්‍ෂක ලේකම්, පොලිස්පති හා බුද්ධි අංශ ප්‍රධානීන්ට එකී අතපසු වූ වගකීමේ බරපතළකම සිහිපත් කර දෙන්නට දැනටමත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත. එලෙස කටයුතු සිදුව තිබීම පාස්කු වින්දිතයන්ට වූ අසාධාරණයක්ද?

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් කියමින් එහි වින්දිතයන් වෙනුවෙන් පණ දෙන්නට සැරසෙන්නවුන් ඒ සඳහා දෙන පිළිතුර කුමක් දැයි අපි නොදනිමු.

● ජාත්‍යන්තරයට ගිය පාස්කු ප්‍රහාරය

පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවුණේ යැයි සඳහන් කරන ඇතැමුන් අද කියනුයේ එනිසා සාධාරණය ලබා ගනු පිණිස ජාත්‍යන්තරයට යා යුතු බවකි. එහෙත් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ කතාව තුළ ජාත්‍යන්තරය වෙත ගෙන යෑමට දෙයක් මේ වන විට ඉතිරිව තිබේද?

නැත. එය දැනටමත් ජාත්‍යන්තරයට ගොස් අවසන්ය. ඉන් නොනැවතී ජාත්‍යන්තර විමර්ශන කිහිපයක්ම සිදුවීද අවසන්ය. පාස්කු ප්‍රහාරයේදී ඇමෙරිකාව ප්‍රධාන බටහිර ජාතිකයන් සිය ඉලක්කය වන බව මරාගෙන මැරෙන්නට පෙර සහරාන් හෂීම් පැහැදිලිවම සඳහන් කරන්නකි.

සහරාන්ගේ ඒ ඉලක්කය අනුව ඇමෙරිකානු ජාතිකයන් පස් දෙනකුද තරු හෝටල් තුළ පිපිරී ගිය බෝම්බවලින් මරණයට පත්විය. සිය පුරවැසියන් පස් දෙනකුට එසේ අවාසනාවන්ත මරණයක් අත්වෙද්දී ඒ දෙස බලා නිහඬව සිටින්නට ඇමෙරිකාව සූදානම් නොවීය.

ඒ අනුව පාස්කු ඉරිදා එල්ල කෙරුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන දීර්ඝ සහ පුළුල් විමර්ශනයක් සිදු කළ එෆ්බීඅයි හෙවත් ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සහ එරට ඒකාබද්ධ ත්‍රස්තවාදී විමර්ශන කාර්ය සාධක බළකාය දැනටමත් පාස්කු ප්‍රහාරයේ ප්‍රබල සැකකරුවන් තිදෙනකුට චෝදනා ගොනු කරමින් එරටදී නඩු පැවරීමට පියවර ගෙන ඇත.

ප්‍රහාරය සඳහා සූදානම් වීම, සාපරාධී කුමන්ත්‍රණය, එය වසන් කිරීම සඳහා ආරම්භයේ සිට අවසානය දක්වා සංඛේතාත්මක පණිවිඩ යෙදුම් භාවිතය, අයිඑස්අයිඑස් සංවිධානයේ නියෝග අනුගමනය කිරීම, ගිනි අවි ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම ආදී වශයෙන් ඔවුනට එරෙහිව චෝදනා රාශියක් ගොනු කිරීමටද ඇමෙරිකාව දැනටමත් පියවර ගෙන අවසන්ය.

පාස්කු ප්‍රහාරය එල්ල කරනු ලැබූ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් අට දෙනා අයිඑස් අයිඑස් සාමාජිකයන් බවද ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවකින් ඔවුන් තහවුරු කර ඇත.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මොහොමඩ් නවුෆර් බවද එම වාර්තාව මගින් සඳහන් කරන ඇමෙරිකානු බලධාරීන් පරීක්ෂණය සිදු කළ ආකාරයද සඳහන් කරමින් ප්‍රහාරය සම්පූර්ණයෙන්ම අයිඑස් අයිඑස් ප්‍රහාරයක් බවට සනාථ කරන්නේය.

එසේම මේ සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් ඔස්ට්‍රේලියාවේ ෆෙඩ්රල් පොලිසිය මගින්ද සිදු කරනු ලබන අතර ඒ සම්බන්ධයෙන් වූ වාර්තාවක්ද ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. ඒ ආකාරයට තවත් රටවල් දෙකකින් සිදු කළ විමර්ශන වාර්තාද දැනටමත් මෙරටට ලැබී අවසන්ය.

අද පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ඇතැම්හු ජාත්‍යන්තරය වෙත යෑමට සැරසෙන්නේ එවන් පසුබිමක් යටතේ වෙති. එහෙත් එසේ කියන කිසිවකුත් ඇමෙරිකානු විමර්ශනය දෝෂ සහිත යැයි කොතැනකදීවත් නොකියති. ඒ නිහඬ බවට කුමක් හේතු වී තිබේද?

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් යැයි පවසමින් ඇතැමුන් අද ජාත්‍යන්තර විමර්ශන ඉල්ලා සිටින්නේද මෙසේ ඇමෙරිකාව විසින් එම ප්‍රහාරය සම්පූර්ණයෙන්ම අයිඑස් අයිඑස් ප්‍රහාරයක් බවට තහවුරු කර තිබියදීය. එසේම ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් කිහිපයක් ඒ පිළිබඳ පුළුල් විමර්ශන සිදු කර තිබියදීය.

එසේ නම් ජාත්‍යන්තරය වෙතට පාස්කු ප්‍රහාරය රැගෙන යෑමට සැරසෙමින් වින්දිතයන්ට සාධාරණය ඉල්ලා සිටින පිරිස් දැනට සිදුවී ඇති සියලු ජාත්‍යන්තර විමර්ශන ප්‍රතික්‍ෂේප කරන්නේද? එයට පිළිතුරු දෙන්නට කිසිවකුත් නැත. ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ හඬක් මතු කරන කෙනකුද නැත. එහි යටි අරමුණ වී තිබෙන්නේ පාස්කු ප්‍රහාරය ගෙන ජනතාව නොමඟ යවා වින්දිතයන්ගේ රුධිරය මතින් වෙනත් ගමනක් යෑමද?

● වව්නතිව් ඝාතනය හා පාස්කු ප්‍රහාරයේ විමර්ශන

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන පිළිබඳ කතා කිරීමේදී ඉකුත් 2018 වසරේ නොවැම්බර් 30 වැනිදා අලුයම මඩකලපුව වව්නතිව් පොලිස් මුරපළේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කළ තැන දක්වාම අප ගමන් කළ යුතුව ඇත. මන්ද අද පාස්කු ප්‍රහාරය පිළිබඳ කතාව මෙතරම් දුරදිග ගිය එකක් බවට පත්ව තිබෙන්නේද එම කරුණ මුල් කරගෙන වන බැවිනි.

එදා එකී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ අවස්ථාවේ විමර්ශන ආරම්භ කළ එවකට සීඅයිඩීයේ රජ කළ කුප්‍රකට කණ්ඩායම කරනු ලැබුවේ කුමක්ද? එකී ඝාතනය යහපාලන රජය බිඳ දැමීම සඳහා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය විසින් සිදු කළ කුමන්ත්‍රණයක් යැයි ව්‍යාජයක් මවාපාන්නට ගිය ඔවුහු යුද හමුදා ඔත්තුකරුවකුව සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයකු ද අත්අඩංගුවට ගනු ලැබීය.

එහෙත් සීඅයිඩීය එදා අසත්‍ය සත්‍ය බවට පෙරළීමට සැරසෙද්දී ඒ සියල්ල උඩු යටිකුරු කරනු ලැබුවේ සහරාන් හෂීම්ය. සහරාන් හෂීම් ඇතුළු පිරිස එල්ල කළ පාස්කු ප්‍රහාරයත් සමඟ සිදුවූ විමර්ශනවලදී අනාවරණය වූයේ වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරනු ලැබුවේද සහාරාන් කල්ලිය බවය.

එතැන් සිට සිදුවූයේ කුමක්ද? බොරු ඇත්ත කරන්නට ගිය සීඅයිඩීය එතැන් සිට පාස්කු ප්‍රහාරයේ විමර්ශන නොමඟ යෑවීමට කටයුතු නොකළේද? ජාත්‍යන්තරයට යෑමට පෙර අද පාස්කු වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉල්ල හඬා වැටෙන පිරිස් ප්‍රශ්න කළ යුතුව ඇත්තේ මේවා පිළිබඳවය.

එහෙත් කිසිවකුටත් එවන් ප්‍රශ්න කිරීමක් සිදු කිරීමට හිත් නොදෙන්නේ අරමුණ වෙනකක් වි තිබෙන නිසාද? ඔවුන් මේ ගමන් කරමින් සිටින්නේ කොතැනකටද? ඒ පිළිබඳව දැන සිටින්නෝද පාස්කු වින්දිතයන් වෙනුවෙන් වැළපෙන්නෝමය.

● සයින්දමරුදු පිපිරීම සහ සාරා ජස්මින්

පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව කතා කිරීමේදී මේ කොටසද ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය. මන්ද අද වන විට පාස්කු ප්‍රහාරයේ කතාව මුළුමනින්ම රටත් ජනතාවත් නොමඟට රැගෙන ගිය එකක් බවට පත් කරනු ලැබුවේ මේ කියන සාරා ජස්මින්ය.

එදා සයින්දමරුදු පිපිරීම සිදුවන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින පහකට පමණ පසුවය. එම පිපිරීමෙන් සහරාන්ගේ බිරිඳ හාදියා සහ දියණියගේ දිවි බේරිණි. පසුව අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හාදියා කියා සිටියේ පිපිරීම සිදුවන අවස්ථාවේ සයින්දමරුදු නිවසේ පුද්ගලයන් 19 දෙනකු සිටි බවකි.

එකී දහනව දෙනා අතරින් සහරාන්ගේ බිරිඳ හා දරුවා ජීවත්ව සිටින්නේ නම් මියගිය ගණන 17 කි. හාදියා හෙළි කර තිබූ පරිදි එකී දහහත් දෙනා අතරින් එක් අයකු කුඩා බිළිඳියක් විය. ඒ අනුව විමර්ශනය සිදු කළ පිරිස් කරනු ලැබුවේ අම්පාර සුසාන භූමියේ වළවල් දහසයක් කපා සිරුරු කොටස් වළ දමන අතරේ මියගිය පිරිස හඳුනා ගනු පිණිස ඩීඑන්ඒ පරීක්‍ෂණ සිදු කිරීම සඳහා සිරුරු කොටස් දහහතක් ලබා ගැනීමය.

එය ලොව කිසිදු තැනක මෙවන්ූ පිපිරීමකදී විමර්ශන කණ්ඩායමක් වැරදීමකින්වත් සිදු නොකරන අන්දමේ අමුම අමු මැටි තීන්දුවක් බව නම් මෙහිදී නොකියා සිටීමට නොහැකිය. පැහැදිලිවම ඒ මොහොතේ සිදු කෙරුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන ක්‍රියාවලිය හිතා මතාම අර්බුදයකට ඇද දැමීමය. අද පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලන පිරිස් එසේ පාස්කු විමර්ශනය අර්බුදයක් බවට පත්කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි නිකමටවත් නොකියන්නේය.

මේ අන්දමට වළවල් දහසයෙන් ලබා ගත් සිරුරු කොටස් පසුව ඩීඑන්ඒ පරීක්‍ෂණයකට යොමු කෙරිණ. එහෙත් එකී පරීක්‍ෂණයේදී පිපිරීම සිදුවූ නිවසේ සිටි දස දෙනකු පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.

පසුව අධිකරණයට කරුණු වාර්තා කළ විමර්ශන නිලධාරීන් අධිකරණ නියෝග මත යළිත් සිරුරු කොටස් දහහතක් එකී වළවල් තුළින් ගොඩ ගනු ලැබීය. පසුව ඒවා ඩීඑන්ඒ පරීක්‍ෂණයකට යොමු කෙරිණි. එහිදී දහසය දෙනකු හඳුනා ගැනීමට හැකි වුවද පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් පිළිබඳ හෝඩුවාවක් නොලැබිණි. එසේ වූයේ ඇයි?

ලොව මෙවැනි පිපිරීමකදී සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමවේදය වන්නේ ඩීඑන්ඒ පරීක්‍ෂණයකට යොමු කරන්නේ නම් සියලු සිරුරු කොටස් පරීක්‍ෂාවට ලක්කිරීමය. එහෙත් එකී පිළිගත් ක්‍රම අනුගමනය කරන්නට විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය නොවීය. ඔවුන් කරනු ලැබුවේ හිතට එන දේ හිතුමතේ සිදු කිරීමය.

● සාරා ජස්මින් සොයොගත් තෙවැනි ඩීඑන්ඒ පරීක්‍ෂණය

ඉකුත් 2020 වසර දක්වාම මේ අන්දමට සාරා ජස්මින් සොයොගත නොහැකිව තිබියදී අවසානයේ ආරක්‍ෂක මණ්ඩලයේදී ඒ පිළිබඳ සිදු කෙරුණු කරුණු දැක්වීමකට අනුව නිවැරදි ක්‍රමය අනුගමනය කිරීමට විමර්ශන නිලධාරීන්ට නියෝග ලැබිණි. ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කළ ඔවුහු අම්පාර සුසාන භූමියේ වළ දමා තිබූ සයින්දමරුදු පිපිරීමේ සියලු සිරුරු කොටස් ගොඩ ගෙන නැවත ඩීඑන්ඒ පරීක්‍ෂණයක් සිදු කිරීමට පියවර ගනු ලැබීය. සිරුරු කොටස් 71 ක් ඒ අන්දමට ගොඩ ගනු ලැබීය.

එකී සිරුරු කොටස් ගොඩ ගැනීම සිදුවූයේද ප්‍රථම විමර්ශනයේ සිටි මහෙස්ත්‍රාත්වරයාත්, පළමු විමර්ශනයේදී කටයුතු කළ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්, මුල්ම අවස්ථාවේ අදාළා වළවල් කැපූ කම්කරුවන්, රසපරීෂකවරයා ඇතුළු වගකිවයුතු පාර්ශ්ව රැසක් ඉදිරියේදීය. අවසානයේ එසේ සිදු කළ තෙවැනි පරීෂණයේදී සාරා ජස්මින් මියගිය බව තහවුරු විය.

එකී පරීක්‍ෂණය සිදු කෙරුණේද පිපිරීමකදී ඩීඑන්ඒ පරීක්‍ෂණ සිදු කරනු ලබන ලොව පිළිගත් ක්‍රමවේදය අනුවය. ඇතැමුන් කියන අන්දමට දැන් එකී තෙවැනි ඩීඑන්ඒ පරීෂණය සිදු කරන ලෙස උපදෙස් දුන් අය ප්‍රහාරයේ මහමොළකරුවන් නම් එකී චෝදනාව එල්ල වන්නේ රටේ ආරක්ෂක මණ්ලඩලයටය.

සරා ජස්මින් මෙසේ සැඟවුණු චරිතයක් බවට පත්ව සිටියදී සිදුවූ තවත් කාලකණ්ණි සිදුවීමක්ද විය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන ප්‍රධානියා ලෙස කටයුතු කළ දැනට ඇමෙරිකාවේ වෙසෙන අර්ජුන් මාහින්කන්ද නමැති පොලිස් නිලධාරියා විසින් සාරා ජස්මින් ඇසින් දුටු අයකු යැයි පවසමින් කොමිසමට ගෙන ආ ව්‍යාජ සාක්‍ෂියක් හමුවේ අබුබකර් නැමැති පොලිස් පරීක්‍ෂකවරයකුට වසර තුනක පමණ කාලයක් නිකරුණේ සිරගතව සිටීමට සිදුවීම එය විය. අද එකී අසාධාරණය පිළිබඳ කතා කරන්නෝ කවරහුද?

● නිදහස් වූ මහමොළකරු

පාස්කු ප්‍රහාරය පිළිබඳ කතා කරමින් වින්දිතයන්ට සාධාරණය ඉල්ලන පිරිස් අද එක හඬින් කියන්නේ මහමොළකරු අනාවරණය කරන්නැයි යන්නය. ඔහු කවරෙක්ද? අපට වැටහෙන තරමින් නම් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයේ මහමොළකරුවන් දෙනෛකි. ඉන් එකකු දැන් සිටින්නේ සිරගතවය. හෙතෙම ඇමරිකාවද මහමොළකරුවකු ලෙසින් හඳුනා ගත් මොහොමඩ් නවුෆර්ය. දෙවැන්නා කවුද?

හේ දැනට සිටින්නේ සමාජගතවය. යළිත් ඔහු සිවිල් සංවිධාන පිහිටුවමින් පිරිස් බඳවා ගන්නේය. ඒ බඳවා ගැනීම් ගැටලු සහගත බවද කියැවෙමින් ඇත. ඔහුට සහරාන් හෂීම් සමඟ වූයේ ඉතා සමීප සබඳතාවකි. එසේම පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයන් දෙදෙනකු ලෙසින් ක්‍රියාත්මක වූ මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ පුතුන් දෙදෙනා සමඟද වසර ගණනාවක සිට ඔහුට සමීප සබඳතා පවත්වා ඇත. ඒවා විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව වාර්තා වන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය කාලයේ හෙතෙම පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් කුමක්දෝ හාස්කමකින් හිටිහැටියේ නිදහස් වී ගියේය. ඔහුට විදේශීය සබඳතාද ඇත. පැහැදිලිවම හේ සහරාන් හෂීම් ඇතුළු මිනීමරු කල්ලිය පාස්කු ප්‍රහාරය එල්ල කරනු පිණිස පොළඹවන ලද හෙවත් මෝටිවේට් කළ එකෙකි.

මේ මහ මොළකරු නිදැල්ලේ සිටීම පිළිබඳව හඬක් මතුකරන්නට අද පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා සිටින්නන් සූදානම්ද? පාස්කු වින්දිතයන්ට උපරිම සාධාරණය ගෙන දෙන්නට නම් අදාළ අය කළ යුතුව තිබෙන්නේ පූචානම් බයිලා කීමෙන් වැළකී මෙවන් දේ පිළිබඳව හඬ නැගීමය.

එසේ නොමැතිව සත්‍ය ඇස් ඉදිරියේ තිබියදී හැඟීම් අවුළුවා ජනතාව නොමඟ යැවීමෙන් පාස්කු වින්දිතයන්ටවත් මේ මාතෘ භූමියටවත් සිදුවන සෙතක් නැත. එසේ කිරීමේදී ඇතැම් විට සැබෑ අපරාධකරුවන්ට නීතියේ රැහැනින් ගැලවී යෑමට අවස්ථාව හිමිවිය හැකිය එසේ කටයුතු සිදු වුවහොත් එහි අවසන් ප්‍රතිඵලය කුමක් වනු ඇතිද?

එහිදී සිදුවන්නේ යළිත් ලේ වැගිරීමකට මුහුණ දීමේ බරපතළ අවදානමකට රටත් ජනතාවත් ගොදුරු වීමය. එදාට එයට වගකියන්නට අද පාස්කු ප්‍රහාරය ගෙන දේශපාලන සූදුවක යෙදෙන්නාක් මෙන් කටයුතු කරන පිරිස් සූදානම්ද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment