ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගනිමු – ජෝ බයිඩ්න් ජනපති රනිල්ට ලියයි

136

ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් හා පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සඳහන් කරයි.

75 වැනි ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් එක් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එම සුබපැතුම් පණිවුඩය එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී ඇය විසින් ජනාධිපතිවරයාට භාර දෙන ලදී.

දෙරටේම ජනතාවගේ සාමකාමී, සමෘද්ධිමත් සහ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වය සහ දැක්ම ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව ද ජෝ බයිඩ්න් මහතා එම පණිවිඩයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික නිදහස් සැමරුම හා සමගාමීව එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සපිරෙන බවත්, මෙම දිගුකාලීන සබඳතාව කලාපීය සහ ගෝලීය වශයෙන් සාමය සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යෑමට ඉවහල් වන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත. දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම, මිනිස් ජාවාරම මැඬලීම සහ ආරක්ෂිත නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් පවත්වාගෙන යෑම ඇතුළු කටයුතුවලදී ඉතිහාසය පුරා දෙරටම ප්‍රබල ගෝලීය අභියෝගවලට මුහුණ දී ඇති බව ජෝ බයිඩ්න් මහතා සිහිපත් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා වඩා ශක්තිමත් වන්නේ සාමූහිකවය, නිදහස සහ සමානාත්මතාවෙන් බව ද බයිඩ්න් මහතා සිය සුබපැතුම් පණිවිඩය මගින් වැඩිදුරටත් කියා ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment