මහ රහතුන් වැඩ සිටි තලගුරු විහාරය..!

164
සද්ධාතිස්ස රජ සමයේ (ක්‍රි.පූ.137-119) ආරම්භ කරන ලද රජරට ශ්‍රී විභූතිය විදහා දක්වන පුණ්‍ය භූමියකි අනුරාධපුර, ගල්කුලම තලගුරු පුරාණ රජමහා විහාරය. කටාරම් කොටන ලද එහි එකම ස්ථානයෙහි ලෙන් විහාර දෙකකි.

රජ සමයේ විහාරයේ වැඩ විසූ වියත් තෙරුන් නමක් විසින් තල්පත්හි ලිවීමේ ශිල්පය ප්‍රගුණකර ඇති බවත් එම තෙරනමට දක්වන සැලකිල්ලක් ලෙසින් එම විහාරය තලකූරු විහාරය වී පසුකල තලගුරු වෙහෙර නමින් ඉතිහාස ගතවී ඇති බව ජනප්‍රවාදයේ සඳහන්ය.

මහ රහතුන් වැඩ සිටි තලගුරු විහාරය..!

තලගුරු වෙහෙර පිළිබඳව ලේඛනගත තොරතුරු පෙන්වන පරිදි පූජනීය වූ ඓතිහාසික අවස්ථාව ලෙස ප්‍රාඥවත් මහරහතන් ධම්මදින්න තෙරුන් මෙම පිං බිමෙහි වැඩ වෙසෙමින් සතිපට්ඨාන භාවනාව වැඩූ බව සඳහන්.

මහ රහතුන් වැඩ සිටි තලගුරු විහාරය..!

ධම්මදින්න තෙරුන් සතිපට්ඨාන දේශනාව මධුර ලෙස සජ්ඣායනා කර ඇති බවත් එම දේශනාවට සවන් යොමුකර සිටි කිරි වවුලන් පන්සියයකින් යුතු පිරිසක් එම අවස්ථාවේදීම ස්වාභාවික කරුණක් මත මරණයට පත්ව එම ශ්‍රවණානිශංසය හේතුවෙන් මනුෂ්‍ය ආත්ම ලැබ මෙම පිං බිමට පැමිණ පැවිදිව බවුන් වඩා රහත් වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

දඹුල්ල රැස්වෙහෙර, ඇලගමුව, රිටිගල, බඹරහෙල, කිණිහිරිකන්ද, දොරමඬලාව ගල්ලෙන් අනුව තලගුරු විහාරයේ කටාරම් කොටන ලද ලෙන් විහාර දෙකකි. කඳු මුදුනට ආසන්නව ඇති ලෙන් විහාරවලට යාමට ඒමට පඩි පෙළක් සකසා ඇත. වම්පස ලෙන ඉදිරිපිට ගල් පර්වතයෙහි විශාල ශ්‍රී පතුලක් අලංකාරව නිර්මාණය කර තිබීම විශේෂ ලක්‍ෂණයකි.

ගල්ලෙන් දෙකෙහිම සමාධි පිළිමය හා පිරිනිවන් මංචකය දැක්වෙන බොදු සිත් පහන් කරන පිළිම රැසකි. ඒවා ඉපැරණි පිළිම වන අතර බිතු සිතුවම් මහනුවර යුගයේ ඒවා බව විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත මහ නෙළුබෑවේ රතනසාර හිමියෝ සඳහන් කරති. තලගුරු වෙහෙර පුරා විද්‍යාස්ථානයකි. වෙහෙර ආසන්නයේ තිබුණ ඉපැරණි ජල පොකුණ පොකුණු ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඩෝසර් කර වළක් බවට පත්කර ඇත. පැරණි පොකුණක් තිබුණු ගල් රළපනාව දැන් දක්නට නැත. තලගුරු වෙහෙර ආසන්නයේ කන්ද මුදුනේ රජ දවසේ ඉදිකර තිබුණු චෛත්‍යය ගරා වැටී විනාශ වෙමින් තිබේ. එම කඳු මුදුනේ දාගැබ තිබුණ ස්ථානයට අනුරාධපුර උඩමළුව මනාව දිස්වේ. අනුරාධපුර මානෑව කන්ද මුදුනේ ඇති විෂකුම්භණ වෙහෙර, කහල්ල කන්දේ ඇති උපුල්වන් වෙහෙර ඉපැරණි ඒවාය. මෙම කඳු මුදුන්වල ඇති දාගැබ් පිළිබඳව මෙතෙක් පුරා විද්‍යාවෙන් සොයා බැලීමක් සිදුකර නැත. ශ්‍රීපාද වන්දනාව බොහෝ කොට ලංකාවටම ආවේණික වූවකි. ගෞතම බුදුන්වහන්සේ ලංකාවට වැඩම කළ බවට ඉඟියක් ලැබෙන වජ්‍රාසනය සහ ශ්‍රීපාදය ගෞතම බුදුන් වෙනුවට වන්දනා කළ වස්තු දෙකකි. වජ්‍රාසනය බුදන්වහන්සේ වැඩ සිට ධර්මය දෙසූ ආසනයයි. නළල සහ දෙඅත්ල පොළවට ස්පර්ශ කොට කරනු ලබන වන්දනාව ශ්‍රීපාදය සඳහාම වෙන්වූවකි. ඒ අනුව තලගුරු වෙහෙරේ ගල් පර්වතයේ කොටා ඇති විශාල ශ්‍රීපතුල අනුව මෙම තලගුරු වෙහෙර මිහිඳු හිමියන් ලංකාවට වැඩමවීමට පෙර ඉදිවූවක් විය හැක. තලගුරු කඳු මුදුනේ ගරා වැටී ඇති වෙහෙර නැවත ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබේ. කඳු මුදුනේ එම වෙහෙර නැවත ඉදිවූවොත් දිව්‍ය විමනක් ලෙසින් උඩමළුවට දිස්වෙනු ඇත. වැඩි විස්තර විහාරධිපති හිමි 0715683955 හෝ 0724426401 අමතා ලබාගත හැකිය.

ධම්මදින්න තෙරුන් සතිපට්ඨාන දේශනාව මධුර ලෙස සජ්ඣායනා කර ඇති බවත් එම දේශනාවට සවන් යොමුකර සිටි කිරි වවුලන් පන්සියයකින් යුතු පිරිසක් එම අවස්ථාවේදීම ස්වාභාවික කරුණක් මත මරණයට පත්ව එම ශ්‍රවණානිශංසය හේතුවෙන් මනුෂ්‍ය ආත්ම ලැබ මෙම පිං බිමට පැමිණ පැවිදිව බවුන් වඩා රහත් වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.

කැකිරාව – සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment