මහ බැංකුවේ හැන්ද සහ අපි කන හැටි

642

මහ බැංකු සේවකයන්ගේ විශාල වැටුප් වැඩි වීම රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දී ඇත. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද ලොකු කතාබහක් සිදුව ඇත. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ද පොදුවේ මේ වැටුප් වැඩි වීමට එරෙහිව අදහස් දැක්වුහ. එසේම මේ ගැන ජනසමාජය තුළත් මේ දිනවල ලොකු කතාබහක් ඇත. මෑතක දී මහ බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ වැටුප් විශාල වශයෙන් ඉහළ නංවාගෙන ඇති බව අනාවරණය වීමෙන් පසු බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නේ මහ බැංකුව හැන්ද තමන් අතේම තියාගෙන මෙහෙම තමන්ටම බෙදාගැනීම හරිද යන්නයි. සාමාන්‍ය ජනයාගේ පැත්තෙන් ඇසෙන්නේ ‘අප කන හැටි ළිපා දනී’ යන කියමනට සමාන අදහස්ය. ඇතැම් අය කියා තිබුණේ මේ වැටුප් වැඩිවීම සියයට 70 කටත් අධික බවය. මේ නිසා මේ ඉහළ වැටුප් වැඩි වීම ගැන අමාරුවෙන් ජීවත්වන සාමාන්‍ය ජනයා ප්‍රශ්න කිරීම සාධාරණ බව අපගේ අදහසයි.

ජනතාව සිටින්නේ අධික බඩු මිලකට සහ බදු බරකට මුහුණ දී පාන් කියාගන්න බැරුවය. එසේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා විමසන්නේ තමන්ට ජීවත් වීමට පවා නොහැකි දුෂ්කර තත්ත්වයට පත්ව සිටිය දී මෙහෙම මහ බැංකුව තමන්ටම සුපිරි වැටුප් වැඩිවීමක් කර ගැනීම හරි ද කියාය. රට මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයටය. එහි පීඩාවන්ට මෙන්ම ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාමාර්ග නිසා වන පීඩාවන්ට ද මහජනයාට මුහුණ දීමට සිදුව ඇත. 2022 වසරේ දී පැවති උග්‍ර විදේශ විනිමය හිඟය නිසා තෙල්, ගෑස් ඇතුළු පෝලිම් ඇති වී විදුලිය පැය ගණන් කැපී ජනයාට අත්විඳින්නට සිදු වූ අති දුෂ්කර තත්ත්වය කාටත් මතකය. ඒවා නැවත නැවතත් සිහිපත් කළ යුතු නැත. එහෙත් ඒ අතිශය අමාරු කාලයේ පවා වැඩිම දුකට පත් වූ රටේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාට අද දිනයේ එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ ආර්ථික ප්‍රතිසංස්කරණවල උපරිම බර ද දැරීමට සිදුව ඇත. එසේ තිබියදී මේ අමාරු කාලය, මහ බැංකුවේ නිලධාරීන් ද එම වේදනාව දුක බෙදා ගත යුතු අවස්ථාවක් නොවේ ද ? රට බංකොලොත් වීමෙන් පසු මේ වන විට රට තරමක් දුරට යහපත් තත්ත්වයට පත්ව කිසියම් ආර්ථික ස්ථාවරත්වයක් ඇතිව තිබේ. ඒ සඳහා ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල වැඩිම පීඩාව සාමාන්‍ය ජනයා මත පමණක් පැටවීම සාධාරණ නොවේ. මේ වන විට යම් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති ආර්ථිකය වඩා යහපත් තත්ත්වයට පත් කර ගැනීම සඳහා තවත් බොහෝ දුරක් යෑමට තිබේ. ඒ කාලය තුළ ද සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවල බර වඩාත් සාධාරණ පදනමකට සමාජයේ විවිධ පාර්ශ්වයන් අතර බෙදා හැරීමට පියවරගත යුතු බව අපගේ අදහසයි. එහෙත් මේ කියන වැටුප් වැඩි කිරීමෙන් නම් ඒ සඳහා ආදර්ශයක් ලැබෙන්නේ නැත.

මීට පෙර වර්ෂවල මීට වඩා වැඩි ප්‍රතිශතයන්ගෙන් මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි වී ඇති බව ද අපට දැනගන්නට ඇත. එනම් වර්ෂ 2006 දී සියයට 93 කින් සහ වර්ෂ 2015 දී සියයට 72 කින් ද මහ බැංකු සේවක වැටුප් වැඩි වී ඇත. ඒ නිසා මෙලෙස වැටුප් වැඩි වී ඇත්තේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සමයේ පමණක් නොවේ. එසේම එම කාලවල එම මහ බැංකු සේවකයන්ගේ උපයන විට ගෙවීමේ බදු ගෙවන ලද්දේ මහ බැංකුව විසින්ම වීම ද විශේෂත්වයකි. එහෙත් 2019 වසරෙන් පසුව එම බදු මහ බැංකු සේවකයන් වෙනුවෙන් මහ බැංකුවෙන් ගෙවන්නේ නැත. මහ බැංකුව පැත්තෙන් ඇසෙන මේ කරුණු ද මෙහිදී සැලකිය යුතු වේ. මේ කරුණු ඇතුළු මේ වැටුප් වැඩි කිරීම ගැන සම්පූර්ණ කරුණු පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවට සිදු කිරීමට මහ බැංකුව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇති බව ද දැනගන්නට ඇත. ඒ සඳහා මේ දිනවල මහ බැංකුව සූදානම් වෙමින් සිටින බව ද දැනගන්නට තිබේ. මහ බැංකුව කියන වැටුප් වැඩි කිරීමේ කතාව ගැන සියලු කරුණු ඉදිරියේ දී රටට හෙළිදරව් වනු ඇත. එහෙත් තවමත් රට තිබෙන්නේ සහ ජනතාව ජීවත් වන්නේ ඉතා අමාරුවෙන් නිසා මහ බැංකුවේ මේසා විශාල වැටුප් වැඩි කිරීම ගැන පීඩිත සාමාන්‍ය මහජනයාගේ පැත්තේ සිට කතා කිරීමට බොහෝ දෙනකුට සිදුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment