වැට් බද්ද වැඩි කර ආණ්ඩුවට බිලියන 1700 ක ආදායමක් ලබාගන්න බැහැ

57

2024දී වැට් බද්ද නැවත සියයට 25 ක් දක්වා වැඩි වෙනවා
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක (සජබ)

ආණ්ඩුව සැලසුම් කරන බිලියන 1700 ක ආදායම ලබාගැනීමට වැට් බද්ද වැඩි කිරීම හරහා සිදුකිරීමට නොහැකි බවත් ආණ්ඩුව අපේක්ෂා කරන ආදායම ලබාගැනීමට අනිවාර්යෙන් ජනවාරි මාසයේ වැට් බද්දේ ප්‍රතිශතය නැවත වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඒ අනුව අවම වශයෙන් 2024 දී වැට් බද්ද නැවත සියයට 25 ක් දක්වා වැඩි කරන්න ආණ්ඩුවේ සැලසුමක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ 11දා පැවැති මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා මේ බව පැවැසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේද පැවැසීය.

ආණ්ඩුව ජනවාරි මාසයේ සිට අලු‍තින් භාණ්ඩ 97 ක් සඳහා සියයට 18 ක වැට් බද්ද අය කිරීමට සහ දැනට වැට් බදු අය කරන භාණ්ඩවලට සියයට තුනකින් වැට් බද්ද වැඩිකිරීමේ යෝජනාවට අපි විරුද්ධ වන්නේ ජනතාවට මේ වැට් බදු වැඩිකිරීම හරහා සිදුවන පීඩාව හේතුවෙන්. වැට් බදු වැඩි කිරීමෙන් ජනතාවගේ ජීවන බර ඉවත් ඉහළ යනවා. ආණ්ඩුව බදු අය කරන භාණ්ඩ 97 රටේ සාමාන්‍ය ජනතාව පරිහරණය කරන ද්‍රව්‍යය. පෙට්ට්‍රල් ඩීසල් සඳහාත් මෙම වැට් බද්ද අය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා.

ඩීසල් ලීටරයක් සඳහා වැට් බද්දේ ප්‍රතිශතය සියයට 72 කින් ඉහළ යනවා. ඩීසල් ලීටරයක් රුපියල් 400 වනවිට සියයට 18 ක වැට් බද්ද හතරෙන් වැඩිවෙලා තමයි ඩීසල් ලීටරයක අලු‍ත් මිල නියම වෙන්නේ. ඛණිජ තෙල්වල සූත්‍ර අවශ්‍ය වෙන්නේ නෑ. වැට් බද්ද වැඩිවීම සමඟ අනිවාර්යෙන් ඛණිජ තෙල් මිල ඉහළ යනවා. තෙල් මිල ඉහළ යාමත් සමඟ මහජනතාවගේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම අනිවාර්යෙන් සිදුවෙනවා.

වැට් බද්ද මගින් 2023 අවුරුද්දේ ඉලක්ක කළේ රුපියල් බිලයන 690 ක්. 2024 අවුරුද්දේ වැට් බද්ද හරහා බිලියන 1700 ක ආදායමක් ආණ්ඩුව සැලසුම් කරලා තිබෙනවා. ආණ්ඩුව සැලසුම් කරන බිලියන 1700 ලබාගැනීම වැට් බද්ද හරහා සිදුකරන්න බෑ. ඒ නිසා ආණ්ඩුව අපේක්ෂා කරන බිලියන 1700 ක ආදායම ලබා ගන්න අනිවාර්යෙන් ජනවාරි මාසයේ වැට් බද්දේ ප්‍රතිශතය නැවත වැඩි කළ යුතුයි. අවම වශයෙන් 2024 දී වැට් බද්ද සියයට 25 දක්වා වැඩි කරනවා කියන ඉඟිය තමයි ආණ්ඩුව මේ ලබා දීලා තිබෙන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment