නන්දසේන සූරියආරච්චි, උපාලි පුවත්පත් සමාගමේ වංශ කතාවෙහි පුරාවෘතයකි. හෙතෙම අදින් 43 වසරකට පෙර දිවයින පුවත්පත ආරම්භ කරන අවදියෙහි ඊට මුල් වී ඇපකැපව ක්‍රියාකළ ප්‍රවීණයෙකි. කොටින්ම උපාලි විජයවර්ධන දිවයින පුවත්පත ආරම්භ කරන්නට කල්පනා කරන විට නන්දසේන සූරියආරච්චි සම්බන්ධීකරණයෙන් දායක නොවන්නට අද වනවිට දිවයින නමින් විශිෂ්ට පුවත්පතක් නැත. එමෙන්ම මුද්‍රිත මාධ්‍ය කලාව දිග්විජය කළ කතුවරු රැසක් බිහිවන්නේ ද නැත. ඒ ප්‍රවීණයන් අතර හිඳින දිනපතා දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංකයන් මේ කියන්නේ අපෙන් සමුගෙන ගිය නන්දසේන සූරියආරච්චි පිළිබඳවය.

1977 දී පැවති මහ මැතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත්වීමෙන් පසු ස්ථාපිත කරන ලද මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් පදවිය උපාලි විජයවර්ධන මහතාට පැවරිනි. දිනක් ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියකුව සිටි ඔහු උපාලි විජයවර්ධන මහතා හමුවීමට ගියේ එතුමන් හා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමටය. සිළුමිණ පුවත්පත වෙනුවෙන් එම සාකච්ඡාව පවත්වන අතරතුර උපාලි විජයවර්ධන මහතා තමා තුළ ඇති ප්‍රමුඛ අපේක්‍ෂාවක් පිළිබඳව මාධ්‍යවේදියාව දැනුවත් කළේය.

අලුත් පත්තරයක් පටන්ගන්න මට ලොකු ආශාවක් තිබෙනවා. ඔබට මට උදව්වක් කළ හැකිද? මට ඒ සඳහා හොඳ නියමුවෙකු (දක්‍ෂ කර්තෘවරයකු) මම සොයනවා. උපාලි විජයවර්ධන මහතා තමා තුළ ඇති සැඟවුණ අපේක්‍ෂාව එලෙස දිග හැරියේය.

නිදහස් මාධ්‍ය සම්ප්‍රදායේ පසු කලෙක මුරදේවතාවා බවට පත්වූ ‘දිවයින’ මහ ගෙදර ඇරඹුමේ මහ කතාවට එලෙස අඩිතාලම දැමෙන්නට ඇත. උපාලි විජයවර්ධන මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ කෘතහස්ත පුවත්පත් කලාවේදී නන්දසේන සූරියආරච්චි සහෘදයාණන් දැයෙන් සමුගත් පුවත සැලවූ මොහොතේ එම අතීත කතාව යාන්තමින් මෙන් මගේ මතකයට එයි.

නන්දසේන සූරියආරච්චි අපි බොහෝ විට ඇමතුවේ නන්දේ යන ආදර නමිනි. නන්දේ එදා පළමුව එඩ්මන්ඩ් රණසිංහ නම් වූ අප ගුරු දේවයාණන් පිළිබඳ උපාලි විජයවර්ධන මහතාට කළ යෝජනාව ‘දිවයින’ ගමනක කතාවේ සුභාමත් බව ඉතිහාසයට එකතු කළේය. 1981 ඔක්තෝම්බර් 04 වැනිදා ‘දිවයින ඉරිදා සංග්‍රහ’යේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලියුවේ එතුමන් විසිනි. ‘කවුරුන් ආපසු ගත්තත් මෛත්‍රීට ඉඩක් නෑ’එම ප්‍රධාන සිරස්තලය විය. මෛත්‍රිපාල සේනානායක මහතා සහ ශ්‍රී.ල.නි. පක්‍ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතර තිබූ එදා අර්බුදය එම මුල් පුවතට ප්‍රස්තුත වී තිබිණි. නන්දසේන සූරියආරච්චි අප පත්තරේ ප්‍රථම දේශපාලන වාර්තාකරු ද වූයේය. දේශපාලනයේ සැඟවුණු පුවත්, ගැටුම්, අර්බුද නන්දේගේ පන්හිදෙන් ගිලිහුනේ නැත. එපමණක් ද නොව විශේෂාංග රචනයේ ඔහු තුළ තිබූ බස හැසිරවීම මෙන්ම ගැඹුරු අවබෝධය ද ‘දිවයින’ට ජීවයක් ගෙන දුන්නේය. දේශපාලනය, සාහිත්‍ය, සිනමාව ගැන මෙන්ම කලාකරුවන්, විද්වතුන්, දේශපාලන නායකයන් ගැන ද පුළුල් දැනුමක් ඔහු සතුවිය. ඔහු ලේක්හවුසියේ සිනමා හා කලා විචාරකයකු ලෙසද කටයුතු කළේය. එදා සර් ජෝන් කොතලාවල ගැන ඔහු ලියූ ලිපි පෙළ මෙන්ම දිවයින ආරම්භයේදී කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ, යකඩ ගැහැනිය විවියන් ගුණවර්ධන ආදී සතිපතා විශේෂාංග ලිපි මාලාවන් මෙන්ම රංගවේදිනී අනෝජා වීරසිංහ ගැන ද ඔහු එලෙස ලියුවේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ නන්දේ අතර තිබුණේ දැඩි විශ්වාසවන්ත බවකි. රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක නිවස නන්දේට තම ගෙදර මෙන් වූයේය. එක් අවස්ථාවක මැදපෙරදිග යුද්ධය ආරම්භ වී යුද්ධයට මැදිවූ ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන් රොස්මිඩ් නිවස ඉදිරිපිටට රැස්ව තම පවුල්වල සාමාජිකයන් බේරා දෙන්නට මැදිහත් වන්නැයි ආයාචනය කරන විට මම ද එතැන සිටියෙමි. එහිදී මා සමග සිටි නන්දේව කැඳවූ මැතිනිය කරුණ දැනගත් හැටිත් මට මතකය. තමා එහිලා මැදිහත් වන බව රැස්ව සිටි පිරිසට කියන්නැයි මැතිනිය කීවේ නන්දේටය. මැතිනිය පිරිසට ආචාර කරද්දී නන්දේ ඇගේ පණිවුඩය රැස්ව සිටි සෙස්සන්ට කීවේය.

‘දිවයින’ එවක සමාරම්භක ප්‍රධාන කතෘ එඩ්මන්ඩ් රණසිංහ මහතාත්, දයාසේන ගුණසිංහ, උපාලි තෙන්නකෝන්, දයාරත්න රණසිංහ, ගාමිණි සුමනසේකර, මෙරිල් පෙරේරා, ධර්මරත්න විජයසුන්දර, විමල් වීරසේකර, ගයිරික පේරුසිංහ ආදීන් ද කැටුව වරින් වර එදා ත්‍රස්ත තර්ජන හමුවේ අනාරක්‍ෂිතව තිබූ දිඹුලාගල පුදබිමට මෙන්ම මායිම් ගම්මානවලට මහවැලි යෝජනා ක්‍රමයේ වැඩබිම්වලට මෙන්ම වනවාසී රාහුල හිමිපාණන් ආරක්‍ෂා කරන නාමල් උයන ජාතික සම්පත නැරඹීමට මෙන්ම රැකගැනීමේ සටනටත් රණසිංහ මහතා සමග පෙරමුණ ගත් සෙන්පතියකු වූයේ නන්දේය.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් ලෙස වැඩසිටි කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ කිතලගම ශ්‍රී ශීලාලංකාර නාහිමියන් සමග නන්දේ දැඩි මිත්‍රත්වයකින් පසුවූ වග ද මට සිහිපත් වේ. උන්වහන්සේ එදා දිවයිනට කතා කරන විට සිටි කීපදෙනා අතර නන්දේ සිටි අන්දම රිසීවරය අතට ගත් මම අනන්ත වාරයක් අසා ඇත්තෙමි. දිවයිනට ඔහු තුළ තිබූ අසීමිත ගෞරවය කිසිදු දිනක ඔහු අඩු කළේ නැත. උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාණන්ට මෙන්ම සභාපතිනි ලක්මණි ආර්. වෙල්ගම මැතිනියටත්, සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් ආර් වෙල්ගම මැතිතුමාටත්, දියණිය කරිෂ්මා වෙල්ගම මෙනවියටත් නන්දේ තුළ හැමදාම එම ගෞරවය රැඳී තිබිණි. දිවයින ඉරිදා සංග්‍රහයට වසර 40ක් පිරෙන විටත්, දිනපතා දිවයින උපන් දිනයටත් නන්දේ තම පන්හිද අවදි කළේය. ඔහු යශෝදරා දියණියගේ සහ ධනංජය පුතුගේ ආදරණීය පියාණන් වූහ.

එතුමන් අපෙන් සදහටම සමුගෙන ඇති මේ මොහොතේ නන්දේ විසින් මට වරෙක එවූ පාරාවෝ රජ දවස මිසර කවියකු ලියූ පද්‍ය පංතියක වූ එක කවියකින් මෙම සටහනට නැවතුම තබමි.

පසිඳු වනු මැන සබද දයාවට පඬි බවට
කිසිම දින නොයනු මැන එරෙහි වී හදවතට
දිවි කතර පිය මනිනු පුබුදු මුහුණින් යුතුව
නිදන් වනු මතකයෙහි උතුම් මිනිසකු විලස

දිනපතා දිවයින ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක

සාකච්ඡාවක් ඇසුරින්
සකස් කළේ . එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment