ඩග්ලස් රණසිංහ උපහාර ග්‍රන්ථය සමාජගත වීම නිමිත්තෙන් ඉකුත්දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයේදී පැවැත්වුණු ආරාධිත දේශනය ඇසුරෙනි.

ඩග්ලස් රණසිංහ හැඳින්විය හැක්කේ මහ නළුවෙකු කියාය. රංගන ශිල්පී නිරූපන ශිල්පී යන වචනවලින් නොවේ. ශිල්පීයත්වය ඉක්මවූ තැන මහ නළුවකු බිහිවන්නේය. එදා ග්‍රීසියෙහි නළුවා හැඳින්වූයේ ‘ඉතොපියොස්’(ITHOPOIOS ) යන නාමයෙනි. එහි එක් අර්ථයක් වන්නේ ‘උසස් පුරවැසි’ යන්නය. නළුවා උසස් පුරවැසියකු වන්නේ ඔහු ජීවිතයේ කැඩපත සමාජයේ කැඩපත නිර්මාණය කරන නිසාය. මිනිස්සු ජීවිතය ගැන කතා කරති. නවකතාකරුවා ජීවිතය ලියයි. ජීවිතය රඟපාන්නේ නළු නිළියන්ය. එය අනෙකකුට කළ හැකි නොවේ. එය විස්මිත කාරියකි. ඔවුහු එමගින් සමාජයට රසය නොව ජීවිතාස්වාදය ගෙන දෙති.

හිරුරැස් සිපගන්න ඩග්ලස් රණසිංහ

මේ අපූර්ව මෙහෙවර නිසා තරු මිනිසුන් (STAR PERSON) ලෙස ජනතාව නළු නිළියන්ට ආදරය කරති. නූතන බටහිර විචාරකයින් අපූරු පද යෙදුමක් සදාගෙන ඇත. නළුවකුගේ උපන් දිනය ඔවුන් හඳුන්වන්නේ ‘හිරු උදාවූ දවස’ (Date of Sun Rise ) කියාය. නළුවා මියගිය දවස හඳුන්වන්නේ ‘හිරු බැස ගිය දවස’ (Date of Sun set) කියාය. නළුවා යනු ආලෝක මිනිසෙකි.

සිනමාව දෘශ්‍ය කලාවකි. සාහිත්‍යයකි. එබැවින් සිනමාව පිළිබඳ සාහිත්‍යයක් බිහිවීම ඉතා වැදගත්ය. සරච්චන්ද්‍ර මුතුබණ්ඩා ලේඛකයා රචනා කළ ඩග්ලස් රණසිංහ පිළිබඳ ග්‍රන්ථයක් සමාජගත වීම ගැන ඔහුට සිමා සමාජයේ ගෞරවය හිමිවිය යුතුය. අපේ සමාජයෙහි තවම සිනමා සංස්කෘතියක් සිනමා චින්තනයක් බිහිවී නොමැත. බටහිර TIMS NEWS WEEK WASHINTON POST NEWYORK, GARDIAN) වැනි පුවත්පත් සඟරාවල ඇස් අරවන සීනමා විවරණ ඇතුළත්ය. ඇසිබැම උස්සන සරු අදහස් උදහස් ඇතුළත්ය.

ඉකුත් අඩසියවස තුළ බටහිර සිනමාව හා රංග කලාව පිළිබඳ විශාල පෙරළියක් සිදුවී ඇත. ඩග්ලස් රණසිංහ වැනි මහ නළුවකුගේ විශිෂ්ටත්වය තේරුම් ගත හැක්කේ එම ප්‍රවාදයන් ඇසුරෙන්ය. ඔබ ශිල්පීය නළුවෙක්ද? (METHOD ACTOER) වරෙක මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. ඔහු පැවසුවේ ඉරඑළිය ඇති උත්තරයකි. “….. මම එක්සත් රාජධානියට ගිහින් වසරක් රංග කලා කොලීජියකින් රංගනය හැදෑරුවා. ඒ රංග විධි උපකරණ මම රංගනයේදී භාවිත කරනවා. එහෙත් මම මෙතඩ් ඇක්ටර් කෙනෙක් විදිහට ඒ කොටුවේ නැහැ. නිදහස් ස්වාධීන රංගන විලාශයක මම ඉන්නේ.” අද සිනමා ලොවෙහි ඇත්තේ නළුවාට ‘අභිමත රංග‘ ක්‍රමයයි. (PRIFERD METHOD)

බටහිර රංගන සම්ප්‍රාදය බිහි කළ ස්ටැනිස්ලව්ස්කි ස්ට්‍රාබර්ග් රංගන ශිල්පී ක්‍රම සිඳ බිඳ දැමීමේ පෙරළිකාරයා වූයේ මාලන් බ්‍රැන්ඩෝ නළුවාය. මම මහා රංගන ගුරු ස්ට්‍රාබර්ගේ පුහුණු පාසලේ අවුරුද්දක් ඉගෙන ගත්තා. අන්තිමේදී මට තේරුණා මම කිසිවක් ඉගෙන ගෙන නැති බව. ඒවා හිස් අභ්‍යාස. උදාරණයක්, දවසක් අපට කීවා න්‍යෂ්ටික බෝම්බ අහසින් වැටෙන විට බියගත් කුකුළු රංචුවක් දුව පැන යන සැටි අභ්‍යාස කරන්න කියලා. හැමෝම එක එක ඉරියව්වලින් දුවන්නට පටන් ගත්තා. මම බිත්තරයක් රකින කිකිළියක් වගේ හිටිතැන සිටියා. ඔබ දිව්වේ නැත්තේ ඇයි කියා ගුරුතුමා මගෙන් ඇසුවා. මේ අභ්‍යාස වැඩක් නෑ. ඔහු ඇයි ඇසුවා. මම කීවා මම කුකුලෙක් නේ. න්‍යෂ්ටික බෝම්බ ගැන කුකුලන් දන්නේ මොනවාද කියලා.” ඩග්ලස් රණසිංහගේ රංග ජීවිතයේ විශිෂ්ටත්වය වන්නේත් ඔහු ස්වීය රංග විලාසයක්. (AUTHENTIC ACTOR) නිපදවා ගැනීමට සමත්වීමයි.

‘සන්සුන් රංගනය’(ACTOR COOL – ACTING COOL – ACTING COOL) යනුවෙන් උසස් නළුවකුගේ විශිෂ්ට ලක්ෂණයක් හැඳින්වෙන නව සංකල්පයක් ඇත. නළුවා චරිතයකට ආවේසවීමෙන් භාවාතිශයකට පත්වෙයි. උසස් නළුවා හැඟීම් පාලනයෙන් හැඟීම් ඉවසීමෙන් සන්සුන් වෙයි. මේ කාරණය මා දැක ඇති ලෙස අපේ සිනමා සංවාදවලදී හොඳින් මතුකර ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරි සිනමා වේදියාය. අද බටහිර විචාරකයින් මතුකරන ප්‍රශ්නය වන්නේ මේ ආත්ම පාලන සිදුකර ගන්නේ කෙසේද යන ගැටලුවය. හැඟීම් පාලනය ක්‍රියාවක් නොවේ. හැකියාවක්ද නොවේ. එය ගුණාංගයකි. මේ ගුණාංගය කුමක්ද කියා හඳුනා ගැනීමට හොලිවුඩ් සිනමාවට අවුරුදු 20ක් ගතවූ බව විචාරකයෝ කියති. අන්තිමට මෙය හොඳින් හඳුනා ගැනුණේ සිඩ්නි පොයිට හා ජේම්ස් එරල් ජෝන්ස් යන කළු ඇමරිකානු නළුවන් දෙදෙනා ගෙන්ය. මිසිසිපි මිචිගන් මයාමි ගොවිපළවල අනාථ පවුල්වලින් නිව්යෝක් නුවර ඇවිත් නල ජලය, විදුලි එළිය ජීවිතේ පළමු වරට භුක්ති විඳිමින් පිඟන් සෝදමින් ජීවිතය සෙවූ මේ කළු ගැටවරයින් දෙදෙනා දකින හැම නළු ඇබෑර්තුවකටම පෙනිසිටියේ රංගනයට මහ ආසාවකින්ය. ඒ හැම පරීක්‍ෂණයකින්ම අසමත් විය. ඇතැම් විට දෙදෙනාවම දොරින් පිටට විසිකර දැමුණි. එහෙත් පුදුමයක් සිදුවුණි. අන්තිමේදී අධ්‍යක්‍ෂවරුන්ට පෙනි ගියා මේ …. දෙදෙනා ළඟ යම්කිසි සිත් පැහැරගන්නා’ ගතියක් හැසිරීමක් තිබෙනවා නේද කියා. මේ ගතිය නව විචාරකයින් හඳුන්වන්නේ සාරධර්ම ගුණයක් සංස්කෘතික සාරයක් (MORAL CULTUREL) යනුවෙනි. ඩග්ලස් රණසිංහගේ රංගනයේ ඇතුළාත්ත ගුණයද මෙය වෙයි. එය පිරිසිදු – අහිංසක රංග මහිමයක් වන්නේ ඒ නිසාය. උසස් නළුවා ළමයකු මෙන් නිර්මල විය යුතු යැයි නව විචාරකයෝ කියති.

හිරුරැස් සිපගන්න ඩග්ලස් රණසිංහ
හිරුරැස් සිපගන්න ඩග්ලස් රණසිංහ

උසස් රංගනය ප්‍රතිරංගයකි. නළුවා චරිතයක් උත්පාදනය කරගන්නා අතරම තමාගේ පුද්ගල භාවයක්ද ඒ තුළට එක් කරයි. කිසිම නළුවකුට තම පුදගල චරිතයෙන් ගැලවී සිටිය නොහැකි යැයි කීමේ අරුත මෙයයයි. එය රංගනය අභිරහස ලෙස ද නව විචාරකයෝ කියති. ඕසන් වේල්ස් නම් සිනමා දැවැන්තයා එය විස්තර කරන්නේ ලේසර් ප්‍රතිකාරයක් හා සමානය කියාය. තමාගේ පුද්ගල භාවයේ කිරණ දහරක් රඟන චරිතයට කාවැද්දිමකි. සෑම මිනිසකු තුළම සිටින ඇතුළාත්ත මනුස්සයා එම චරිත නිරූපනයට කැඳවා ගැනීම ඉග්ලස් රණසිංහගේ නිරූපන කලාවේ ප්‍රාතිහාර්යයි. ඔහු ව්‍යාපාරිකයකු, බලධාරියකු ඕනෑම චරිතයක් නිරූපණයේදී ඒ මිනිස් චරිතවල ‘අළු පැහැති’ පෙදෙස්වලට ද ගමන් කිරීමට සමත් වෙයි.

නළුවා හා කැමරාව අතර ඇත්තේ මහා සම්බන්ධයකි. නළුවා රඟපාන්නේ ප්‍රේක්ෂකයා ඉදිරියේ නොව කැමරාව ඉදිරියේය. ‘සමාව නොදෙන කැමරාව’ සතෙකු මෙන් ඉදිරියට එන නළුවාගේ සියල්ල පැහැර ගනී. සළකුණු කළ තැන නැගී සිටින ඩග්ලස් රණසිංහ නළුවා ඒ මොහොතේ කැමරාව ඉල්ලා සිටින කෝනය, කාලය, චලනය, වර්ණය, හැඟීම ඉව ඥානයකින් සපුරාලීමට’ පොහොසත් වන සිටි විස්මය ජනකය.

හිරුරැස් සිපගන්න ඩග්ලස් රණසිංහ

‘මිනිස් මුහුණු හා කටහඬ’ සිනමා කලාවේ ප්‍රබලතම අවි දෙකය. සෛලයන් බිලියන සංඛ්‍යාත මිනිස් මුහුණු හැඟීම් ධාරා වෑහෙන නයගරාවකි. ඩග්ලස් රණසිංහ මුළු ශරීරයෙන්ම රඟපාන නළුවකු බව ඔහුගේ නිරූපනයන් සියුම්ව පරීක්‍ෂා කරන්නෙකු දැක ගනී. ඉහළ නළුවාගේ ‘කටහඬ’ ද රඟපාන්නේය. (VOICE ACTING) ලොව කටහඬ පිළිබඳ මහාර්ඝ නිදර්ශනය වන්නේ ජේම්ස් එරල් ජෝන්ස් කළු ඇමරිකානු නළුවාය. ඔහුගේ මුවින් පිටවන වචනය ඒ මොහොතේම නරඹන්නාගේ සිතේ ‘රෙජිස්ටර්’ වන බව විචාරකයෝ පෙන්වා දෙති. ඔහුගේ මුවින් පිටවන්නේ වචන නොව ඉගිල්ලෙන කුරුල්ලන් යැයි හැඟී යයි. ඩග්ලස් රණසිංහ ගේ කටහඬ තරංග තල කීපයක උස් පහත් වෙයි. ‘ විහඟ ගීතය’ නම් මා හැඟි ‘මාලා නාටකයේදී වීණා ජයකොඩි – ඩග්ලස් රණසිංහ ප්‍රධාන චරිත යුගලයේ දෙබස් කථනය හැඳින්විය යුත්තේ VERBLE FIGHT යන රංග භාෂාවෙනි. එහිදී වීණා ජයකොඩි නිළිය ජේන් ෆොන්ඩාගේ විස්මිත රංගනයට සමපාත වෙයි.

සිනමා සංස්කෘතියක් – සිනමා චින්තනයක් ගොඩනැඟී නැතද අපට සිනමාව හා සමාජය මානුෂීකරණය කළ උසස් නළු නිළි පරපුරක් ඇත. ඩග්ලස් මෙන්ම රවීන්ද්‍ර, මහෙන්ද්‍ර, කමල්, සනත්, ශ්‍රියන්ත වැනි නළුවන්ද වීණා මෙන්ම චාන්දනී, ස්වර්ණා, අනෝජා, නීටා, නිල්මිණි වැනි නිළියන්ද රංගනයේදී ජාත්‍යන්තර ප්‍රමිතියට සමාපාත වෙති.

ඩග්ලස් රණසිංහ දිගටම ඔරුව පැදගෙන යන වීර මිනිසෙකි. ඔහු කාලය සමඟ අපේ සිනමාවේ පුරා වෘත්තයක් බවට පත්වනු ඇත. ඔහු පිටිපස්සේ සිටින්නේ හිරු රැස් මැදය.

● පරාක්‍රම කොඩිතුවක්කු

advertistmentadvertistment
advertistmentadvertistment