පරුෂ වචනයෙන් බැණ වැදුණැයි පුතාගේ කට පිළිස්සූ මවට ඇප

79

මවට අසභ්‍ය වචනයෙන් බැණවැදුන අවුරුදු තුනක් වයසැති තම පිරිමි දරුවාගේ කට ගිනිකූරකින් පිළිස්සූ අම්මාව දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර අම්මාට තරයේ අවවාද කළ මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය සැකකාර අම්මාව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපමත මුදාහරින ලෙසට ඉකුත් 27 වෙනිදා පස්වරුවේ නියම කළාය.

දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එක්දරු මවක් මෙසේ ඇපමත මුදාහැරුණි.

අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු දරුවාව රුපියල් ලක්ෂ දෙකක බැඳුම්කරයක් මත පියාට මුදා හරින ලෙසට අධිකරණය මගින් නියම කළේය. දරුවා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් පරිවාස නිලධාරී වෙත වැඩිදුරටත් නියම කෙරුණි.

මව දරුවා සහ පියා එකම නිවසක පදිංචිව සිටින බව පොලිසිය පැවසීය. පවුලේ එකම දරුවා වූ මෙම පිරිමි දරුවා නිවසේ දී සහ වෙනත් ස්ථානවලදී අසභ්‍ය වචනයෙන් මවට සහ පියාට බැණවදින බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

මවට ඉතා පහත් අන්දමින් දරුවා අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති අතර එම අවස්ථාවේ දී දරුවාට එසේ නොකරන ලෙසට බිය ගැන්වීම සඳහා මව විසින් ගිනිකූරක් පත්තු කර දරුවාගේ කට ප්‍රදේශයට ළං කළ අවස්ථාවේ දරුවාගේ කටේ එම පත්තු කරන ලද ගිනිකූර වැදී පිළිස්සී ඇති බව අධිකරණයේ දී වැඩිදුරටත් සඳහන් විය.

එළැඹෙන ඔක්තෝම්බර් මස 03 වැනිදාට මවට, පියාට සහ දරුවාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණයෙන් නියම කෙරුණි.

දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතාගේ උපදෙස් මත නඩු මෙහෙයුම් අංශයේ සැරයන් පුෂ්පකුමාර (49113) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment