ගුටිකන දියණිය බේරන්න ගිය පියාට බෑණා මැරෙන්නම ගහලා

152

නිවසේ කාමරයක් තුළ බෑණා තම දියණියට පොලු මුගුරුවලින් පහර දෙද්දී එය බේරීමට ගිය පියාට බෑණා විසින් අමානුෂික ලෙස පහරදී ඊයේ (28) පස්වරුවේ ඝාතනය කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

සැකකරු පලා ගොස් ඇත. එසේ පලා ගිය ‘වඩු චමින්ද’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ, අලුතැපොල, වෙලේ පාරේ පදිංචි 74 හැවිරිදි ජයසිංහ ආරච්චිගේ ප්‍රේමරත්න නමැති අය මෙසේ ඝාතනය කර තිබේ. සැකකරු ඝාතනයට ලක්වූ අයගේ දියණිය සමග එකට ජීවත් වී ඇති බව පොලිසිය පවසයි. වසර ගණනක් එසේ එකට ජීවත් වී දරුවකු ද සිටිය ද නීත්‍යනුකූලව විවාහ වී නැති බව ද හෙළිවී ඇත. ඝාතනයට ලක්වූ අයගේ දියණිය තම දරුවා සමග පියාගේ නිවසේ පදිංචිව සිටින බවත් සැකකරු විවිධ ස්ථානවල නැවතී විවිධ රැකියා කරන්නකු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරු ඊයේ (28දා) දහවල් බිරිඳ සිටින අලුතැපොල නිවසට පැමිණ ආරවුලක් ඇතිකර ගෙන තිබේ. එම ආරවුල දුරදිග යෑමේදී සැකකරු පොලු මුගුරු රැගෙන කාමරය තුළට ගොස් බිරිඳට මෙසේ පහරදී ඇතැයි පොලිසිය පවසයි. ඇය බේරීමට මැදිහත් වූ පියාට පහරදී මෙසේ ඝාතනය කර ඇත.

ඝාතනයට ලක්වූ අයගේ මළ සිරුර මිනුවන්ගොඩ මහ රෝහලේ තැන්පත් කර ඇති අතර අද (29 දා) මහෙස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්. පී. එස්. ජයලත්, උ. පො. ප. ජයවර්ධන, සැරයන් සුසන්ත (55474) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් එම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment