සීනි පාලනයට අඩු වියදම් ආහාර වේලක්

5649

පවතින දැඩි ආර්ථික අර්බුදයත් සමඟ අප බොහෝ දෙනාට තම ජීවන රටාව වෙනස් කර ගැනීමට සිදුව ඇත. එහිදී බොහෝ දෙනා පළමුව වෙනස් කරගෙන ඇත්තේ තම ආහාර රටාවය. ඇතැම් දෙනා ප්‍රධාන ආහාර වේල් තුනින් එකක් නොගනිති. එසේම තම කෑම වේලටද වෙනදා එක්කර ගත් එළවළු මාළු පිනි අඩුකර ඇත. මෙලෙස ආහාරපාන අඩුකර ගැනීම නිසා බොහෝ දෙනාගේ ආහාර පිගානේ ඇත්තේ පිෂ්ටය බහුල ආහාර වර්ග පමණි. මෙය අපගේ නීරෝගී සෞඛ්‍යයට හිතකර නැත. සිරුරට වැඩිපුර පිෂ්ඨය ලැබීමෙන් දියවැඩියාව රෝගයට ගොදුරු විය හැකිය.

එනිසා පවතින ආර්ථික අහේනිය හමුවේ නිසි පෝෂණයෙන් යුත් ආහාර වේලක් සකසා ගැනීමට අවධානය යොමුකළ යුතුය. එසේ නොවුනහොත් දියවැඩියාව වැනි රෝග වලට පහසුවෙන්ම ගොදුරු විය හැකිය. එවිට එම රෝග පාලනය සඳහා ඖෂධ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවීමෙන් තවත් ආර්ථික ගැටලු මතුවේ.

නිසි පෝෂණයෙන් යුත් ආහාර වේලක්

අපගේ නීරෝගී සෞඛ්‍ය සඳහා පිෂ්ටය, මේදය, ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවන යන ප්‍රධාන පෝෂක ද්‍රව්‍ය අවශ්‍යය. එබැවින් මේ සියල්ල ලබාගත හැකි ආහාර වේලක් ලබා ගැනීමට අවධානය යොමු කළ යුතුය.

පිෂ්ටය බහුල ආහාර

බත්, පාන්, අල වර්ග, කොස්, දෙල්, පරිප්පු

ප්‍රෝටීන් බහුල ආහාර

සෝයා ආහාර, මාළු, මස්, බිත්තර

මේදය බහුල ආහාර

පොල්තෙල්, පොල්, බටර්, චීස්

විටමින් බහුල ආහාර

එළවළු, පලාවර්ග, පලතුරු

පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා ගැනීම

උදෑසන ආහාර වේල කඩල, මුං ඇට, කවුපි වැනි ධාන්‍ය වර්ගයක් ආහාරයට ගන්නේ නම් ඊට පොල් මිශ්‍ර කර ගැනීම සුදුසුය. මෙම ධාන්‍ය වර්ගවල වැඩිපුරම ඇත්තේ පිෂ්ටය බැවින් පොල් එක්කර ගැනීමෙන් මේදයද ලැබේ. ධාන්‍ය වර්ගවල යම් ප්‍රමාණයක් ප්‍රෝටීන්ද සහිතය.

දිවා ආහාරයට බත් එක්කර ගන්නේ නම් එය සමඟ පොලොස්, මාළු, බිත්තර, එළවළුවක්, පලා වර්ග ආදිය එක්කර ගැනීම සුදුසුය. නමුත් ඊට කොස්, දෙල්, මඤ්ඤොක්කා අල වර්ග වැනි පිෂ්ටය අධික ආහාර වර්ග එක් කර ගැනීම නොකළ යුතුය. ඒවා තම ප්‍රධාන ආහාර වේලක් ලෙස භාවිත කළ යුතුය. එනම් බත් වෙනුවට කොස්, දෙල්, මඤ්ඤොක්කා යොදා ගත හැකිය. බොහෝදෙනා පවතින එළවළු මිල ගණන් හමුවේ මෙම ආහාර එළවළු ලෙස යොදා ගනිති. එය නොකළ යුතුය. ඉන් පිෂ්ටය අධික ආහාර වේලක් සැකසේ.

අප බොහෝ දෙනා කෑමට හුරුව ඇති ආහාරයක් බවට පාන් සහ පරිප්පු පත්ව ඇත. පරිප්පු වල වැඩිපුරම ඇත්තේ පිෂ්ටය බැවින් මෙම ආහාර රටාව නිතරම අනුගමනය නොකළ යුතුය. පාන් සමඟ බිත්තරයක්, සම්බෝල වැනි දෙයක් යොදා ගත යුතුය. සම්බෝල වල මේදය බහුලය. බිත්තර වල ප්‍රෝටීන් බහුලය. ඉන් සිරුරට පිෂ්ටය එක්වීම පාලනය කරගත හැකිය.

එළවළු වර්ග ආහාරයට ගැනීමේදී කොළ පැහැති එළවළු වර්ග ගැනීම මගින් සිරුරට පිෂ්ටය එක්වීම සීමා කළ හැකිය. එහිදී පලා වර්ග වැඩිපුර ආහාරයට ගැනීම ගුණදායකය. ගොටුකොළ, මුකුණුවැන්න, තම්පලා, කලවම් මැල්ලුමක් ආදිය ආහාර වේලට වැඩිපුර එක්කරගත හැකිය. වට්ටක්කා, බීට් වැනි එළවළු වල පිෂ්ටය බහුලය. ඒවා නිතර ආහාරයට නොගත යුතුය.

සෝයා ආහාරවල ප්‍රෝටීන් බහුලය. එනිසා සෝයා ආහාර නිතර ආහාර වේලට එක් කර ගැනීම සුදුසුය. පොල් සම්බෝලයද ඉතා පෝෂ්‍යදායී ආහාරයකි.

සීනි භාවිතය සීමා කිරීම

සීනි වලින් අපගේ සිරුරට ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට් පමණි. එනම් පිෂ්ටය පමණි. එනිසා සීනි භාවිතය අත්‍යවශ්‍ය නැත.

තේ, කෝපි ආදිය පානය කරන විට ඊට සීනි එක්කර ගැනීම නතර කළ යුතුය. ඒ වෙනුවට අවශ්‍ය නම් කිරි එක්කර ගත හැකිය. තේ පානය සඳහා දෙහි, කුරුදු ආදිය මිශ්‍ර කළ හැකිය. මෙමගින් සිරුරට එක්වන සීනි ප්‍රමාණය බොහෝ සේ පාලනය කර ගත හැකිය.

අප පලතුරු ආහාරයට ගන්නේ අතුරුපස ලෙසය. පලතුරු වලද වැඩිපුර ඇත්තේ පිෂ්ටයය. එබැවින් එය රාත්‍රි ආහාර වේලක් ලෙස භාවිතා කළ හැකිය. එතරම් වෙහෙසකර දිවියක් ගත නොකරන අයෙකුට උදෑසන ආහාරය ලෙස කෙසෙල් ගෙඩියක් සහ බිත්තරයක් ආහාරයට ගැනීමද ප්‍රමාණවත්ය.

මෙලෙස අප ආහාර වර්ගවල ඇති පෝෂණය හඳුනාගෙන නිසි කළමනාකරණයකින් යුතුව ආහාරයට ගතහොත් සිරුරට අධික ලෙස සීනි එක්වීම පාලනය කරගත හැකිය. පෝෂ්‍යදායී ආහාර වේලක්ද සකසා ගත හැකිය.

සීනි පාලනයට අඩු වියදම් ආහාර වේලක්

කොළඹ ජාතික රෝහලේ
අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය
විද්‍යාජෝති ප්‍රසාද් කටුලන්ද

advertistmentadvertistment
advertistmentadvertistment