පිරිත යනු කුමක්ද?

885
අනාදිමත් කාලයක් පුරා බොදු ජනතාව, පමණක් නොව බොහෝ දෙනා දුක සැප දෙකෙහිම ආශිර්වාදය ලබනු ලබන්නේ පිරිත තුළිනි. එකී ආශිර්වාදය ලැබීමේදී මූලික වශයෙන්ම අවබෝධය බෙහෙවින් ඉතා වැදගත් වනු ඇත. බුද්ධ භාෂිතය ලෙස ගැනෙන පාලි භාෂාව මුල්කර ගත් පිරිත සැබෑ ලෙසම ආරක්‍ෂාව රැකවරණය හා යහපත පුද්ගලයාට උදාකරන බුද්ධ මන්ත්‍රයකි. මේ තුළින් දෙලොව යහපත උදාකර ගැනීමෙහිලා පෙළඹෙන බොහෝ දෙනාට අවශ්‍ය විය යුතු ප්‍රධානතම සාධකය වන විශ්වාසය හා අවබෝධය නොමැතිව ක්‍රියා කිරීම තුළ සිදුවන්නේ නිරර්ථයකි. මේ නිසා පිරිත යනු කුමක්ද? යන්න බුද්ධිමත් ලෙස වටහාගෙන ක්‍රියා කිරීම පුද්ගල අභිවෘද්ධිය සඳහා හේතු වන්නකි.

පාලි භාෂාවෙන් “පරිත්තං” යනුවෙන්ද සංස්කෘතික භාෂාවෙන් “පරිත්‍රාණ” යනුවෙන්ද සිංහල භාෂාවෙන් “පිරිත” යනුවෙන් දැක්වෙති. එලෙස භාෂා තුනකින් දැක්වුවද ඒ සියල්ලටම ඇත්තේ එකම අර්ථයකි. එනම් ආරක්‍ෂාව යන්නයි. මේ අනුව පැහැදිළි වන්නේ පුද්ගලයාට යහපත සඳහාම ආරක්‍ෂාව හේතු සම්පන්න වන බවයි. අප ගෞතම බුදුන් වහන්සේ අසනීප වූ විටද දේශනා කරනු ලැබුවේ මෙකී පිරිතයි. එසේම මහ රහතන් වහන්සේලා ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලාට විවිධ ආබාධ අසනීප වූ විට දේශනා කරනු ලැබුවේ ද පිරිතයි. ගිහි ජනතාවටද උපතේ සිට ජීවිතයේ විවිධ අවස්ථාවන් තුළ ආශිර්වාදය ලබනු ලැබුවේ මෙකී පිරිත මුල්කොට ගෙනය. මේ අනුව පාලි භාෂාවෙන් දේශිත මෙම ආරක්‍ෂක දේශනාව ගිහි පැවිදි සියලු දෙනාටම යහපත සඳහාම වූවක් බව මනාව සනාථ වනු ඇත.

“නක්ඛත්ත යක්‍ඛ භූතානං
පාපග්ගහ නිවාරණං
පරිත්තස්සානු භාවේන
හන්තු තේසං උපද්දවේ”

යන දේශනාවට අනුව දැක්වෙන්නේ නැකැත් දෝෂ, යක්‍ෂ භූත පිසාච ආදී දෝෂ, පාප ග්‍රහයන්ගෙන් ඇති වන කරදර බාධක දුරුකර ගැනීම සඳහා පිරිත හේතු වන බව ඉහත ගාථවෙන් දක්වා ඇත. එපමණක් නොව,

සබ්බ දුක්‍ඛා – සියලු දුක්
සබ්බ රෝගා – සියලු රෝග
සබ්බ භයා – සියලු භය

දුරුකර ගැනීමට ඉවහල් වන එකම බුද්ධ මන්ත්‍රය වන්නේ පිරිතයි. මෙකී ආරක්‍ෂක දේශනාව දේශනා කිරීමේදී ද නිවැරදි උච්ඡාරණය කිරීම හා ශබ්ද නැගීම බොහෝ සෙයින් ගුණදායකය. එකී ඡන්දස් අලංකාර මනාව අනුගමනය කොට පිරිත් දේශනා කිරීම පුද්ගලයාට පමණක් නොව මුළු මහත් පරිසරයටම යහපත සඳහාම හේතු වන මහානුභාව සම්පන්න ආරක්‍ෂක දේශනාවයි.

මහා විහාර සම්ප්‍රදායට අනුව සම්පාදිත පිරුවානා පොත් වහන්සේ තුළ ඒ ඒ බණවර වලට බෙදා ඇති පරිත්‍රාණ දේශනාවෙහි ගැබ්වී ඇත්තේ සියලු සත්ත්වයාට මෛත්‍රිය පතුරවමින් දෙලොව දිවි මග අභිවෘද්ධිය උදාකරන දේශනාවයි. එක් බණවරයකට අකුරු අට දහසක් ඇතුළත් වන අතර සෑම සූත්‍ර දේශනාවක් තුළම ඇතුළත්ව ඇත්තේ ඉහත සඳහන් පරිදි ආරක්‍ෂාවයි. මෙය දේශනා කිරීමේදී පමණක් නොව ශ්‍රවණය කිරීමේදී ද යෝනිසෝ මනිසිකාරයෙන්ම සිදුකළ යුත්තකි. බුදුන් වහන්සේ දේශනා කරන ලද සූත්‍ර දේශනාවලට අමතරව ශ්‍රාවක සංඝයා දේශිත සූත්‍ර දේශනා ද මෙහි ඇතුළත්ය.

එපමණක් නොව පසුකාලීනව පාලි භාෂාව පිළිබඳ මනා උගත් යතිවරයන් විසින් සම්පාදනය කරන ලද විවිධ ආරක්‍ෂක දේශනා ද අප පිරිත යන නාමයෙන් භාවිතා කරනු ලබති. අංගුලිමාල පිරිත ගැබිනි මව්වරුන් උදෙසා දේශනා කරන ලද්දක් වන අතර අංගුලිමාල මහ තෙරුන් විසින් සිදුකරන ලද අධිෂ්ඨානයකි. එය එදා සිට අද දක්වාම දරු ප්‍රසූතියට පෙර දේශනා කරනු ලබන්නේ අන් කිසිවක් නිසා නොව එහි ඇති මහානුභාව සම්පන්න බව නිසාවෙනි. මහා මංගල, රතන, කරණීය මෙත්ත තුළ ඇතුළත් වන්නේ පුද්ගලයාට අවශ්‍යකරනු ලබන ආරක්‍ෂාව හා රැකවරණයයි. එසේම පිරිත් දේශනා කිරීමේදී පැන්, නූල්, තෙල් ආදිය තුළින් පුද්ගලයා බලාපොරොත්තු වන්නේ සැබෑ ලෙසම යහපතයි. ඒ සඳහා අවබෝධය හා විශ්වාසය බෙහෙවින් වැදගත් වන අතර එය නොමැති කල පිරිත තුළින් ලැබෙන සැබෑ ප්‍රතිඵලය නොලැබෙනු ඇත.

සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවන්තන්තරායෝ සුඛී දීඝායු ඛෝ භව”

සියලු රෝග දුරුවී තෙරුවන්ගේ ආශිර්වාදයෙන් දිඝාසිරි ලැබේවයි යන්න පිරිත් දේශනාව අවසානයෙහි පතනු ලබති. දෙවියන්ට ආරාධනා කොට පිං දීම් සිදු කොට මහත් ගෞරවයෙන් බොහෝ දෙනා සිදුකරනු ලබන මෙකී ආරක්‍ෂක දේශනාව තුළ ගැබ්වී ඇති මහානුභාව බලය නිසාම සියලු දෙනාට යහපත උදාවෙති. මේ නිසා අනවබෝධයෙන් තොර අවබෝධය මුල්කොට ගෙන ක්‍රියාකිරීම තුළින් ගිහි පැවිදි බොහෝ දෙනා බලාපොරොත්තු වනු ලබන ආරක්‍ෂාව රැකවරණය ලබාගැනීමට ඉවහල් වන අතර එය දෙලොව සැනසීම සඳහා හේතුවනු ලබති. ඒතේන සච්චේන සුවත්‍ථි හෝතු!

දර්ශනපති
කනංකේ විජිතනන්ද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment