මනාලියන් සුන්දර වුව ද මනා ලියන්නන් තුළ ඔවුන් පරයන සුන්දරත්වයක් ඇත. මනාලියන් ඇසින් කියන දේ බොහෝ ය. මනා ලියන්නන් බසින් ලියන දේ බොහෝ ය. මොනාලිසාගේ මඳහස තුළ බොහෝ අරුත් සැඟව ඇත. මනා ලියන්නාගේ හදබස තුළ ද බොහෝ අරුත් සැඟව ඇත. කැත්ලීන් ජයවර්ධන මනා ලියන්නියකි. ඇය ලියන වදන් සුන්දර ය; මනහර ය; හරබර ය; රසබර ය. සත්‍යකාමයෙන් පණ පෙවුණු චින්තන ධාරා ඇගේ ලිවිසැරිය යන්නේ කාලයේ මරියාදා අතික්‍රමණය කරමින් ජීවිතය විනිවිද යන අකාල යාත්‍රා විලසිනි. සැබවින් ම ඇය මෙරට සාහිත්‍යයේ මහා ලේඛිකාවකි; නවකථාවට නැවුම් අරුත් සහ නව්‍ය ආකෘති එක් කළ ලේඛිකාවකි. සාහිත කෙතේ අකුරු බිජුවට වපුරමින් සරු අහුපෑවතක් සහෘදයාට නෙළා දුන් ඇය තවමත් එම කාර්යභාරය නිමා කොට නැත. මා මෙම පූර්විකා සටහන තබන්නේ ඇගේ නවතම නවකථාව වන ‘ද්‍රෝහී’ කෘතිය පිළිබඳව මගේ අදහස් දැක්වීමට ප්‍රවේශයක් වශයෙනි.

පැණැසින් ලොව දෙස බලන්නෝ සැබවින් ම දුර්ලභ වෙති. පැණැස යනු ප්‍රඥා ඇස ය. එය ඇත්තේ කෙලෙසුන් නැසූ මුනිවරුන් තුළ ය. එබැවින් මම කැත්ලීන් ජයවර්ධනගේ නිර්මාණ විමසා බැලීමට ඒ ලොව්තුරු වදන වෙනුවට පෑනැස යන වදන යොදා ගනිමි. එනම්, පෑනේ ඇස යන්න ය. කැත්ලීන්ගේ පෑනැස තියුණු ය; කිසිවකුට නොපෙනෙන, කිසිවකු නොදකින ජීවිතයේ ගුප්ත ස්ථාන විනිවිද දකිනසුලු ය.

සිංහල නවකථා ක්ෂේත්‍රය තුළ දාර්ශනික ධාරාවේ නිර්මාණ ඉතා දුර්ලභ ය. එවැනි නවකථා ලිවිය හැක්කේ සියුම් නිරීක්ෂණයක් සහ ගැඹුරු චින්තනයක් ඇති ලේඛක ලේඛිකාවන්ට පමණි. කැත්ලීන් ජයවර්ධන යථෝක්ත අංගවලින් පිරිපුන් ලේඛිකාවකි. ඇගේ විශිෂ්ටතම නවකථාව (Magnum Opus) ලෙස මා පෞද්ගලිකව සලකන ‘සත්‍යකාම’ දාර්ශනික ගම්භීරතාවෙන් පොහොසත් රමණීය ගද්‍ය කාව්‍යයකි. සුන්දර බස් වහරත්, අර්ථ ගම්භිරතාවත් මනාව ගැබ් වූ අපූරු නිර්මාණයක් වූ එය බුදු දහමේ ඉගැන්වෙන යථාභූතය දාර්ශනික සහ කලාත්මක ලෙස විවරණය කරන්නකි. සියලු අංගෝපාංග සමමිතිකව පිහිටීම නිසා කුමන මානයකින් බැලුව ද එය පරිපූර්ණ නිර්මාණයකි. සත්‍යකාම චරිතය අපට මුලින්ම හමු වන්නේ ඡාන්දෝග්‍ය උපනිෂද් ග්‍රන්ථයෙනි. ඔහු මෙන්ම කැත්ලීන්ගේ සත්‍යකාම ද බ්‍රාහ්මණ පුත්‍රයෙකි. එහෙත් කැත්ලීන් සත්‍යකාම නිරූපණය කොට ඇත්තේ ප්‍රේමය සොයා ආධ්‍යාත්මික චාරිකාවක යෙදෙන අපූරු ප්‍රේමවන්තයකු ලෙසිනි. අන් අයුරකින් කියතොත් එය සත්‍ය සොයා යන සෞන්දර්ය චාරිකාවකි.

ඉන් පසු ඈ ලියූ ධාරා සහ අකාල යාත්‍රා නවකථා යුගළය තුළ ද බුදු දහමේ කිරණ කදම්බ පතිත වුව ද එම කෘති තුළින් මූලිකව ඉස්මතු වන්නේ ආධ්‍යාත්මික චින්තනය සමකාලීන සමාජ යථාර්ථය හා මනාව ගළපා ඉදිරිපත් කෙරෙන මනුෂ්‍යත්වය පිළිබඳ ඇගේ සමාජ දර්ශනයයි. ජීවිතය සහ ලෝකය දාර්ශනික ලෙස අවලෝකනය කරන ලේඛිකාවකගේ සියුම් නිරීක්ෂණයන් සහ පරිකල්පනයන් මෙම නවකථා ඔස්සේ අපට හමු වෙයි. අන්තර්ගතය, දෘෂ්ටිකෝණ හා චරිත නිරූපණය යන විවිධ නවකථාංග සම්මතය අතික්‍රමණය කරමින් ඉදිරිපත් කිරීම නිසා සමස්ත සන්දර්භයම පෙර නොවූ විරූ මුහුණුවරක් ගනියි.

‘ද්‍රෝහී’ විපරිත පුද්ගලත්වයෙන් දූෂිත සමාජ සංස්ථාව කැබලිවලට කැඩී බිඳී යෑමේ ඛේදවාචකය පිළිබඳ ධාරා සහ අකාල යාත්‍රා ඔස්සේ කැත්ලීන් ඇරඹූ ගවේෂණාත්මක විවරණයේ තවත් මෙහෙයුමකි. එය විවිධ පැතිකඩ ඔස්සේ දිවෙන නවකථාවකි. එහි මුඛ්‍ය අර්ථය සමාජ දේහය ඛාදනය කරන ද්‍රෝහී මිනිස් කුණපයේ ජුගුප්සාජනක බව ප්‍රතීයමාන කිරීමයි.

සෙස්සන් පය ගසනු තබා පය ගැසීමට සිතන්නේ වත් නැති තැන්වල පය ගසන ඇය, සෙස්සන් අත ගසනු තබා අත ගැසීමට සිතන්නේ වත් නැති කාර්ය සාධනයනට අත ගසයි. බොහෝ මානවවාදීන් පමණක් නොව බොහෝ ලේඛකයන් ද පෙනී සිටින්නේ මානව වර්ගයා සඳහා පමණි. යුක්තිය පසිඳලිය යුතු වන්නේ මනුෂ්‍ය වර්ගයාට පමණක් යැයි සිතන ඔවුහු මේ මිහි පිට වසන සතසහස්සුවහස් සංඛ්‍යාත සත්ත්ව වර්ගයා මුළුමනින්ම අමතක කරති. එසේ වුව ද රුදුරු මිනිසා අතින් වධ වේදනාවන්ට ගොදුරු වන අසරණ සත්ත්ව ප්‍රජාව වෙනුවෙන් මේ ධර්ම ද්වීපයේ පහළ වූ කැත්ලීන් නමැති ලේඛිකාවගේ ලෙය සහ ළය කකියයි. ධාරා, අකාල යාත්‍රා සහ ද්‍රෝහී හරහා ඇය එම සතුන් වෙනුවෙන් හඬක් නඟන්නේ සාහිත්‍ය නමැති අධිකරණයේ පෙනී සිටින නීතිඥවරියකගේ විලාසයෙනි.

“ආගමික පිළිවෙත් හා ආගමික මිනිසුන් පිළිබඳ පරස්පර විරෝධී කතාවේ මුල් ම නිදසුන ඔහුට සම්පාදනය කර තිබුණේ ඔහුගේ ම අම්මා ය; සුපිරිසිදු සුදු වතින් සැරසී, බෝමළුවේ හිඳ සිටි අම්මා කිහිප වාරයක දී ම කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනය කරමින්, උපන් නූපන් සියලු සතුනට මෙත් වැඩුවේ ප්‍රණීත මස් බැදුමකින් උදරය පුරවාගෙන ය.”

(ද්‍රෝහී -109 පිටුව)

නිර්ආගමික බුද්ධිමතකු (ලෞකික අර්ථයෙන්) වූ ක්‍රිෂ්ණ සතුන් වෙනුවෙන් බෝධි පූජාවක් පැවැත්වීමට අස්සජී හිමියන්ට යෝජනා කරයි. එය රටට පෙනෙන්නට, රට්ටුන් රවටන්නට මහා පරිමාණයෙන් පිංකම් කරන්නන්ට එල්ල කළ හීන්සැරයකි. මෙය නමින් පමණක් උත්කෘෂ්ට ලේබලය අලවාගෙන නිකෘෂ්ට න්‍යායෙන් හැසිරෙන මිනිසාගේ අවධානයට හසු විය යුතු ය.

නවකථාවේ මුඛ්‍ය චරිතය වන ක්‍රිෂ්ණ ආලකමන්දාවේ පැවති බාබකියු සාදයේ දී අසන පැනය බැලූ බැල්මට අසික්කිත වූව ද ඊට යටින් ඇති ශික්ෂිත බව දැකිය හැක්කේ ඊනියා ශිෂ්ට මිනිසාගේ අශිෂ්ට බව විනිවිද දැකිය හැකි අයකුට පමණි.

“මිනිස්සු මිනීමස් පරිභෝජනයට නොගන්නෙ ඇයි?”

“මිනිස්සු ම්ලේච්ඡයෝ වගේ මිනීමස් කෑවෙ ගෝත්‍රික යුගවලදී? දියුණු මිනිහා තමන්ගෙ වර්ගයා මරාගෙන කන්නෙ නෑ…”

“ඒකට කියන්නෙ වර්ගවාදෙ කියල ද?”

ලියන්, මනාලියන් සහ මනා ලියන්නන් හඳුන්වා දෙන 'ද්‍රෝහී'

(ද්‍රෝහී -18 පිටුව)

‘ද්‍රෝහී’ නවකථාව ඇරඹෙන්නේ එහි ප්‍රධාන කාන්තා චරිතය වන ශිරෝමි වෙරෝනිකා ආත්ම භාෂණයක යෙදෙන පරිච්ඡේදයකිනි. පුරුෂාධිපත්‍යයේ පරුෂ ප්‍රහාරයෙන් පීඩිත ව පරාරෝපිත වූ ඇයට ජීවිතය එපා වෙයි. සිය දිවි නසා ගැනීමේ සිතිවිලි ඈ තුළ පහළ වන්නේ එහෙයිනි. ශිරෝමිට තම සැමියා වන අනුහස් දැනෙන්නේ අනුහසක් ලෙස නොව අණසකක් ලෙස ය. ඔහු ධන කුවේරයකු ලෙස දේශපාලනය දිග්විජය කිරීමට පැමිණි කෞටිල්‍ය මාන්නප්පෙරුමගේ පුත්‍රයා ය. කැත්ලීන් එම චරිතයට නම් තබා ඇත්තේ ද අර්ථ සම්පන්නව ය. කෞටිල්‍ය යනු කුටිල බව යන අරුත් ඇති වදනකි. එනම් වංක බවයි. කෞටිල්‍ය නමැති පුරාණ භාරතීය ආචාර්යවරයාගේ ස්වභාවය ද ධනයෙන් සහ බලයෙන් ආඪ්‍ය වූ ඔහුගේ මහේශාඛ්‍ය ලීලාව තුළ කුළු ගැන්වී තිබේ. ඔහු මෙන් ම ඔහුගේ අඩි පාරේ යන අනුහස් ද තම ප්‍රභූත්වයේ ව්‍යාජ ප්‍රභාවෙන් පසුගාමී දේශපාලන විඥානයකින් හෙබි ජනතාව මුළා කරති. අනුහස් තම පියාගෙන් උරුම කොට ගත් අනුහස හෙවත් ආධිපත්‍යය රැගෙන ජනතාව හමුවට එයි. ඔහු පැමිණෙන්නේ රැවටෙන්නන් සිටින රටක රවටන්නාගේ භූමිකාව රඟ දැක්වීම පිණිස ය. මෙම චරිත ද්වය මෙරට දේශපාලන ක්ෂේත්‍රය වසා පැතිර සිටින පිළිකා කාරක ධූලක නියෝජනය කරති.

අනුහස් පහළ සමාජ ස්ථරයකට අයත් ශිරෝමි තම බිරිඳ කර ගන්නේ ආදරය නිසා නොව රූප රාජිනියක වූ ඇගේ රුවට ඇති ලොල් බව නිසා ය. එහෙයින් විවාහයෙන් පසු ඔහුගේ ආධිපත්‍යයට නතු වීමට ඇයට සිදු වේ. පිටතින් පැමිණි භූතයෙක් තමා යටපත් කොට ගෙන තම සිරුරට අරක් ගෙන ඇති බවක් ඇයට හැඟෙයි. එය ජීවිතය එපා වන තරම් චිත්ත පීඩාවක් ඇය වෙත ගෙන එයි. ඇයට ක්‍රිෂ්ණ පෙනෙන්නේ තම සැමියාගේ ආත්මාර්ථකාමී අභිමතාර්ථවලට මුක්කු ගසන නිර්ආගමික නරුමයකු විලසිනි. එහෙත් ක්‍රිෂ්ණ තමා සිතා සිටි පුද්ගලයාට හාත්පසින් ම වෙනස් චරිතයක් බව ක්‍රම ක්‍රමයෙන් ඇයට වැටහෙන්නට පටන් ගනියි. කලියුගයේ පහළ වන අධමයන් දමනය කිරීමට සුදු අසු අරා එන විෂ්ණුගේ අවතාරයක් වන කල්කි, ක්‍රිෂ්ණගේ රුව හරහා ඇගේ සිතේ ප්‍රතිනිර්මාණය වෙයි. මුල දී දුෂ්ටයකු ලෙස දිස් වූ ක්‍රිෂ්ණ පසුව ඇයගේ සුපිරි වීරයා වෙයි. ක්‍රිෂ්ණගේ ඇසුර නිසා ඇය තුළ යළිත් වරක් ජීවිතය කෙරෙහි ඇල්මක් ඇති වෙයි. ඇය දුරකථනය ඔස්සේ ඔහු සමග බුද්ධිමය සංවාදයකට මුල පුරයි. ඔවුන් දෙදෙනා අතර සිදු වන අදහස් හුවමාරුව හරහා මේ රටේ බලපැවැත්වෙන හිරිකිත දේශපාලනය සහ හිර ගත කළ මනුෂ්‍යත්වය පිළිබඳ කතාන්දරයක් දිග හැරීමට කැත්ලීන් සමත් වෙයි.

නීතිය පිළිබඳ කැත්ලීන්ගේ දැක්ම ද නවකථාව තුළ විවරණය වෙයි. අවිනීත නීතියක් මිස සුවිනීත නීතියක් මේ රටේ නොමැති බව පාඨකයාට ඒත්තු ගන්වන ආලෝක ධාරාවක් ඇය එල්ල කරයි. නීතියේ ආධිපත්‍යය අනාථ කරමින් නීතිපති වන පාලකයාගේ ආධිපත්‍යය මතු වෙයි. නීතියේ ආධිපත්‍යය ආදි මූලධර්මයක් බවට පත් කරමින් නීතිය අතට ගන්නා ඔහු අඳ මූලධර්මය අනුව යමින් නීති පොත සහ නීතිපති අතර ඇති ප්‍රතිවිරෝධතාව මැනවින් පෙන්වා දෙන අවනීතිය ක්‍රියාත්මක කරයි. ජනතාව වෙතින් ලැබූ වරදාන වහල් කොට ගෙන ජනතාව වහල් බව වෙත රැගෙන යන නූතන ජූතක බමුණන් එසේ කරන්නේ ජාතක පොත පෙරළමිනි. නීතිය පෙරළමින් ඔවුහු ජනතාවට පොත පෙරළති.

සාහිත්‍ය කලා, දර්ශනවාද ඈ නා නා පොත පත කියවා බහුශ්‍රැත දැනුමක් ලබා සිටි ක්‍රිෂ්ණ වෘත්තියෙන් නීතිවේදියෙකි. ඔහු පීඩිතයන්ට නීති ආධාර ලබාදෙන කොමිසමට සම්බන්ධ වී සිටිය ද නීතිය ආධාර කරන්නේත්, ආදරය කරන්නේත් පීඩිතයාට නොව බලවතුන්ට බව ඔහුට පෙන්වා දෙන්නේ ඊශ්වරී නමැති වතුකරයේ දෙමළ කාන්තාවයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් හිස ඔසවන ප්‍රභූතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදයේ දේවාල වන්දනාවේ ගිය ජනතාවට ත්‍රස්තවාදයක් වී ඇත. මැතිවරණ ජය පතමින් පාලකයෝ කතරගම යති. කතරගම දේවාලයේ දෙවියන් අදහන ජනතාව අවුරුදු පහෙන් පහට කතරගමට පූජා වට්ටි රැගෙන යති. සෙත් ශාන්තිය හිමි වන්නේ කාට ද?

කෞටිල්‍ය මාන්නප්පෙරුම, අනුහස්, ධනුෂ් වික්‍රමාධිපත්‍ය පමණක් නොව පුහු ශෝභාවට මුවා වූ ඔවුන්ගේ ජුගුප්සාජනක සොබාව උඩු යටිකුරු කොට පෙන්වන ශිරොමි සහ ක්‍රිෂ්ණ ද අඩු වැඩි වශයෙන් කෙලෙස් සහිත පුද්ගලයෝ ය. ශිරෝමි සහ ක්‍රිෂ්ණ අතර ඇති වන බුද්ධිමය සංවාදය කායික සන්තර්පණයක් දක්වා උඩු දුවන්නේ ඒ නිසා ය. එය ලෞකික බුද්ධියට කාමය නමැති අශ්වයාගේ තෝන් ලණුව පාලනය කළ නොහැකි බව දක්වන්නකි. සර්පිලාකාරව දරණ ගසාගෙන සිටින සර්පයාගේ දෂ්ටනයට ඕනෑම ලෞකික සත්වයකු ගොදුරු විය හැකි ය. බඹයක් පමණ වූ සිරුර තුළ ඇති ලෝකය රාග දෝස මෝහ ආදී කෙලෙස් මූලයන් ඔඩු දුවන තැනකි. දෙවියකුගේ නම දරන ක්‍රිෂ්ණ අදේවවාදියෙකි. පොත පත කියවා ලබා ගත් දැනුම නමැති කරගලින් සිය තර්ක බුද්ධිය මුවහත් කොට ගෙන තිබුණ ද ඔහු ලෞකිකත්වය ඉක්මවූ පුද්ගලයෙක් නොවේ. එහෙත් සතුන්ට පවා කරුණාව දක්වන ඔහු මහ පොළොව මිනිසාට පමණක් සින්නක්කරව ලියා දෙන මිනිසුන්ගේ මානව ප්‍රේමය ඉක්මවන ගුණවතෙකි. පවතින දුර්දාන්ත රාජ්‍ය තන්ත්‍රය විවේචනය කිරීම නිසා රාජ ද්‍රෝහියකු ලෙස හංවඩු ගැසෙන ඔහු රාජ්‍ය නායකයාගේ පුත්‍රයාගේ බිරිඳ සමග රමණය කිරීමේ වරදට මිත්‍ර ද්‍රෝහියකු ලෙස පිටුවහල් කරනු ලබයි. ඔහුගේ පියා වන රාජන් සතාසිවම්ට අගවිනිසුරු පදවිය ද අහිමි වෙයි. වාසියට තාන්න මාන්න, පඬුරු පාක්කුඩම් සහ පදවිවලින් පුද ලැබීමත්, ද්වේෂයේ දී ‘දේශ ද්‍රෝහියා’ ලේබලය පිටේ අලවා පිටුවහල් කිරීමත් සමකාලීන ද්වේෂ පාලනයේ සාමාන්‍ය ස්වභාවයයි.

මෙහි එන අස්සජී හිමියන් කුඩා චරිතයක් වුව ද උන්වහන්සේ අවම වශයෙන් කල්‍යාණ පෘථග්ජනයෙකැයි යන හැඟීම පොත කියවූ මා තුළ ඇති විය.

“බොහොම හරි මහත්තයෝ. පුංචි රාහුල කුමාරයට දක්වපු කරුණාව සකල ජීවී ලෝකයට ම එක සමාන ව පතුරුවා හරින්න තරං ශක්ති සම්පන්න වුණු උත්තමයකුට නේ අපි බුදුන් වහන්සේ කියන්නේ?

(ද්‍රෝහී – 114 පිටුව)

උන්වහන්සේ ක්‍රිෂ්ණගේ සත්ව කරුණාව අගය කරන්නේ බුදුන් වහන්සේගේ චරිතයේ අනන්‍යසාධාරණ ලක්ෂණ ද්වයෙන් එකක් උදාහරණයට ගෙන එමිනි. එනම් මහා කරුණාවයි. බුදුන් වහන්සේ යනු මහා කරුණාව සහ මහා ප්‍රඥාවයි. ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මිනිස්සු තිදෙනා යන ග්‍රන්ථය ලියූ එච්. ජී. වේල්ස් සොක්‍රටීස්ට සහ ජේසුස් වහන්සේට ඉහළින් බුදුන් වහන්සේ ස්ථානගත කළේ මහා කරුණාව සහ මහා ප්‍රඥාව නිර්ණායක කොට ගෙන ය.

සමාජයේ කුහක කුටිල බව, කැපිලි කෙටිලි, ඇවිටිලි රැවටිලි නවකථාවේ චරිත හරහා පෙන්වා දෙන කැත්ලීන් ජයවර්ධන එය බොරුවෙන් බූරුවා ගසන සූදු තිප්පළක් බවට පත් වී ඇති අයුරු ‘ද්‍රෝහී’ නවකථාව තුළින් අපූර්වාකාරයෙන් සිත්තම් කරයි. සල්මාන් රුෂ්ඩි මෙන් භාෂාව පරිකල්පනයෙන් යළි උපදවන ලේඛිකාවක ලෙස මම කැත්ලීන් ජයවර්ධන නම් කරමි. ඒ පිළිබඳව නිදසුන් ඉදිරිපත් කිරීමට ගියහොත් මේ ලිපිය බොහෝ දික් වනු ඇත. පරිසර වර්ණනා පවා චරිතයක චිත්ත අභ්‍යන්තරය සමග අවියෝජනීය ලෙස බැඳෙන අයුරින් රසවත්ව ඉදිරිපත් කිරීමට කැත්ලීන් සතුව ඇති ශක්‍යතාව ප්‍රශස්ත ය.

“විස්කි වඩියක් ද සමග උද්‍යාන මේසයකට වාඩි වී ඈත මුහුදේ නිශ්චලත්වයත් මෑත දියඹේ රැළි පෙරළෙන තදියමත් දෙස බලා සිටින්න වූවේ ය. හිරු ගිනියම් වූ මොහොතක රත් වූ සිරුර ගිනිවතුරක් ඉල්ලා සිටි ප්‍රථම අවස්ථාව වූයේ ද ඒ ය.”

(ද්‍රෝහී -167 පිටුව)

ඈත මුහුදේ නිශ්වලත්වයත් මෑත දියඹේ රැළි පෙරළෙන තදියමත් ක්‍රිෂ්ණගේ කැළඹුණු මනෝභාවයන් ධ්වනිත කරන අතරම බුත්සරණේ නාලාගිරි දමනයේ එන “ඈත ධූලියෙන් වැසී ගිය ඇත් රජයැ. මෑත සවනක් ඝන බුදුරැසින් සැදී ගිය බුදු රජාණෝ යැ’ යන අයුරින් ඇරඹෙන රමණීය වර්ණනා ශෛලිය සිහි ගන්වයි. විස්කි වඩිය නමැති ගිනි වතුරේ පහස ලැබීමේ සංකේතාත්මක අරුත කාම පිපාසයෙන් ගිනියම් වූ කය සන්තර්පණය කිරීමයි.

මේ පොත පිළිබඳ ව පුළුල් විචාරයක් කිරීම තවත් පොතකින් විනා මෙවන් කුඩා ලිපියකින් කළ නොහැකි ය. දිය බඳුනකට නදියක දිය පිරවිය නොහැකි ය.

● ගල්පොතුගොඩ සුදත් චන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment