මතක සහ සිහිවටන

62

හැත්තෑපස් වන නිදහස් දිනයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. නිදහස ලබා ගෙවී ගිය වසර 75 දෙස ආපසු හැරී බලන විට අප කාටත් දැනෙන්නේ දුක සතුට මුසු වූ හැඟීමක්.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට ලංකාද්වීපය යටත්වී තිබූ අඳුරු යුගයක ජාතික නිදහස වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව බොහෝ නායකයෝ පෙළ ගැසුණා.

ඒ අරගලය වෙනුවෙන් ජාති, ආගම්, කුල, මල භේදයෙන් තොරව අපේ මුතුන් මිත්තන් කරනු ලැබූ කැපකිරීම් මගේ සිතට ගෙනෙන්නේ මහත් ආනන්දයක්, ආශ්වාදයක් පමණක් නෙවෙයි ඔවුන් පිළිබඳව අප්‍රමාණ ගෞරවයක්.

විශේෂයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට සෝල්බරි යෝජනා පිළිබඳ ඉදිරිපත් වූ විවාදයේදී සහ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙරට මුස්ලිම් ජන වර්ගය නියෝජනය කළ නායකයා වශයෙන් ආචාර්ය ටී. බී. ජයා විසින් කළ තීරණාත්මක වූත් ඵෙතිහාසික කතාව මගේ හදවත අදත් මනුෂ්‍යත්වයෙන් පුරවනවා.

“මුස්ලිම් ජනතාවටත් දුක් ගැනවිලි තිබෙනවා. මේ ඒවා ඉදිරිපත් කරන්නට අවස්ථාව නොවෙයි. නිදහස අන් සියල්ලටම වඩා ප්‍රමුඛය. රට පුරා යමින් සෑම මුස්ලිම් සංවිධානයක් සමගම මා සාකච්ඡා කළා. ඔවුන්ගේ මෙන්ම මගේ අනෙක් සහෝදර මන්ත්‍රීවරුන්ගේද එකඟතාව ඇතිව මම ප්‍රකාශ කරනවා, මුස්ලිම් ජනතාව වෙනුවෙන් කිසිදු කොන්දේසියක් මේ තීරණාත්මක අවස්ථාවේදී අප ඉදිරිපත් කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව අප්‍රමාදව නිදහස ලබා දිය යුතුය යන්න මුස්ලිම් ජනතාවගේ ස්ථාවරයයි.”

ආත්මාර්ථකාමීත්වය, අවස්ථාවාදීත්වය, ගෑවිලාවත් නොතිබිච්ච ඒ සැබෑ දේශප්‍රේමීන්ගේ හදවත්වල උස් රාවය මගේ හිත භක්තියෙන් පුරවනවා.

මනුෂ්‍යත්වය පිළිබඳව මිහිරිතම පාඩම මා ඉගෙන ගත්තේ පියාගෙන්. සියල්ලටම වඩා උතුම් වන්නේ මනුෂ්‍යත්වය කියන අපූරු හැඟීම ඔහු තුළ හැමදාම ගොඩනැඟී තිබුණා.

බේරුවල නගර සභාවට සභිකයන් තෝරා පත් කර ගැනීමට 1947 මැතිවරණයක් පැවැති අවස්ථාවේ ප්‍රදේශවාසීන්ගේ බලවත් ඉල්ලීම පිට මගේ පියා, මේ ඡන්දයට ප්‍රථම වරට ඉදිරිපත් වූවා. එහෙත් පළමු වර ඔහු පරාජයට පත්වුණා.

ජය පරාජය සම සිතින් භාරගැනීමේ උදාර ගුණය මට මුලින්ම කියා දුන්නේ ඔහු.

මේ අතරතුර 1950 දී යළි බේරුවල නගර සභා ඡන්දයෙන් එතුමා නිතරඟයෙන් පත්වුණා පමණක් නොව නගරාධිපති ලෙසද පත්වුණා.

ඇත්ත වශයෙන්ම ඔහු බේරුවලට සංහිඳියාවේ පාලම ඉදි කළා.

නිදහස ලබා ඉක්ම ගිය වසර 75 දෙස ආපසු හැරී බලන විට නිදහස් රටක් සහ සංහිඳියාවෙන් පිරුණු රටක් වෙනුවෙන් ඔවුන් ගත් වෙහෙස මට යළි යළිත් සිහිපත් වෙනවා.

“සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතු යැයි” මේ රටේ ප්‍රථම වරට යෝජනාවක් සම්මත වූයේ බේරුවල නගර සභාවෙන්. “ඒන් සිංගලම්” යන මැයෙන් මුස්ලිම් දරුවන් සිංහල ඉගෙනීමේ වැදගත්කම පිළිබඳව ද්‍රවිඩ බසින් පොතක් තම ඥාති සහෝදරයා සමග එක්ව ප්‍රකාශයට පත්කළා.

“මා මේ රටේ තුන්වන පුරවැසියාට හිමි පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ජනතාව තෝරා පත් කර ගනු ලැබුවා. මේ තත්ත්වයට පැමිණීමට සුළු ජාතිකයකු වූ මට කිසිම ගැටලුවක් ඇති වූයේ නෑ. මේ රටේ ජීවත්වන අන් හැම සුළු ජාතිකයකුගෙන්ම මා ඉල්ලා සිටින්නේ මහ ජාතිය වන සිංහල ජාතිය සමග එකමුතුව, සමගිව, සුහදව සහජීවනයෙන් ක්‍රියා කරන ලෙසයි. අපේ ප්‍රශ්න ඒ අය සමග එක්ව විසඳා ගන්නා ලෙසයි.”

මාගේ පියා හැමදාමත් දැරූ මතය වුණේ එයයි.

මෙකී ඉතිහාසය මට අද යළි යළිත් සිහිපත් වෙන්නෙ වර්තමානයේ දී අපි මොන තරම් අවස්ථාවාදී ලෙස කටයුතු කරමින් සිටිනවා ද යන්න දකින විටයි.

ලාභ ප්‍රයෝජන වෙනුවෙන්, අවස්ථාවාදීත්වය වෙනුවෙන්, මනුෂ්‍යත්වයේ උතුම් ගුණ ධර්ම ඇස් පනාපිට දියවී යන අයුරු වර්තමානයේ දී අපිට දකින්නට ලැබෙනවා.

මොනම වාසි ප්‍රයෝජනයක් වෙනුවෙන් හෝ තමන් විශ්වාස කරන ප්‍රතිපත්ති, ආචාරධර්ම සහ මනුෂ්‍යත්වය පාවා නොදිය යුතු යන්න මම තරයේ විශ්වාස කරනවා.

පනස් වසකට අධික කාලයක් දේශපාලන ක්ෂේත්‍රයේ බැබළුණු මගේ පියාණන් මියදෙන විට හරි හම්බ කළ වතු පිටි, ඉඩකඩම්, ගොඩනැඟිලි දේපළක් තිබුණේ නැහැ. ඔහු ඉපැයූ ධනය වූයේ මහජනතාව. එතුමා අවසන් ගමන් ගිය දිනයේ සිට සතියක් පුරා එතුමාට ගෞරව දැක්වීමට බේරුවලට ගලා ආ මහජන ගංගාව විශ්මිතයි.. ඒ එතුමා ඉපැයූ ධනයයි.

ලෝකයේ විවිධ නායකයන්ගේ චරිත කතා මා අධ්‍යයනය කොට තිබෙනවා.

ඒ සියලු චරිතවල යහපත් ගුණාංග හෘද සාක්ෂිය තුළ ගැඹුරින් තැන්පත් කොට ගෙන අවසන් නිමේෂය දක්වාම මනුෂ්‍යත්වය වෙනුවෙන් අරගල කළ යුතු යැයි මම තරයේ විශ්වාස කරනවා.

වසර 75 කට පසු නිදහස පිළිබඳව ආපසු හැරී බලන මට දැනෙන්නේ “ඉන්දියන් සාගරයේ මේ රන් දිවයින ලෝකය දිනන්නෙ කවදාද යන්න පිළිබඳව පමණයි!

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment