පොලිස්පති කෙනෙක් දැන් රටේ නෑ – මන්ත්‍රීවරු කීපදෙනෙක්ම මැතිසබයේදී කියති

242

පත්වීම කළේ ජනාධිපති – නියෝජ්‍ය කථානායක
ඔබතුමා ජනාධිපතිගේ නියෝජිතයා වෙන්න එපා – විමල්

පොලිස්පතිවරයාගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති බැවින් මේ වන විට රටේ පොලිස්පතිවරයකු නොමැති බව මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ම පාර්ලිමේන්තුවේදී ඊයේ (08) සඳහන් කළහ.

“රටේ නීතිය හා සාමය සමග සෙල්ලම් කිරීමෙන් වළකින්න” යැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදී ප්‍රකාශ කළේය. වීරවංශ මහතා මේ බව සඳහන් කළේ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.

මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

පොලිස්පතිවරයාට ව්‍යවස්ථාදායක සභාව අනුමත නොකරන සේවා දිගුවක් දෙන්නෙ කොහොමද. මම දන්න විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒක අනුමත කරන්න ඕනෑ. ජනාධිපතිතුමා තමයි පත්කිරීමේ බලධාරියා. එය අනුමත කරන බලධාරියා ව්‍යවස්ථාදායක සභාව. දිගින් දිගටම සේවා දිගු දෙනකොට අනුමත නොකරනවා නම් ඒක ගැටලුවක්. නීත්‍යානුකූල නොවන පොලිස්පතිවරයකු තබාගෙන රට ඉදිරියට යන්නේ කොහොමද.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා- මේ පත් කිරීම කරල තියෙන්නෙ ජනාධිපතිතුමා.

විමල් වීරවංශ මහතා- ඔබතුමා ජනාධිපතිතුමාගේ නියෝජිතයා නොවේනේ. ජනාධිපති වෙනුවෙන් කතා කරන්න එපා. ඔහු වෙනුවෙන් කතා කරන්න අගමැතිතුමා, විෂය භාර ඇමැතිවරුන් ඉන්නවා. ඔබතුමා මම කතා කරනකොට ස්තුතියි කිව්වා. මට ස්තුති වැඩක් නැහැ. මට ඕන උත්තර. ඔබතුමා විධායකයට අයිති කෙනෙක් නොවෙයි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා- ඒ ගැන කථානායකතුමා ප්‍රකාශයක් කරාවි. ජනාධිපතිතුමාට එවැනි පත් කිරීමක් කරන්න බලය තියෙනවා. ව්‍යවස්ථා සභාව රැස්වී පැහැදිලි තීරණයකට කටයුතු කරමින් සිටිනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා- තුන්වැනි වතාවට කරපු සේවා දීර්ඝය ව්‍යවස්ථා සභාව අනුමත කරලා නැහැ. මෙතැන අනෙක් සාමාජිකයන්ගෙන් අහගන්න පුළුවන්.

විමල් වීරවංශ මහතා- දැන් රටේ නීත්‍යානුකූල පොලිස්පතිවරයකු නැහැ. අද ඩීඅයිජීලාට සැලියුට් ගහන්න වෙලා තියෙන්නේ නීත්‍යානුකූල නොවන පොලිස්පතිවරයකුට. මේ නිසා අද රට අරාජික වෙලා. නීතිය සාමය එක්ක සෙල්ලං කරන්න එපා.

මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා – දැන් මේ රටේ පොලිස්පතිවරයකු නැහැ. ඒක තමයි ඇත්ත.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment