තැපැල් වර්ජනය අදත් – නුවරඑළියේ දැවැන්ත විරෝධතාවක්

372

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය

“නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිව තැපැල් සේවයෙන් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය සාර්ථකයි” යැයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සම්පත් සී. ලියනගේ මහතා ඊයේ (08 දා) පැවසීය.

නුවරඑළිය තැපැල් කාර්යාලය හොටලයක් වෙනුවෙන් ලබාගැනීමට රජය කර ඇති යෝජනාවට එරෙහිව මෙම වර්ජනය ආරම්භ කර තිබිණි.

ඊයේ (08 දා) ආරම්භ කළ වැඩ වර්ජනය අද (09 දා) දිනයේත් ක්‍රියාත්මක කරන බවත්, අද (09 දා) සියලුම තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධව නුවරඑළිය නගරයේදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බවත් ඔහු කීය.

“නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිව පමණක් නොව රටේ සියලුම රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව සියලු රාජ්‍ය සේවකයන් ඒකාබද්ධ කරගෙන විරෝධතාවක් පැවැත්වීමට අපි කටයුතු කරනවා” යැයි ද ඒ මහතා කීය. සංකේත වැඩ වර්ජනය අවසන් කර දින කිහිපයක් යන තෙක් තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු නොවන්නේ නම්, ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ග ගැන වෘත්තීය සමිති ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව ද කී ලියනගේ මහතා රාජ්‍ය සම්පත් විකිණීම සම්බන්ධයෙන් ඊයේ (08 දා) මහ නාහිමිවරුන් දැනුවත් කළ බව ද කීය.
චමින්ද සිල්වා සහ නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment