ඇමෙරිකානු නඩුවෙන් හෙළිදරව් වූ නිකිල් ගුප්තාගේ රෝ මෙහෙයුම

722

රෝ යනු ඉන්දියාවේ ප්‍රමුඛතම විදේශ බුද්ධි ඒකකයයි. විදේශ බුද්ධි තොරතුරු එක්රැස් කිරීම, ඉන්දියාවට එරෙහිව සැලසුම් කර ඇති ත්‍රස්තවාදී ප්‍රහාර මැඬලීමට සහ ඒවා අසාර්ථක කිරීමට පියවර ගැනීම මෙන්ම ඉන්දියාවේ විදේශීය හා උපායමාර්ගික අවශ්‍යතා සඳහා දායක වීම වැනි වැදගත් කාර්යයන් රැසක් එයට පැවරී ඇත. රෝ ආයතනය සෘජුවම අගමැතිවරයාට වග කියන ආයතනයකි. එය වසර 1968 සැප්තැම්බර් 21 දින පිහිටු වූ අතර 1962 දී චීන ආක්‍රමණයේ සහ 1965 දී පකිස්ථාන ආක්‍රමණයේ කම්පනය නව බුද්ධි අංශයක් පිහිටුවීම කෙරෙහි ඉන්දියාව යොමු විය.

1971 වසරේ පාකිස්තානයේ නැගෙනහිර භූමිය බෙදා වෙන්කර බංග්ලාදේශය නමින් වෙනම රටක් ගොඩනැගීමේ ආන්දෝලනාත්මක ව්‍යාපෘතිය රෝ වැඩක් ලෙස ලොව සුපතලය. 1975 දී සිකීම් රාජ්‍යයේ ඊසානදිග කොටස ඉන්දියාවට ඈඳා ගැනීමේ උප්පරවැට්ටියද රෝ ක්‍රියාන්විතයකි. වර්තමානයේ බලුකිස්ථානය තුළ මතුව ඇති ආයුධ සන්නද්ධ පාකිස්ථාන විරෝධී ක්‍රියාන්විතය පිටුපස සිටින්නේ රෝ සංවිධානයයි. ඒ සියල්ලටම වඩා ලෝක ප්‍රකට කාරණාව වන්නේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය මගින් ගෙනගිය වර්ණ භේදවාදය හෙවත් සුදු-කළු ජාතිකත්ව විරෝධී අරගලය පසුපස සිටි බලවේගය ඉන්දිය ඔත්තු සේවය බවයි. ඉන්දීය රෝ බුද්ධි සේවාවේ නව ප්‍රධානියා ලෙස රවී සිංහ මහතා පත්කර තිබුණේ පසුගිය ජුනි 30 සිටය. වසර දෙකක කාලයක් සඳහා මේ පත්වීම සිදුකර තිබේ.

රවී සිංහට මේ දිනවල බැරෑරුම් අර්බුදයට මුහුණ දෙන්නට සිදුව තිබේ. ඒ සීක් අන්තවාදී නායකයකු ඝාතනය කිරීමේ උත්සහයක් අමෙරිකානු බලධාරීන් විසින් ව්‍යර්ථ කර තිබීම නිසාය. රෝ සංවිධානයේ උපදෙස් පරිදි නිකිල් ගුප්තා සිදුකිරීමට ගිය ඝාතනය හෙළිදරව් වීම නිසා උතුරු ඇමෙරිකාවේ රෝ මෙහෙයුම් කාර්යාල වසා දැමීමට සිදුව තිබේ. 52 හැවිරිදි ගුප්තා චෙක් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වන අතර පසුව ඇමෙරිකානු බලධාරීන් වෙත භාරදී තිබේ. ඩොලර් ලක්‍ෂ එකහමාරක කොන්ත්‍රාත්තුවකට සික් අන්තවාදී නායක ගුරුපත්වන් පන්නු නම් ඇමෙරිකානු හා කැනඩා ද්විත්ව පුරවැසිකම හිම් පුද්ගලයා නිව්යෝර්ක් නුවරදී ඝාතනය සඳහා කුමන්ත්‍රණය කිරීමේ වැරදට මොහුට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක් මගින් නඩු පවරා තිබේ. මේ හේතුවෙන් රෝ රෙදි ගැලවී ඇත. නිකිල් ගුප්තා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලබූවෙකි. ඔහු රෝ උපදෙස් මත මේ ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඇමෙරිකානු ෆෙඩරල් පොලිසියේම ඔත්තුකරුවකු වෙතය. මේ නිසා සියල්ල කණපිට හැරිණි. ඇමෙරිකානු පුරවැසියකු ඝාතන සඳහා කුමන්ත්‍රණය කිරීම ලෙහෙසි පහසු චෝදනාවක් නොවේ. කෙලින්ම ඉන්දියානු ආණ්ඩුවට චෝදනාව එල්ලවේ.

පසුගිය මාස කිහිපය පුරාම කැනඩාව හා ඉන්දියාව අතර බරපතළ ආරෝවක් ඇතිව තිබිණි. ඒ රෝ මෙහෙයුමක් නිසාය. රෝ මෙහෙයුම් ලොව පුරාම ක්‍රියාත්මකය. සීක් අන්තවාදීන් පිටරටක සිටියද ඔවුන් සොයා ගොස් විනාශ කිරීමට ඉන්දීය ඔත්තුසේවා උත්සහ කරයි. හර්දීප් සිං නිජ්ජර් ප්‍රමුඛ පෙළේ සීක් බෙදුම්වාදියකු විය. ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය අවට වෙසෙන ඔහුගේ ආගමික සුළුතරය සඳහා ස්වාධීන නිජබිමක් ලබාගැනීම ඔහුට අවශ්‍ය විය. හතළිස් පස් හැවිරිදි ඔහු බි්‍රටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ, සරේ නගරයේ දී වෙඩි තබා ඝාතනය කෙරිණි. පන්ජාබ් ප්‍රාන්තයේ බර්සිංපූර් ගම්මානයේ උපත ලැබූ නිජ්ජර් 1997 වසරේ දී කැනඩාවේ පදිංචියට ගියේ ය. පළමුව ජල නළ කාර්මිකයකු ලෙස රැකියාව කළ ඔහු පසුව බි්‍රටිෂ් කොලම්බියාවේ ප්‍රමුඛ පෙළේ සීක් නායකයකු බවට පත්විය. පන්ජාබය තුළ පිහිටි ස්වාධීන සීක් රාජ්‍යයක් සඳහා ව්‍යාපාර සිදුකළ කණ්ඩායමක් වන කාලිස්ථාන් ටයිගර් ෆෝස් සමග ඔහු සම්බන්ධතා පවත්වන බව කියමින් ඉන්දියාව 2020 දී ඔහු ත්‍රස්තවාදියකු ලෙස නම් කළේ ය. ඉන්දියාව ඔහුට එල්ල කළ චෝදනා අතර දේශද්‍රෝහීත්වය හා ත්‍රස්තවාදය දිරිමත් කිරීම ද, රට තුළ “විවිධ ප්‍රජාවන් අතර අසමගිය ඇති කිරීමට උත්සහ කිරීම” ද විය.

පසුගිය ජූනි 18 පස්වරුවේ දී වෙඩි ප්‍රහාරයක් ගැන ලැබුණු ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමට ගිය කැනේඩියානු පොලිස් නිලධාරීන් විසින්, බි්‍රටිෂ් කොලොම්බියාවේ සරේ නගරයේ ගුරු නානක් සීක් ගුරුද්වාර දේවස්ථානයේ රථගාලේ ඔහුගේ පික්-අප් ට්‍රක් රථය තුළ වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල කිහිපයක් සහිතව මියගොස් සිටි නිජ්ජර් සොයාගැණුනි. මේ ප්‍රහාරය සඳහා තිදෙනකු සහභාගිව සිටි අතර මුහුණු ආවරණ පැළඳි දෙදෙනෙක් නිජ්ජර් ට වෙඩි තබා තිබිණි. අනෙක් තැනැත්තා මේ ප්‍රහාරකයන් රැගෙන පැමිණි වාහනයේ රියැදුරාය. ඇත්තෙන්ම සීක් නායකයා ජීවිත අවදානමට ලක්ව ඇති බව කැනේඩියානු ආරක්ෂක බුද්ධි සේවය විසින් ඔහුට පෞද්ගලිකවම අනතුරු අඟවා තිබිණි. මේ නිසාම කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ජූනි මාසයේ දී සිදුවූ මාරාන්තික වෙඩි තැබීම පසුපස ඉන්දීය රජය සිටින බවට “විශ්වසනීය චෝදනා” ඇතැයි පාර්ලිමේන්තුව හමුවේ පැවසීම නිසා දිල්ලියේ බ්‍රාහ්මණයෝ බෙහෙවින් කැළඹීමකට පත්විය. කැනඩාව ඉන්දීය තානාපති නිලධාරියෙක් පිටුවහල් කළ අතරම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම දිල්ලියේ සිටින කැනඩා මහ කොමසාරිස්වරයාට එරටින් පිටව යන ලෙස නියෝග කර තිබිණි.

සීක් ජාතිකයන් 770,000කට ආසන්න සංඛ්‍යාවකට නිවහන වන කැනඩාව, ඉන්දියාවෙන් පිටත විශාලතම සීක් ජනගහණයක් වෙසෙන රටයි. සීක් කැනේඩියානු ජාතිකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සම්බන්ධය පිළිබඳ චෝදනාව පදනම් වී ඇත්තේ තම ප්‍රධාන මිතුරකු වන බලවත් රාජ්‍යයක් විසින් සපයන ලද බුද්ධි තොරතුරු හා කැනඩාවේ ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ හැසිරීම් පිළිබඳ නිරීක්ෂණ මත බව කැනඩා රජයේ නිලධාරියෙක් මාධ්‍ය හමුවේ පවසා තිබිණි.

කවරක් නමුත් නිකිල් ගුප්තා ගේ නඩුවත් සාමග කැනඩා රජය ඉදිරිපත් කළා චෝදනා නිවැරැදි බව පසක් වේ. මේ හේතුවෙන් රෝ මෙහෙයුම් අකුළා ගැනීමට ඉන්දීය අගමැති කාර්යාලයට සිදුවේ. මේ අර්බුදය නිසා ඇමෙරිකාවේ වොෂින්ටනයේ හා සැන්ෆ්‍රැන්සිස්කෝ නගරවල පිහිටි රෝ කාර්යාලය දෙකම වසා තිබේ. මෙය සිදුව ඇත්තේ 1968 පසුව වීම සුවිශේෂය.

ඉන්දියාව මීට මාස කිහිපයකට පෙර කැනේඩියානු රජය විසින් එල්ල කරන ලද චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අතර ඒවා “විකාර” ලෙස නම් කර තිබිණි. නමුත් ඇමෙරිකාව ගුප්තාට නඩු දැමීම නිසා රෝ මෙහෙයුම්වල සැඟවුණු ඇත්ත හෙළිදරව් විය. එදා කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ඉන්දියාවට චෝදනා කිරීමෙන් පසු කැනඩාවේ ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානී පවන් කුමාර් රායි නම් තානාපති නිලධාරියා එම තනතුරෙන් ඉවත් කර නැවත ඉන්දියාවට කැඳවා තිබිණි.

පසුගිය ජුනි මාසයේ දී හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඝාතනය කළ සීක් ආරක්ෂකයන් දෙදෙනා සැමරීමේ උත්සවයක් කැනඩාවේ බ්‍රැට්ස්ටන් නගරයේ පැවැත්වීම ගැන ඉන්දීය රජය බලවත් කෝපයට පත්ව තිබිණි. පලිගැනීම යනුවෙන් දක්වමින් මෙම සමරුම පවත්වා තිබුණු අතර සීක් බෙදුම්වාදීන්ට සහය වන බ්‍රැට්ස්ටන් නගරාධිපති පැට්රික් බ්‍රවුන් මේ සඳහා අනුමැතිය ලබා දී තිබිණි. ලංකාවේ නම් හැමදාම රෝ මෙහෙයුම් සිදුවිය. ඊනියා අරගලය පිටුපස ද රෝ ඔත්තු සේවය විය. එනිසා නිකිල් ගුප්තා හෙළිදරව් වීම බ්‍රාහ්මණ ව්‍යාපෘති අඩපණ කිරීමකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment