IMF වැඩසටහනේ ඉටුකර නොමැති කැපවීම් දෙගුණයකින් වැඩිවෙලා- වෙරිටේ රිසර්ච් කියයි

512

2023 ජුනි මාසය අවසන් වන විට මෙරට ක්‍රියාත්මක IMF වැඩසටහනේ කැපවීම් 33% ක් ඉටුකර ඇති බවත් තවත් 45% ක් ඉටු කළ යුතුව ඇතැයි ද ඒ අනුව ඉටුකර නොමැති කැපවීම් ගණන දෙගුණයකින් වැඩිවී ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආරම්භ කළ IMF මීටරයේ අලුත්ම දත්ත පවසයි.

ඉකුත් ඉරිදා (16 දා) නිකුත් කළ IMF මීටරයට අනුව ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්, ක්‍ෂේත්‍ර දෙකක් සම්බන්ධයෙන් අසාර්ථක වී ඇති බවක් පෙනේ. ඒවා වන්නේ නීති සම්මත කිරීම සහ තොරතුරු බෙදාහැරීමයි. මාර්තු සහ ජුනි අතර කාලය තුළ රටට වැදගත් නීති 3 ක් පැනවීමට ආණ්ඩුව කැපවී සිටියේය. ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරීම, ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක කිරීම සහ නව දූෂණ විරෝධී පනත සම්මත කිරීම මෙම නීති 3 වේ.

මෙම නීතිවලට අදාළ පනත් කෙටුම්පත මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පිළිවෙළින් 2023 අප්‍රේල් 4, මාර්තු 7 සහ අප්‍රේල් 27 යන දිනවල ප්‍රකාශයට පත්කරන ලදී. කෙසේ වෙතත් මෙම කෙටුම්පත් සඳහා පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදීම සහ ඒවා බලාත්මක කිරීම තවමත් සිදුකර නැත. තොරතුරු බෙදාහැරීම සැලකූ විට එම ක්‍ෂේත්‍රයට අදාළ මූලික කැපවීම් 03 ක් ඉටුවී නැත.

පළමුවැන්න වන්නේ මාර්ගගත ක්‍රමයට මූල්‍ය විනිවිදභාවය ප්‍රකාශිත වන අයුරින් වේදිකාවක් පිහිටුවීමයි. මෙම වේදිකාවේ අපේක්‍ෂිත අරමුණ වන්නේ (i) සැලකිය යුතු රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු (ii) ආයෝජන මණ්ඩලය විසින් ලබාදී ඇති බදු නිදහස් කිරීම්වලින් ප්‍රතිලාභ ලබන සමාගම්වල නම් ලැයිස්තුවක් සහ (iii) සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම්වලට යටත්වන පුද්ගලයන් සහ සමාගම් පිළිබඳ තොරතුරු අර්ධ වාර්ෂිකව ප්‍රකාශයට පත්කිරීමයි.

දෙවැන්න 2022 දක්වා රජය සතු ප්‍රධාන ව්‍යවසායයන් 52 ක වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කිරීමයි. මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ රජය සතු ව්‍යවසායයන් 52 න් 11 ක් පමණක් 2022 දක්වා ඔවුන්ගේ වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්කර ඇති බවයි. තෙවැන්න ආනයන සීමා ඉවත් කිරීමේ සැලැස්මක් සැකසීමය.

ජුනි මස අවසානය වනවිට හඳුනාගත් කැපවීම්වලින් 14% ක ප්‍රගති තත්ත්වය මීටරය විසින් “නොදනී” ලෙස වර්ගීකරණය කර ඇත. මෙයින් අදහස් කරන්නේ තක්සේරුව සිදුකිරීම සඳහා අවශ්‍ය තොරතුරු නොතිබූ බව වේ. මැයි මාසය අවසන් වන විට නොදනී කාණ්ඩයේ පැවැති කැපවීම්වල ප්‍රගතිය 6% ක් විය. ජුනි මාසය අවසන් වන විට එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇත.

වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව, IMF වැඩසටහනේ කාලීන ප්‍රගතියෙන් රටට ලැබෙන වාසි දෙකකි. පළමුවැන්න නම්, කැපවීම් ඉටුකිරීම හරහා (සියල්ලගෙන්ම නොවුනද) රටට ලැබෙන ප්‍රතිලාභයන්ය. දෙවැන්න නම් කැපවීම් ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පෙන්වා දීමෙන්, රටේ පාලනය කෙරෙහි විශ්වාසය වැඩිදියුණු කිරීම හරහා අතීත ණය බර ප්‍රතිව්‍යුහගත කිරීම සහ අනාගත ආර්ථික ප්‍රකෘතිය කරා යන ගමන කඩිනම් කිරීම සඳහා වන සාකච්ඡා වලට උපකාරයක් වීමය.

advertistmentadvertistment
advertistmentadvertistment