වෘත්තීය ජීවිතයේ හොඳම කාලයේ තමයි බබාලා හම්බවුණේ – නදීෂා අලහප්පෙරුම

485

නදීෂා අලහප්පෙරුම කියන නම ඇහෙන විටම මතක් වෙන්නේ සොඳුරු රංගන ශිල්පිනියක්. ඇය දැන් දෙදරු මවක්, දශක දෙකකට ආසන්න කාලයක් ක්‍ෂේත්‍රයේ රැඳී සිටි ඇය මේ දිනවල අපට බොනිකර තරු වගේම නීල පබළු ටෙලිනාට්‍ය තුළින් දකින්න ලැබෙනවා. ඉතිං නදීෂාට අපි මේ ඉඩකඩ වෙන් කරන්න අදහස් කළා.

● නදීෂා කොහොමද, ඉන්දිරාට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාර ද?

සමස්ත ටෙලිනාට්‍යයට ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මමත් කාලයකට පස්සේ වෙනස් චරිතයක් රඟපාන්නේ. මට නිතර හම්බවෙලා තියෙන්නේ ටිකක් සැර චරිත. නපුරු චරිත. රවි අයියලත් එක්කත් ගොඩක් කරලා තියෙන්නේ ඒ වගේ චරිත. හැබැයි මේක ඊට වඩා ගොඩක්ම වෙනස්. තමන්ගේ අම්මාගෙන් වගේම තමන්ගේ මහත්තයාගෙන් පොඩ්ඩක් තැළෙන පොඩිවෙන චරිතයක්.

● කාලෙකින් නේද ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ?

මම මේ දිනවල වැඩ කළා. හැබැයි බබාල දෙන්න හම්බවුණාට පස්සේ වැඩ කිරීම චුට්ටක් විතර අඩු කළා. යළිත් රවි අයියලත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.

● දෙදරු මවක් නිසා රඟපෑම සීමා වෙලා ද?

වැඩ නම් ගොඩක් කරනවා. නැත්තේ නැහැ. බබාල දෙන්නා දැන් ඉස්කෝලෙ යනවා. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු තමයි ප්‍රධානම දේ. ඊට අමතරව රඟපෑම කියන්නේ මගේ වෘත්තිය. දෙකම සමබරව කරගෙන යනවා. නමුත් වැඩි අවධානය යොමු කරලා තියෙන්නේ දරුවො දෙන්නා වෙනුවෙන්. කොහොම වුණත් එන හොඳ වැඩක් භාරගෙන කරනවා.

වෘත්තීය ජීවිතයේ හොඳම කාලයේ තමයි බබාලා හම්බවුණේ - නදීෂා අලහප්පෙරුම

● ඉස්සර වගේම ආරාධනා තියෙනවා ද?

මම මේ වෙනකොට ටෙලිනාට්‍ය හතරක විතර වැඩ කරනවා. ඉස්සර තරම් අපි කිසිම කෙනකුට එහෙම ලොකුවට වැඩ නැහැ මේ කාලයේ. මේ කාලයේ ටෙලිනාට්‍ය කරනවත් අඩුයි. නමුත් යම්කිසි ප්‍රමාණයකට වැඩ නැහැ කියලා කියන්නත් බැහැ. මගේ ටෙලිනාට්‍ය දෙකක් විකාශනය වෙලා අවසන් වුණා. දැන් බොනිකර තරු වගේම නීල පබළු ටෙලිනාට්‍ය විකාශනය වෙනවා.

● අම්මව ටීවී එකෙන් දකිද්දී දරුවො දෙන්නා මොකද කියන්නේ?

දුව තමයි ගොඩක්ම සතුටු වෙන්නේ. පුතත් එහෙම තමය.ි මොකද ඒගොල්ලන්ගේ යාළුවෝ කියනවලු අම්මාව දකිනවා ටීවී එකෙන් කියලා. ඔවුන් ඒවා මාත් එක්ක බෙදා ගන්නවා. විශේෂයෙන් දුව තමයි ගොඩක් කලාවට කැමැති. දුව සෝමරත්න දිසානායක මහත්මයාගේ වගේම සංජීව පුෂ්පකුමාර මහත්මයාගේ චිත්‍රපටවලත් රඟපාලා තියෙනවා.

● ඉන්දිරා නදීෂාට සමානද?

සියයට සියයක්ම නැහැ. නමුත් සමහර තැන් තියෙනවා. මම හිතන්නේ අම්මා කෙනෙක් වුණාම හැම පැත්තම සමබර කරන්න බැහැ. සමාජයෙන් එන ප්‍රශ්නවලින් දරුවන් ආරක්‍ෂා කරන්න ඕනෑ. සැබෑ ජීවිතයෙත් මට දුවෙක් ඉන්නවා. සමස්ත දරුවන්ට ම මේ වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ දේවල් දකිනවා. හැම අම්මා කෙනකුගේම චරිතවල අඩංගු ගොඩක් දේවල් ඉන්දිරා ඇතුළෙත් තියෙනවා.

● නදීෂාට රඟපෑමේදී නිසි වටිනාකමක් ලැබෙනවා ද?

ඔව්. ඇත්තටම මට නිසි වටිනාකමක් ලැබෙනවා.

● ක්‍ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

ක්‍ෂේත්‍රයට දැන් අලුත් අය ගොඩක් ඇවිත් තියෙනවා. ඒක වෙන්න ඕනෑ දෙයක්. මමත් ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහඅටක් වෙනවා. මම සතුටු වෙනවා මට අදටත් වැඩ තිබෙන එක ගැන. මම කාලයක් රඟපාන්නේ නැතිව හිටියා. මගේ වෘත්තීය ජීවිතයේ හොඳම කාලයේ තමයි බබාලා හම්බ වුණේ. ඒ නිසයි ක්‍ෂේත්‍රයෙන් ඉවත් වුණේ. නැවතත් රඟපෑමට එනකොට අලුත් මුහුණු ගොඩක් ඇවිත් තිබෙනවා. ක්‍ෂේත්‍රය ඇතුළේ මම හදාගත්තු මොකක් හරි නිසා වෙන්න ඇති මට අදටත් වැඩ තියෙන්නේ. අලුත් අය එන්න ඕනෑ.

● අලුත් මුහුණු නිසා නදීෂාට වැඩ අඩුවෙලාද?

මම එහෙම හිතෙන්නේ නැහැ. ඇත්තට ම අපිට එදා කරපු චරිත අද කරන්න බැහැ. සමහරවිට අපේ අත්දැකීම් එක්ක වගේම අපේ වයසත් එක්ක වෙනස් චරිත තමයි අපිට කරන්න සිද්ධ වෙන්නේ. මම හිතන්නේ ඒ පරපුර අභියෝගයක් නෙමෙයි. ඔවුන් එක්ක ඉතාමත් සුහදව වැඩ කරන කොට හරි ලේසියි. ගොඩක් අය කියනවා අලුත් අයත් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා. අපිත් ගොඩක් ප්‍රවීණයෝ නෙමෙයි. අපි හැම කෙනෙක්ම ආදරය කරන මිනිස්සු, අලුත් පරණ කියලා භේදයක් නැහැ. හැමෝත් එක්කම වැඩ කරන්න පුළුවන් නම් තමයි හොඳ.

● එදා තිබුණ ජනප්‍රියත්වය අද වෙනකොට තිබෙනවා ද?

ජනප්‍රියත්වය කියන්නේ හරිම තාවකාලික දෙයක්නේ. ‘ජීවිතය ලස්සනයි’ කරන කොට තිබුණ ජනප්‍රියත්වය ඒකාලේ තිබුණා. ඊට පස්සේ අලුත් මුහුණු එකතුවෙලා තිබෙනවා. ඒ කාලේ සෝෂල් මීඩියා තිබුණේ නැහැ. අද කාලේ ඉතාමත්ම ලේසියි ජනප්‍රිය වෙන්න. ඒ කාලේ අපිට පත්තරවලින් ගොඩක් උදව් කළා. නමුත් අද කාලේ කෙනකුට ජනප්‍රිය වෙන්න සෝෂල් මීඩියා තියෙනවා. ප්‍රචාරය කරගන්න හරිම ලේසියි. අද අපිට තියෙන ජනප්‍රියත්වය හෙට තව කෙනකුට ඇති වෙන්න පුළුවන්. ජනප්‍රියත්වයට වඩා තමන්ගේ දක්‍ෂතාවයෙන් යමක් කරලා තියෙනවා නම් ඒක තමයි ප්‍රේක්‍ෂකයන්ට මතක හිටින්නේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment