නීතියේ දෙවගනගේ තරාදිය එක පැත්තකට බරවෙලා – ඇමැති රොෂාන් මැතිසබය දෙවනත් කරයි

813

මගේ කතාව අගවිනිසුරුතුමාට සහ අධිකරණ කොමිෂන් සභාවට යවන්න
එක් කාමරයකින් කිරි කළය බිඳිනවා
රැකිය යුත්තේ කවුදැයි තීන්දුව ගන්න දැන් ජනපතිට පුඵවන්
ළැබඳියාවේ ගැටුම් මැද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නන්නත්තාර වෙලා
අප කළ වරද දූෂිතයන්ට එරෙහි වීමයි

නීතියේ දෙවඟනගේ අතේ ඇති තරාදිය ක්‍රිකට් සංගමයකට බරවී ඇති බවත් එමගින් අධිකරණයෙන් දූෂිත කල්ලියට රැකවරණය ලැබෙන බව පෙනෙන්න තිබෙන බවත් ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් කාබාසිනියා කළ, සූදුව ප්‍රවර්ධනය කරන, දූෂිත-හොර තක්කඩි රැළ ක්‍රිකට් ආයතනයේ පරිපාලනයෙන් එලවා දැමීමට ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය, විපක්ෂය සහ පාර්ලිමේන්තුවේ දෙසීය විසි පස්දෙනාගේ සහයෝගය තමාට ලබාදෙන මෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ඔහු කීවේය.

සම්පූර්ණ කතාව

මෙහිදී ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සිටින දූෂිත පරිපාලකයන් එලවා දැමීමට ආණ්ඩුව සහ විපක්ෂය එක්වී ඒ සඳහා පාර්ලිමේන්තුව සාමුහික යෝජනාවක් කරමු යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළේය. ඒ සඳහා වහාම විවාදයක් කළ යුතු බවට ද විපක්ෂයේ මන්ත්‍රීවරු සිය අසුන්වලින් නැගිට විශේෂ ඉල්ලීමක්ද කළේය.

එහිදී සභාවේ ඝෝෂාවක් ද ඇති වූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු කල් තබා පක්ෂ නායක රැස්වීමක් කැඳවා පක්ෂ නායකයන් තීරණයක් ගත යුතු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

පසුව දහවල් 1.23ට පමණ සභාවේ කටයුතු පැය භාගයකට වැඩි කාලයක් අත්හිටවූ අතර පසුව සභාව නැවතත් පස්වරු 2.00ට රැස්විය.

පසුව දිනට නියමිත වූ අධිකරණ අමාත්‍යංශය යටතේ සංශෝධනයක් සම්බන්ධයෙන් විවාදය ආරම්භ කෙරිණි.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීම සිදු විය. අනතුරුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ප්‍රශ්න සඳහා අගමැති සහ අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව මේ වන විට රට තුළ විශාල කතාබහකට ලක්ව ඇති ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා අමාත්‍යංශ ප්‍රකාශ යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය. එහිදී ඇමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී මම ගෙනහැර දක්වන්නේ මේ රටේ ලොකුම බලාපොරොත්තුවක් වූ ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි ඉරණම සම්බන්ධවයි. මම ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් ඉවත් වුණේ ඒ ආණ්ඩුව බොහොම ශක්තිමත් වෙලාවක. මම කියනවා එතුමා හොරකම් කළේ නෑ. වැරදි තීන්දුගත්ත නිසා තමයි අරගලයට ගරු කරලා යන්න ගියේ. 2022-05-23 දා තමයි මා මේ ඇමැතිධුරය භාර ගත්තේ. මා ඉන්පසුව ගමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගන්න විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඒ අනුව ජාත්‍යන්තර පදක්කම් 160කට වැඩියෙන් ගෙනඑන්න අපේ දරුවන්ට හැකිවුණා. ඒක ඉතිහාසගතයි. ඒ වගේම අපේ රටේ ක්‍රිකට් සම්බන්ධයෙන් මා පියවර රාශියක් ගත්තා. ඒවා ගැන මා ළඟ ෆයිල් සියල්ල තිබෙනවා. ටී ටුවෙන්ටි ක්‍රිකට් ලෝක කුසාලානයේ වූ දේවල් ගැන අපි විමර්ශනය කළා. විනය විරෝධී සහ මූල්‍ය දූෂණ සිදුවුණා. ඒ ගැන මා විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනි වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කළා. ඊට අදාළ නෛතික පියවර ගන්න කියලා ඉල්ලුවා. ධනුෂ්ක ගුණතිලකව තහනමකට ලක්කළා. මා 2018 වසරේ සිට 2023 දක්වා ක්‍රිකට් ගැන වෝහාරික විගණනයක් සිදු කරන්න කියලා විගණකාධිපතිගෙන් ඉල්ලීමක් කළා. නමුත් එතුමා කිව්වා එහෙම දෙන්න බෑ. එක කාරණයකට පමණක් දෙන්නම් කිව්වා. ඒ අනුව තමයි 2020 ලෝක කුසලානයට පමණක් විගණනයක් කෙරුණේ. 2018 සිට 2023 දක්වා වෝහාරික විගණනයක් කරන්න කියලා මා පාර්ලිමේන්තුවෙනුත් ආයාචනයක් කරනවා. එතකොට දූෂිත ක්‍රිකට් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින්ගෙත් රෙදි ගැලවෙයි. ලෝක ක්‍රිකට් කවුන්සලයේ ජේ ෂා මහත්තයාගේ සෙවණේ අපේ ක්‍රිකට් දූෂිතයන් හැංගිලා ඉන්නවා. මම ක්‍රිකට් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත්තා ඒ සියලුම දේවල් මගේ ළඟ තිබෙනවා. අපි ජනාධිපති වෙනුවෙන් පෙනී ඉන්න ඕනා. මේ පාර අපේ ජනාධිපතිතුමාට හෝ ජනාධිපති ලේකම් කෙනෙකුත් හමුවුණා. සමන් ඒකනායක මහත්තයා. හැබැයි මට පෙනෙනෙවා මෙතන කව්රු හෝ ජනාධිපතිතුමාව විනාශ කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ හොරු රැළට ජනාධිපතිට ළං වෙන්න ඉඩ දෙන්න එපා. මට තමයි අතුරු කමිටුවක් පත් කරන්න බලය තිබෙන්නේ. එදා මට මේ ඇමැතිධුරය දුන්නේ ක්‍රීඩාව, තරුණ සේවා සභාව සුද්ධ කරන්න කියලා. වත්මන් ජනාධිපතිතුමාත් කිව්වේ ක්‍රීඩාව හදන්න. ක්‍රිකට් එක හදන්න කියලා. මා එහෙම කරන කොට දැන් කියනවා ජනාධිපතිවත් කැබිනට් එකවත් මම මේ කළ පත් කිරීම ගැන දන්නේ නෑලු. මම දන්නවා අනුමැතිය ගන්න ඕනේ කාගෙන්ද කියලා.

මම කියන්න ඕනා කිරි කළය. කිරි කළය කියන්නේ මේ රටේ අධිකරණ පද්ධතිය. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණ, මහාධිකරණ ලෙස අධිකරණ 173කට වැඩිය තිබෙනවා. ඒ ප්‍රමාණයෙන් එක අධිකරණ කාමරයක ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි කාමර අංක 301 ප්‍රශ්නයක් තිබෙනවා. එහි නීතියේ දෙවඟනගේ අතේ තරාදිය ක්‍රිකට් සංගමයකට බරවෙලා තිබෙනවා. අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහත්තයා අසනු ලැබුවේ අපරාධ නඩු පමණක් වන අතර එතුමා රිට් නඩුවල යෙදුනේ නෑ. විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාත් එහෙමයි. නමුත් වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අපරාධ නඩු මෙන්ම රිට් නඩු ද ඔහු යටතට ලබා ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නඩු ඇසීමේ අරමුණින් ඒ දේ කර ඇති බව පෙනෙනවා. ක්‍රිකට් නිලවරණ සම්බන්ධයෙන් නීති සහාය දෙන විශේෂයෙන්ම සභාපති ශම්මි සිල්වාගේ ගජ මිතුරෙතු වන නීතිඥ අසේල රැකව මහතාගේ මවගේ නැගණිය සමග විවාහ වී සිටින්නේ. විනිසුරු බන්ධුල කරුණාරත්න මහත්තයාගේ බිරිඳයි, අසේල රැකව මහත්තයාගේ අම්මයි, අක්කයි නංගියි. (ජායාරූප පෙන්වයි). දැන් අසේල රැකව තමයි ළබැඳියාවේ ගැටුමට මුල. අසේල රැකව තමයි ක්‍රිකට් වෙනුවෙන් පෙනී ඉන්නේ. ධනුෂ්කගේ තහනම ඉවත් කරන කමිටුවෙත් අසේල රැකව ඉන්නවා. අසේල රැකව ඉන්නවා ක්‍රිකට් එකේ. බන්ධුල කරුණාරත්න මහත්තයා ඉන්නවා අධිකරණයේ. එහිදී ඒ දූෂිත කල්ලියට රැකවරණය ලැබෙනවා. අසේල රැකවගේ ඉල්ලීම පරිදි. මට විරුද්ධව දූෂිත ක්‍රිකට් නඩු පවරා තිබෙනවා. එහිදී ඒකපාර්ශවිකව නඩු නියෝග ලබා දීලා තිබෙනවා. එහිදී නීතිඥ ගාස්තු විදිහට ලක්ෂ 346ක් වැය කරලා තිබෙනවා මට විරුද්ධ මේ නඩු ටිකට. මම ඉරිදා රාත්‍රියේ කළ ගැසට් නිවේදනයේ පත් කිරීමට මා හට කිසිම දැනුම්දීමක් නැතිව ස්වභාවික යුත්කියේ මූලධර්මවලට පටහැනිව ඒකපාර්ශවිකව පක්ෂග්‍රාහිකව අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා. ක්‍රිකට් ආයතනය අන්ත දූෂිතයි කියලා ක්‍රීඩා ඇමැතිවරයා ලෙස මම කියා ඇති මොහොතක සහ මුළුරටම ඒ ගැන දන්න මොහොතක ඒ අය කර තිබෙන වංචාවන් විගණකාධිපති වාර්තාවලින් පැහැදිලිව හෙළි කර තිබියදී අභියාචනාධිකරණ විනුසුරු ඊයේ පෙරවරුවේ අතුරු තහනම් නියෝගයක් ලබා දෙනවා. 10.40ට තීන්දුව දෙනවා. ඒ ගැන නෝටිස් එක මට ලැබුනේ 11.10ට මේ වගේ තීන්දුවක් ගන්න යනවා කියලා මට ආරංචි වුණා. ඒ වෙලාවේ මා අසරණ වුණු තරමක්. මම නීතිපතිතුමාට කෝල් පහකට වැඩිය ගත්තා. මම එන්නම් අධිකරණයට. මේක මේ දූෂන කල්ලියකටයි යන්න යන්නේ කියලා. එතුමා කිව්වා ලිඛිතව නැත්නම් පෙනී ඉන්න බෑ කියලා. මම කිව්වා මෙසේජ් එකකින් එවන්නම් ඔබ මේකට පෙනී ඉන්න කියලා.ඒත් නීතිපතිතුමා මග ඇරියා.

නියෝජ්‍ය කාතානායක-

අධිකරණයේ විනිසුරුවරුන්ගේ පෞද්ගලික පැවැත්ම සහ නම් සඳහන් කරමින් කරන කටයුත්ත අතහැරලා කටයුතු කරනවා නම් හොඳයි කියලා මූලාසනය ලෙස මම විශ්වාශ කරනවා. (සභාවේ ඝෝෂා)

රොෂාන් රණසිංහ මහතා- පාර්ලිමේන්තුවට තිබෙන අධිකරණ බලය තමයි විමධ්‍යගත කරලා තිබෙන්නේ අධිකරණයට. එහිදී යම් දෙයක් වෙනවා නම් අපි පාර්ලිමේන්තුවේ නැත්නම් කොතනද කතා කරන්නේ. මා ඉල්ලනවා මේ සභාපති විනිසුරුව පාර්ලිමේන්තු වරප්‍රසාද කම්ටුව හමුවට ගේන්න කියලා. ඒ වගේම මේ මගේ කතාව අගවිනිසුරුතුමාට සහ අධිකරණ කොමිෂන් සභාවට යවන්න කියලා මා ඉල්ලනවා. නීතිඥ සංගමය ද මේ සඳහා මැදිහත් වෙන්න කියලා මම ඉල්ලනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති උපදේසකලා හෝ වෙන අයෙක් මේ දූෂිත ක්‍රිකට් එකට කඩේ යන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ජනාධිපතිට තීන්දුවක් ගන්න පුළුවන් සූදු ශම්මිද? රොෂාන් රණසිංහද කියලා දෙකෙන් එකයි. මම මැද නෑ. ඒ වගේම ඔය කාර්ය මණ්ඩලයේ අය ගෙන්නලා විමර්ශනයක් කරලා බලන්න ජනාධිපතිට පුලුවන්. මොකද ජනාධිපති පාර්ලිමේන්තු උපදේශකයෙක්ගේ වැඩ තහනම් කළා ජනාධිපති තුමා. ඒ නිසා තමන්ගේ කාර්ය මණ්ඩලය ගැනත් බලන්න. ජනාධිපති නොදන්න දේවල් ගොඩාක් වෙනවා. ඒ නිසා මේක නතර කරන්න ඕනා. මම මේ කරන්නේ උඩුගං බලා පිහිනීමක්. කව්රු හෝ ඇත්ත කතා කරන්න ඕන. මම නීතියට, අධිකරණයට ගරු කරනවා. අධිකරණයට ඇඟිළි ගහන්න දෙන්න බෑ. අධිකරණයට පිරිසිඳු දෑතක් එක්ක යන්න ඕනා. ඒත් අධිකරණයට යන්නේ පට්ට හොරු. මෙච්චර කාපු හොරු වෙනුවෙන් පෙනීසිටින නීතිඥයෝ ඉන්නවානේ. මුළු රටක් මුන් හොරු කියලා කියද්දී මුන් හොරු කියලා ඔපු්පු කරලා තියෙද්දී ඒ ඔක්කොම පැත්තකින් තියලා තමන්ගේ පොකට් එක වෙනුවෙන් උසාවියට යන කාලකණ්ණි නීතිඥයෝ ඉන්න රටක් මේක. දූෂිත ක්‍රිකට් කාරයොයි කුඩු කාරයොයි එකයි. කුඩු කාරයෙක් වෙනුවෙන් පෙනී හිටියා වගේ තමයි මේ දූෂිතයන් වෙනුවෙන් පෙනී ඉන්න එක. ක්‍රිකට් වෙනුවෙන් මම නීතිඥයන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා මේ දේ කරන්න එපා කියලා. මම ඉල්ලන්නේ 2018 සිට 2023 දක්වා වෝහාරික විගණනයක් කරන්න කියලා. කරලා තියෙන දූෂනවල පතුල හොයාගන්න බෑ. අත යට වුනු ගනුදෙනු විශාලයි. තරඟ පාවාදීම් කරලා තිබෙන්නේ ක්‍රීඩකයෝ නොවෙයි. ඔය ක්‍රීඩා සංගම්වල අයයි. මේකේ යන්නේම සූදුව. ඒ කාලේ ජැක්පොට් තිබිලා තහනම් කළා. නමුත් දැන් වන් එක්ස් බැට් කියලා සූදුව යනවානේ ටීවි එකේ. දැන් ඔය තියෙනවානේ සූදු කරන තැන් ඒත් ඒක ප්‍රවර්ධනය කරන්න තහනම්. ඒත් පිටරටකට සල්ලි යන එක තහනම් කරන්නේ නෑ. දර්ශන හඳුන්ගොඩ කියලා මිනිහෙක් ඉන්නවා අමු හොරෙක්. සල්ලිවලට යටවුනු අමු දූෂිතයෙක් ඔහු.

මේ තේරීම් කමිටුව මම නොවෙයි පත් කළේ. එවකට සිටි නාමල් රාජපක්ෂ ඇමැතිතුමායි. මම මේ තේරීම් කම්ටුවට ඇඟිළි ගැහුවේ නෑ. ලෝක කුසලානය අභිමුව තියලා එල්පීඑල් ගහනවා. ඉන්දියාව අයිපීඑල් ගැහුවේ මීට මාස පහකට කලින්. එහිදීත් අපි කිව්වා අපේ ප්‍රවීණ ක්‍රීඩකයෝ පරෙස්සම් කර ගන්න කියලා. ඒත් ක්‍රීඩකයෝ පහක් ආබාධවලට ලක්වුණා. වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර ඇතුලුව. අතරමගදී ඒ අයව යැව්වේ. දැන් ටී ටෙන් එකක් කියලා ඒකක් ගහන්න යනවා. ඒක තමයි අනෙක් මගඩිය. අනිල් මොහාන්ට එල්පීඑල් දුන්නා. තව කෙනෙක් ඉන්නවා ඒයාට දෙන්න තමයි මේ ටී ටෙන් ගහන්න යන්නේ. එල්පීඑල් එකෙන් කිසිදු සතයක් මේ රටට ඇවිල්ලා නෑ. බදු ගෙවලාත් නෑ. කෝ ඒ බද්ද? ඒ නිසායි මම කිව්වේ මෙකෙන් අනුමැතිය ගන්න කියලා. ආවා නම් මම දෙන්නේ නෑ. එතකොට තවත් කාරණා ඕනාද මේක විසුරවන්න. ක්‍රීඩා නීතියට පටහැනිවයි එල්පීඑල් ගැහුවේ. එහෙම එල්පීඑල් ගහලා ප්‍රධාන අභිලාෂය වන ලෝක කුසලානයේ අද අපි කොතනද ඉන්නේ. අද ඒ ඉන්න තැන ගැන වගකීම ගන්න ඕනා ඔය පාලක මණ්ඩලය. පාලක මණ්ඩලයේ ලොක්කෝ තමයි ක්‍රීඩකයෝ තේරුවේ. තේරීම් කමිටුව ඒ අයගේ පඹයෝ වුණා. ප්‍රමෝදය වික්‍රමසිංහ මගේ මීඩියා සෙකටි්‍රවත් ඉස්සුවා. ඊට පස්සේ මගේ මිත්‍රයා වෙලා හිටියා සුදත් චන්ද්‍රසේකර මහත්තයා. මම එතුමාට උපදේශක තනතුරක් දුන්නා. ඒත් එතුමාත් ක්‍රිකට් එකෙන් ගත්තා.

විපක්ෂ නායක- දිවා භෝජනයට තිබෙන වෙලාවත් මේ කතාවට දීලා අපි මේක දිගටම කරගෙන යමු.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක- මෙතුමාගේ කතාව ඉවරවෙනකම් කරනවාට අපේ විරුද්ධතාවයක් නෑ. ඒත් උදේ පාන්දර ඇවිල්ලා විපක්ෂය පිස්සු කෙළින කොට අපිට වෙලාව නැති වෙනවා.

විපක්ෂනායක– අගමැතිගෙන් ප්‍රශ්නයක් අහනකොට පිස්සු කතාවක් කිව්වේ විපක්ෂය නොවෙයි ආණ්ඩුව.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක- විපක්ෂනායකතුමා මේ පිස්සු කෙලින එකෙන් මේ වගේ වැදගත් දේකට වෙලාවක් නැති වෙනවා. අපි මේකට විරුද්ධ නෑ.

රොෂාන් රණසිංහ මහතා- 2020 ටී ටුවෙන්ටි ලෝක කුසලානයට විගණකාධිපති වාර්තාවෙන් චෝදනා 54ක් තිබෙනවා. ඒවා මම සභාගත කරනවා. අයිසීසී එකේ රැස්වීමකට සහභාගී වෙන්න අයිසීසී එකෙනුත් ටිකට් එකට සල්ලි අරන් තිබෙනවා මෙහෙනුත් අරගෙන තිබෙනවා. දෙපැත්තෙන්ම අරං. දැන් මේ කණ්ඩායම මට එවනවා පණවිඩ. ඒ අයට රැකවරණය දෙන්න ජේ ෂා මහත්තයා ඉන්නවාලු. අපිට ප්‍රශ්නයක් ඇති කළොත් අයිසීසි එකේ වැඩි බලය තිබෙන ජේ ෂා මහත්තයාට කියලා ලංකාව තහනම් කරවනවාලු. ඒ අයගේ හොරකම් ගැන කියන්නේ නැතුව දේශපාලන බලපෑම් කරනවා කියලා කියන්න හදන්නේ මේ. මම කරපු බලපෑම මොකක්ද? තේරීම් කමිටුවට මම බලපෑම් කරලා තිබෙනවාද ක්‍රීඩකයන් තෝරන්න… නෑ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක- මෙතුමාගේ කතාවට අවසර දීලා දිගටම සභාව කරගෙන යන්න. (සභාවේ ඝෝෂා)

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක-මෙතුමාගේ කතාව කරන්න අපි දිගටම දෙනවා. අපි එකඟයි. අපි කැමතියි.

රොෂාන් රණසිංහ මහතා- මේක වැදගත් ප්‍රශ්නයක් නිසා මම ඉල්ලනවා මේක දිගටම යමු කියලා. යන්න පුලුවන් නම් හොඳයි. මට බාධා කරන්න එපා. මෙතනදී කියන්න ඕනා. මේ අය පාතාල කල්ලි තියාගෙන ඉන්නවා. රටේ ඇමැතිවරයකුට බලපෑම් කරන්නත් මේ අයට පුලුවන්. මට බය හිතුනා. ජනාධිපතිතුමා එල්පීඑල් බලන්න ගිහින් ඉඳගෙන ඉන්නකොට එතුමාගේ පිටිපස්සේ හිටියේ පාතාලකාරයෙක්. ශම්මි සිල්වාගේ ආරක්ෂකයා තමයි ඒ පාතාලකාරයා. ඔහු තමයි ජනාධිපතිගේ පිටිපස්සේ හිටියේ.

අනෙක මම යනවා රග්බි එක ගැන කතා කරන්න ඩුබායිවලට. මගේ යාලුවෝ දෙන්නෙක් කතා කරලා කියනවා මගේ බෑග් එකට කුඩු දාන්න හදනවා කියලා කල්පනාවෙන් ඉන්න කියලා. මගේ කාමරය ඉස්සරහා ආරක්ෂකයෝ තියන්න වුණා. මේ වගේ දූෂිතයින්ගෙන් අපිට බේරෙන්න වෙලා තිබෙනවා. මම ජනාධිපතිගෙන්, අගමැතිගෙන්, කැබිනට් මණ්ඩලයෙන්, ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේ 225දෙනාගෙන්ම සහාය ඉල්ලනවා අයිසීසී එකෙන් මේ තහනම් කරන එකෙන් නවත්වගන්න. තහනම් කරන්නේ කොහොමද? පකිස්ථානයේත් දකුණු අප්‍රිකාවෙත් අතුරු කමිටු තිබෙන්නේ. ඒ අය හොඳට ගහන්නේ දැන්. මම අතුරු කමිටු ගැසට් පත්‍රය ගැහුවේ රෑ. නැත්නම් මට මේක කරන්න වෙන්නේ නෑ. මම ගහපු ගැසට් එකේ කිසිම වරදක් නෑ. නීතිපති එකෙත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒකෙන් දාලා තිබෙන කෙනෙක් තමයි ශ්‍රීලංකා ක්‍රිකට් එකට සෙකුරිටිවලට දාලා තිබෙන්නේ. අපේ රටේ අරගලයක් තිබුණා. ඒ අය කිව්වේ මොනවාද? මම හොරෙක් නොවෙයි. මම පොළොන්නරුවෙන් ඡන්ද ගත්තේ බඩු බෙදලා නොවෙයි. විශ්වාසයෙන් ඡන්දේ ගත්තේ. මම පොලොන්නරුවෙන් තනියම ඡන්ද දිනුවා. පොලොන්නරුවේ මිනිස්සු මා ගැන තියපු විශ්වාසය කඩන්නේ නෑ ගෙදර යන්න වුනත්. මම මේ වැරුද්දක් පෙන්නන්නේ. ලංකා මාතාව දූෂණය කලා වසර ගණනක්. අපි ලෝකෙට ගිහින් කියන්නේ කොහොමද අපි ශ්‍රී ලාංකිකයින් කියලා. මේ දූෂිත හොර තක්කඩි රැල එලවන්න මුළු රටෙන්ම මා සහාය ඉල්ලනවා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස :

ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ගැන කරුණු රැසක් හෙළි කළා. ක්‍රිකට් ක්‍රීඩාව රටේ ජනතාවගේ ජනජීවිත සමග බැඳී තියෙන්නේ. මෙය අපේ ජීවය හා ප්‍රාණය, කුල මල පංති බේදයෙන් තොරව ක්‍රීඩාව වෙනුවෙන් හැමෝම අත්වැල් බැඳගන්න අවස්ථාවක්.

අපි ස්ථාවර නියෝග අත්හිටුවා අපි හැමෝගෙම එකඟතාව තුළ යෝජනාවක් සම්මත කරගත යුතුයි. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සමූල ඝාතනයට ලක් කරන හොර තක්කඩි අල්ලස් රැල අධිකරණ නියෝගවලට මුවාවෙලා ගජමිතුරු කණ්ඩායම්, දූෂිත කල්ලි එකට එකතුවෙලා ක්‍රිකට් වනසන්න යනවිට 225ම එකතු වෙලා යෝජනාවක් සම්මතකරගත යුතුයි. මිනිස්සු බලාගෙන ඉන්නවා අපි මොකද්ද කරන්නේ කියලා. මේ නඩු තීන්දු තක්කඩි තීන්දු. තවත් මේ වගේ තීන්දු තියෙනවා. ඒත් මම අධිකරණය ගැන පූර්ණ විශ්වාසය තබනවා.

ගම්බද තරුණ දරුවන්ට ලැබෙන පහසුකම් නවත්වා ඒ මුදල් සූදුකාරයන්, වංචාකාරයන් ඔවුන්ගේ සුඛ විහරණයට යොදා ගන්නවා. මොවුන් වැරැදි චිත්‍රයක් අයිසීසී එකට ඇති කරන්න යනවා. අපි 225ම ඊට එරෙහිව ක්‍රියා කළ යුතුයි.

ක්‍රීඩා නීති වෙනස් කිරීමට අපි ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා පූර්ණ සහය ලබාදීමට අපි සූදානම්. රටේ ජනාධිපතිගේ සහය ලබාගෙන 225 එකට ඉඳගෙන හොර ක්‍රිකට් කල්ලිය ගෙදර යැවිය යුතුයි.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල :

සභාවේ මන්ත්‍රීවරු 20ක් නැගිටලා විපක්‍ෂ නායකගේ යෝජනාව ස්ථිර කරනවා. අපි වහාම විවාදයක් ඉල්ලනවා.

ආණ්ඩු පක්‍ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග :

විපක්‍ෂ නායකවරයා දේශපාලන වාසි ගන්න ක්‍රිකට් පාවිච්චි කරනවා. රටේ මීට වඩා අසරණ වූ අවස්ථා වසර කිහිපයකට පෙර තිබුණා. එදා සහය නොදුන් අය ක්‍රිකට් පිට දාලා වාසි ගන්න උත්සාහ කරනවා. ක්‍රීඩා ඇමැති කියන දේට අපි එකඟයි. එය නීත්‍යානුකූලව ගේන්න. අපිත් එකඟයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ :

ක්‍රීඩා ඇමැති විවෘතව ක්‍රිකට් පිළිබඳ අඳුරු පැත්ත කිව්වා. අධිකරණ ක්‍රියාවලිය ගැනත් කරණු කිව්වා. මේවා බරපතළ කරුණු. අද සභාවේ අනිකුත් කටයුතු නවත්වල මේ ගැන කතා කරලා හෙට අපි යෝජනාවක් ගෙනවිත් සම්මත කරගනිමු. එසේ කිරීමෙන් සභාවේ තනි මතය ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයටත් යනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම :

නීතියේ ආධිපත්‍ය පිළිබඳ බරපතළ අභියෝගයක් එල්ල වුණා. ඒ වගේම ක්‍රිකට් කියන්නේ ජාති, ආගම්, කුල, දේශපාලනයෙන් බෙදිච්ච ශ්‍රී ලාංකිකයන් එකතු කරන ක්‍රීඩාවක්.

මේ ක්‍රීඩාවෙන් අර්බුද ඇති වෙනවානම් රටේ බරපතළ තත්ත්වයක්. මේක රටේ ප්‍රධාන ප්‍රශ්නයක් යැයි සිතා විවාදයට එකඟවන්න.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ :

මේ ගැටලුව කතා කළේ ආණ්ඩුව නියෝජනය කරන මම. එහි ගෞරවය ආණ්ඩුවට ලැබෙනවා. මේ අර්බුදයේ දී 225 එකතුවිය යුතුයි.

කතානායකගෙන් ලිපි යවා ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ගේ පාස්පෝට් නවත්වන්න. චෙක්ගෙවන එකත් නවත්වන්න. පාර්ලිමේන්තුව මැදිහත්වෙලා වහාම නැවැත්විය යුතුයි. නැත්නම් මේ අය රටින් පිටවෙනවා.

පාර්ලිමේන්තුව නැවත අද (09දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment