ජවිපෙ ආරම්භය 1965-05-14 වැනිදා. ඒ වෙසක් පොහොය දිනය

සියලු සමීක්ෂණවල අපි ඉදිරියෙන්

අපේක්ෂකයා අනුර

අපි මිනිස්සුන්ගේ රීරි මාංශ උරා බොන්නේ නැහැ

පරව මඩේ එරී ඇති පොහොට්ටුව පුබුදුවන්න ඔය කාටවත් බැහැ

ඉනේ පිස්තෝල තියන් අපි පන්සල් යන්නේ නැහැ

අපි IMF කොන්දේසි සංශෝධනය කරනවා

අපි නූතන ලෝකයට අනුව වෙනස් වූ පක්ෂයක්

මම රාමඤ්ඤ නිකායේ උප සභාපති

ජාතික ජනබලවේගය තුළ අභ්‍යන්තර අර්බුද මතුව ඇති බව පසුගිය කාලය පුරාම ඇසෙන්න තිබූ කාරණාවක්ය. එහි සත්‍ය අසත්‍යතාවය දැනගැනීම සඳහා එම බලවේගයේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාව “දිවයින ඉරිදා සංග්‍රහය” සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළගැසෙන්නේ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගය තුළ අර්බුද රැසක් නිර්මාණය වී ඇති බව පසුගිය කාලයේ ඇසෙන්න තිබූ කතාවක්. නැවතත් ඒ කතාව ඇහෙන්න පටන්ගෙන තිබෙනවා. ජාතික ජනබලවේගය තුළ ඇති මේ අර්බුදය කුමක්ද?

පිළිතුර – ජාතික ජනබලවේගය තුළ කිසිදු අභ්‍යන්තර ගැටලුවක් හෝ අර්බුදයක් නැහැ. අප බලවේගය අද ජනතාව සමග ඉතා වේගයෙන් ඉදිරියට යනවා. ඒක ආපස්සට හරවන්න කිසිවකුට හැකියාවක් නැහැ. අපිව මර්දනය කර, මඩ අවලාද නගා ආපස්සට හරවන්න බැහැ. අපේ ප්‍රතිපත්ති සමග කාටවත් හැරෙන්නත් බැහැ. මේ කිසිවකින් අපිව ආපස්සට හරවන්න බැරි නිසයි අන්තිම තුරුම්පුව ලෙස අභ්‍යන්තර බෙදීමක් තියෙනවා කියලා බොරු මත හදන්න හදන්නේ. ඒවා දැන් අසාර්ථක උත්සාහයන්.

ප්‍රශ්නය – මීළඟ ජනාධිපතිවරණයේ ඔබ බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා බව ස්ථිර ද ?

පිළිතුර – පැහැදිලිවම.. ඒක ස්ථිරයි. නීතියට අනුව ලබන වසරේ සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 14 අතර කාලය තුළ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන්න ඕනා. ඒක මගහරින්න ජනාධිපතිවරයාට බැහැ. ලබන ජුලි 22 වැනිදායින් පසුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා. ඒ අනුව මම ඉහත කී කාලය තුළ ජනාධිපතිවරණය ස්ථිරයි. අපේ අපේක්ෂකයා අනුර.

ප්‍රශ්නය – ජනාධිපතිවරණ සටන සංකීර්ණ වෙමින් තිබෙනවා. අංක එකේ ව්‍යාපාරිකයන්, ප්‍රබල මාධ්‍ය හිමිකරුවන් ඒ සටනට අවතීර්ණ වෙලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් වීමට නියමිත බවත් කියනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතාගේ නමත් කියනවා. සජිත් ප්‍රේමදාස මහතාත් සටනේ ඉන්නවා.

පිළිතුර – පූට්ටු පොහොට්ටු අපේක්ෂකයන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. රනිල්ව මහින්දව නැගිට්ටවන්න බැහැ. බැසිල් රාජපක්ෂ ගැන කතා කරලා වැඩක් නැහැ. ධම්මික පෙරේරාගේ සල්ලිවලට පරවෙලා ගොස් මඩේ එරිලා තියෙන පොහොට්ටු පුබුදුවන්න බැහැ. අනිත් අය ගැන සමාජයේ පිළිගැනීමකුත් නැහැ.

අර ලස්සන සින්දුවක් තියෙනවා නේද “මම නන්දා” කියලා. ඒකෙ තියෙනවා රැජිණට ඇන්දා රජ කුමාරිට ඇන්දා දිත්තලාට ලෙන්චිනාට ඇන්දා අන්දරේගේ පවුලට ඇන්දා කියලා. කොහොම ඇන්දත් ඒ නන්දා තමයි. ඒ වගේ තමයි මේ අයත්.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයට ප්‍රථමව මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ කතා වෙනවා. ආණ්ඩුව මහ මැතිවරණයකට යාවි වගේ නේද?

පිළිතුර – ජනාධිපතිවරණය පැවැත්වීම විවිධ කණ්ඩායම්වලට අවාසිසහගත වෙලා. ඒ නිසා ඊට මෙහා උපක්‍රමයක් තමයි මහ මැතිවරණය ගැන කතාබහ. ජනාධිපතිවරණයේදී රනිල් රාජපක්ෂ පුටුවට උත්තරයක් නැහැ. ඇත්තටම ඔවුන්ට ඉල්ලන්න අපේක්ෂකයෙක් නැහැ. රනිල්ට අපේක්ෂක කම දුන්නොත් පොහොට්ටුව ඉවරෙටම ඉවරයි. පොහොට්ටුවෙන් කවුරු දැම්මත් අනිවාර්යෙන්ම පරදිනවා. ඒ නිසා ඔවුන් පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන බලනවා. හැබැයි ඒක තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහ තීරණය මත.

ජාතික ජනබලවේගය ඕනම මැතිවරණයකට ලෑස්තියි. රටේ ජනතාවත් කුමක් හෝ මැතිවරණයක් එනකම් බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුවලට පාඩමක් උගන්වන්න. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා නම් අපි වඩාත් කැමතියි. මොකද ජනාධිපතිවරණයට කලින් මාලිමාවේ ආණ්ඩුවක් පිහිටුවා ඊට පසු ජනාධිපතිවරණයට අවතීර්ණ වීම හොඳයි. මැතිවරණ දෙකම අපි දිනනවා. සැප්තැම්බර් වලට කලින් අපේ ආණ්ඩුවක්. ඊට පසු ජනාධිපතිවරණය.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයට දැන් පවතින්නේ සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක්.

පිළිතුර – දැන් සියයට තුනේ කතා ඉවරයි. දැන් තත්ත්වය මුළුමනින්ම වෙනස්.

ප්‍රශ්නය – හරි.. මම අහන්න උත්සාහ කළේ සියයට තුනක ඡන්ද ප්‍රතිශතය සියයට පනස් එක දක්වා ඔසවා ගන්න ජාතික ජනබලවේගය සතුව ඇති ඡන්ද සමීකරණය කුමක්ද යන්න යි.

පිළිතුර – එදා අවසන් මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයේ තත්ත්වය සහ අද තත්ත්වය හාත්පස වෙනස්. අප නොවන විවිධ පාර්ශ්වයන් කරපු සමාජ මත විමසීම්වලදී මාලිමාව සියයට පනස් දෙකක ප්‍රතිශතය ඉක්මවා ගොස් තිබෙනවා. අපි රට වටේ ආසන බල මණ්ඩල ස්ථාපිත කරමින් රට වටේ යමින් අපේ ඡන්ද පදනම වැඩි කරගනිමින් තිබෙනවා. ජනතාව වඩ වඩා අපි වෙත නැඹුරුවෙමින් තිබෙනවා. ඒ ගැන කිසි සැකයක් නැහැ. අපට සීයට තුනයි කිය කිය උසුළු විසුලු කළ අයගේ ඡන්ද ප්‍රතිශතය අද සියයට තුනට වඩා අඩුවෙලා. සියයට තුන අපට සියයට හැට කරන්න පුළුවන්.

අපේ කැමැත්ත පාර්ලිමේන්තු මැතිවරණයකට - පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

ප්‍රශ්නය – ඔබ කියන විදිහට ජාතික ජනබලවේගය මීළඟ මැතිවරණයේදී බලය අල්ලනවා. හැබැයි අපි ඉතිහාසය තුළ දැක තිබූ දෙයක් තමයි බලයත් සමග මිනිස්සු වෙනස් වෙන බව.

පිළිතුර – අපි කවදත් ජනතාව සමඟ සිටි මිනිස්සු. බලය සමඟ අපි වෙනස් වෙන මිනිස්සු නෙවෙයි. අපි ඇමැතිකම් කරනකොට වෙනස් වුණාද. ඒක අදටත් එහෙමම තමයි. අපේ භාවිතය ගැන මිනිස්සු දන්නවා. අපි සිහින මාළිගාවල ජීවත්වෙන, මිනිස්සුන්ගේ රීරි මාංශ උරාබොන මිනිස්සු නෙවෙයි. අපි මහ පොළොවේ මිනිස්සු.

ප්‍රශ්නය – ඔබ ඔබලා ගැන වර්ණනා කර ගත්තත් ඔබ බලවේගයට අලුතින් එකතුවන අයවලුන් ගැන ජනතාවට සහතිකයක් දෙන්නේ කොහොමද ?

පිළිතුර – අපි විනයගරුක දේශපාලන ව්‍යාපාරයක්. එම දේශපාලන ව්‍යාපාරය පළල් වෙනකොට අලුත් සාමාජිකයන් එකතු වෙනවා. හැබැයි අපි කිනම් තත්ත්වයක් තුළ වුවද පුද්ගලයන් ආරක්ෂා කරන්නේ නැහැ. කිසිවකු හෝ නොගැළපෙන ක්‍රියාමාර්ග ගන්නේ නම් ඔවුන්ව පක්ෂයෙන් ඉවත් කිරීම අනිවාර්යයි. අපේ ඉතිහාසයේ එවැනි පූර්වාදර්ශ තිබෙනවා. අපි ඉවත් කරන කුණුගොඩවල් තමයි සමහරුන් භාරගන්නේ.

ප්‍රශ්නය – ආණ්ඩුව ජනතාවට එල්ල කරන පීඩනය එන්න එන්න වැඩි කර තිබෙනවා. වැට් බදු ඉහළ නැංවීම ජනතාවට දරා ගන්න බැරි තත්ත්වයක් උදා කරලා. ජනතාවගේ ජීවන බර අහස උසට. හැබැයි එච්චර අමාරු තත්ත්වයක් රට තුළ තිබියදී ජාතික ජනබලවේගය බොහොම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා තමයි ඇතැමුන් චෝදනා කරන්නේ. ඔවුන් කියන්නේ ජවිපෙ කියන්නේ රනිල්ගේ හුරතල්ලු කියලා.

පිළිතුර – අපි කාගෙවත් හුරතල්ලු නෙවෙයි. කාගෙවත් හුරතල්ලු වෙලා ඉන්න අය තමයි එහෙම කියන්නේ. ඒ කාලේ රනිල්ට බැන්න අය දැන් ඉන්නේ ඔහුගේ ඔඩොක්කුවේ. අපි එහෙමද ? ඔය කතා හොඳයි කොණ්ඩෙ බැඳපු චීනුන්ට. මිනිස්සු ඔය වගේ කතා ඇත්තටම දැන් විශ්වාස කරන්නේ නැහැ. මේ ආණ්ඩුවට එරෙහිව දැවැන්තම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය නුගේගොඩ දෙල්කඳ කළේ අපි. අපි හිටගන්නේ ජනතාවගේ පැත්තේ. ඉන් එහා දෙකක් නැහැ.

ප්‍රශ්නය – යම් හෙයකින් ජාතික ජනබලවේගය ආණ්ඩු බලය ලබා ගතහොත් ආර්ථික ප්‍රශ්න විසඳන්න ඔබලා සතු සැලැස්ම කුමක්ද ?

පිළිතුර – ඇත්තටම ආර්ථික අර්බුදය විසඳන්න කලින් පල් වෙච්ච කුණු වෙච්ච ගඳ ගහන දේශපාලන යාන්ත්‍ර වෙනස් කරන්න ඕනා. ඒක නොකර මේ රට කවදාවත් හදන්න බැහැ. හොරකම් වංචා දූෂණ ආර්ථිකය කඩා වැටෙන්න ප්‍රධාන හේතුවක්.

අපි ආපු ගමන් අලුත් ආණ්ඩුක්‍රම හඳුන්වා දෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කර ජාතික සමගිය ගොඩනඟා වංචා දූෂණ හොරකම් නැති කරන්න ක්‍රියාමාර්ග ගන්නවා. ඒ තමයි අපේ අංක එකේ රාජකාරිය.

ඉන් එහාට ගොස් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ව්‍යවසායකයන් මත පදනම්ව අප රටේ නිෂ්පාදනය ඉහළ නැන්වීම සඳහා කෙටිකාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන ආර්ථික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. වසර පහක් දහයක් යනකොට ඒ තුළින් රට ස්ථාවර කරන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබ එලෙස පිළිතුරු දුන්නත් රට මේ වනවිට තිබෙන්නේ විශාල ණය බරක. මේ සා විශාල ණය බරක් ගෙවන්න ඇති සැලැස්ම කුමක්ද ?

පිළිතුර – එය කරන්න පුළුවන්. මම මීට ප්‍රථම කිව්වා වගේ හොරකම වංචාව දූෂණය නතර කර නිෂ්පාදනය මත රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ගියොත් ඒක කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි රට ආපහු කඩා වැටීමකට ලක් නොවන ලෙස ගොඩ ගන්නත් පුළුවන්. එකම දේ රටේ ජාතික නිෂ්පාදන ඉලක්ක කරගත් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි.

ප්‍රශ්නය – වැට් බදු ඉහළ නැංවීම සංකීර්ණ ප්‍රශ්නයක්. රටේ දැන් තත්ත්වය අනුව වැඩි නොකරත් බැහැ, මිනිස්සුන්ගේ තත්ත්වය අනුව වැඩි කරලත් බැහැ. වැට් සම්බන්ධයෙන් ඔබේ උත්තරය කුමක්ද ?

පිළිතුර – ආණ්ඩුවට ඇති එකම උත්තරේ ණය ගන්න එකයි බදු ගහන එකයි විකුණන එකයි විතරයි. මෙතෙක් කල් ආණ්ඩු කළේ ඔය දේ. මේ රටේ තිබූ සීනි කර්මාන්තායතනය, ටයර් කර්මාන්තායතනය වට්ටවන්න ආණ්ඩු වැඩ කළා. ඒ වගේම වරායවල් තෙල් ටැංකිය ඇතුළු වටිනා සම්පත් විකුණා දමනවා. ඇත්තටම වැට් බදු ඔච්චර ගහන්න දෙයක් නැහැ. වැට් බදු කියන්නේ වක්‍ර බදු. එය සියයට අසූවයි. ඍජු බදු සියයට විස්සයි. වැට් බදු නොගෙවන විශාල ව්‍යාපාරිකයෝ ප්‍රමාණයක් ඉන්නවා. උදාහරණයක් විදිහට රනිල්ගේ සමීපතම හිතවතෙක් වන ඇලෝසියස්ගේ අරක්කු සමාගම. ඔවුන් කෝටි ගණනක් බදු ගෙවන්න තියෙනවා. වැට් වංචාකාරීන්ගෙන් බදු අය කර පුංචි මිනිහා මත බර නොපටවා ඉන්න පුළුවන්.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල් මේ ආණ්ඩුව කොල්ල කනවා. නමුත් ප්‍රාථමික ගැනුම්කරුවන් පැහැර හරින්නේ නැහැ. ආණ්ඩුව අත තියන්නේ පොඩි මිනිහට විතරයි. පුංචි මිනිහට බදු ගහනවා වෙනුවට බදු වංචාකරුවන්ගෙන්, බැංකුවලට පොලු තිබූ ව්‍යාපාරිකයන්ගෙන් ඒ මුදල් අය කර ගතහොත් පුංචි මිනිහා මත ගහන බදු වෙනස් කරන්න පුළුවන්.

ප්‍රශ්නය – රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාසය තබා තිබෙනවා. ඔබලත් යන්නේ ඒ මඟද ?

පිළිතුර – ආණ්ඩුව දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වෙලා අවසන්. එනිසා ඔවුන් සමග ඉදිරියට නොයා ඉන්නවා කියන්න බැහැ. හැබැයි අපි ඔවුන් සමග එකඟ වී ඇති රටට අහිතකර කොන්දේසි අනිවාර්යයෙන්ම ඉවත් කරනවා. අපි මැතිවරණයේදී ජනතාව හමුවට යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කරන්න ජනවරම ඉල්ලලා. අහිතකර ගිවිසුම් ඉවත් කර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා.

ප්‍රශ්නය – ඉවත් කරන අහිතකර කොන්දේසි මොනවාද?

පිළිතුර – වෘත්තීයවේදීන්ට ගහපු බද්ද ඉන් එකක්. ඔවුන්ට බදු පනවා අපේක්ෂා කළේ බිලියන 100යි. නමුත් දැන් රුපියල් බිලියන 160 ක් ඉන් උපයාගෙන තිබෙනවා. එය වෙනස් කළ යුතුයි.

ඒ වගේම බලශක්තිය සම්බන්ධයෙන් පවතින කොන්දේසි. ඔවුන් කියන්නේ බලශක්ති මිල පිරිවැය මත තීරණය කරන්න කියලා. ඒවා වෙනස් විය යුතුයි.

ප්‍රශ්නය – දේශපාලනය ගැන එපා වෙච්ච මිනිස්සු විශාල ප්‍රමාණයක් රට තුළ ඉන්නවා. හැබැයි ඔවුන් ඔබ බලවේගයට ඡන්දය භාවිතා කරන්නෙ දෙගිඩියාවෙන්. ඊට හේතු ලෙස ආගමට නිසි තැන නොදෙන බව, ඔබලා බලය ගත්තොත් ආපහු ගන්න බැරි වෙන බව, අනුගමනය කරන දේශපාලන ප්‍රතිපත්ති සමාජවාදී ද නැද්ද තේරුම් ගන්න බැරි බව ඔවුන් දක්වන්නේ.

පිළිතුර – ආගම.. අපි සියලු ආගම්වලට ඇති අයිතිය ආරක්ෂා කරනවා. ඒ වගේම ඕනෑම කෙනකුට ඕනෑම ආගමක් ඇදහීමට ඇති අයිතිය අපි පිළිගන්නවා. හැබැයි අපි දේශපාලනයට ආගම පටලවා ගන්නේ නෑ. ඉනේ තුවක්කුව තියාගෙන මල් වට්ටි අරන් අපි පන්සල් යන්නේ නෑ. අපි ඔය හැමෝටම වඩා බෞද්ධ ධර්මයට සහ අනෙකුත් ආගම්වලට ගරු කරන පක්ෂයක්. ඔබ දන්නවද ? ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරන්නේ 1965 වසරේ මැයි 14 වැනිදා. ඒ වෙසක් පොහොය දිනයේදී. අපි බුද්ධාගම සමග ඓන්ද්‍රීයව සම්බන්ධ වූ පක්ෂයක්. අනිත් පක්ෂ සහ අපි අතර වෙනස අපි ආගම දේශපාලන වාසියට භාවිතා නොකිරීම.

සමහරු ඉන්නවා ජවිපෙ ප්‍රතිපත්ති වැඩපිළිවෙළ හරි බව පිළිගන්න. ඒත් මොකක්දෝ හේතුවකට අපට ඡන්දය දෙන්න මැලිකමක්, අකමැත්තක් දක්වනවා. ඒ අය හිතෙන් බොරු හේතු මවා ගන්නවා. ඒ අය තමයි ආගම ගැන, ආපහු ගන්න බෑ කියන එක ගැන, දේශපාලන මත ගැන වැරදි මත පතුරුවන්නේ. ඒ වගේ කුඩා කණ්ඩායමක් ඉන්නවා. ඒ අය හදන්න බෑ.

මම සංස්කෘතික ඇමැතිව ඉන්න කාලේ තමයි ජේතවන ව්‍යාපෘතිය කඩිනම් කර අභයගිරියේ සහ ජේතවනයේ නිධන් තැන්පත් කළේ. ඒක කරේ එක දවසේ. අපි පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කරන්න ආරක්ෂා කරන්න ගත්ත ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා. ආගමට විරුද්ධ නම් අපි ඒවා කරනවද ?

සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය අපි එදා ඉල්ලල තමයි ගත්තේ. ජාතික උරුමය කියන වචනය දේශපාලන අමාත්‍යාංශ පරිභාෂිතයට ගෙනාවේ අපි. අපි ආගම සංස්කෘතියට විරුද්ධව නම් ඒවා භාර ගන්නේ නැහැ.

මම දැනටත් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උපසභාපති. එහි සභාපතිවරයා කරු ජයසූරිය මහතා. එකම වෙනස තියෙන්නේ අපි දේශපාලනයට ආගම පටලවා නොගන්න එක.

දෙවැන්න ගත්තොත් දෙන්න නැති වෙයි කියන කාරණය.. දෙන්නෙ නැතිවෙයි නෙවෙයි. මිනිස්සු ආපහු අපෙන් ගන්න බලන එකක් නැහැ. මොකද ඔවුන්ට තේරේවි මෙච්චර කල් ඔවුන් හිටියේ වැරදි තැනක කියලා. අවුරුදු 75 ක් මේ දෙගොල්ලන්ට දුන්නා නේද. අපට එක අවුරුදු පහක් දීලා බලන්න. වෙනස ඔබට තේරේවි. මැතිවරණ නොතියා බලේ ඉන්න අදහස තියෙන්නේ බලය අතහරින්න අකැමැති මිනිස්සුන්ට මිස අපට නෙවෙයි.

තුන්වැන්න සමාජවාදීද නැද්ද යන්න කාරණය. චීන සපත්තුව ලංකාවට පුංචි වැඩියි. රුසියානු සපත්තුව ලංකාවට ලොකු වැඩියි. චීන ක්‍රමය හෝ රුසියානු ක්‍රමය අපට ගැළපෙන්නේ නැහැ. අපට ගැළපෙන්නේ මෙරට දේශපාලනය සහ සංස්කෘතිය පදනම් කරගත් රටේ භෞතික හා මානව සම්පත පදනම් වූ ආර්ථිකයක්. එක එක අයට ඕන වචනයක් ඒකට කිව හැකියි. අපි ක්‍රියාත්මක කරන්නේ ජනතා හිතවාදී ආර්ථික ප්‍රතිපත්තියක්. එය සම්පූර්ණ සංවෘතත් නොවූ සම්පූර්ණ විවෘත නොවූ ක්‍රමයක්.

අපේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තියක්. අපි කියුබාව හෝ උතුරු කොරියාව මත පමණක් සිට කටයුතු කරන පක්ෂයක් නෙවෙයි. එහෙම කතා කියන්නේ පට්ටපල් බොරු කාරයෝ. අපි චීනයද ඉන්දියාවද ඇමෙරිකාවද, ඔස්ටේ්‍රලියාවද කියලා නැහැ. අපි ගනුදෙනු කරන්නේ සමස්ත ලෝකය සමඟ. ඔහොම කියන අය ජීවත් වෙන්නේ පැරණි යුගයේ. අපි නූතන ලෝකයට ගැළපෙන ලෙස වෙනස් වෙලා තිබෙන නූතන බලවේගයක්. අපි ආවොත් කර්මාන්තශාලා නැහැ, ආගම ඉවරයි, ආපහු ගන්න බෑ, ආයෝජකයෝ ඉන්නේ නෑ, ජාත්‍යන්තර සබඳතා නෑ වගේ ඒවා කිය කිය විරුද්ධවාදීන් බිල්ලො මවනවා. මම නැවත කියනවා අපි නූතන ලෝකයට ගැළපෙන ලෙස වෙනස් වූ බලවේගයක්.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment